ආරක්ෂාකාරී සංචාරයකට | දිනමිණ

ආරක්ෂාකාරී සංචාරයකට

ආර්ථික විද්‍යාඥයන්ගේ බුද්ධි ඒකකය මඟින් මේ වසරේ දී සංචාරය කිරීමට සුදුසු සහ ආරක්ෂිතම නගර දහය ප්‍රකාශයට පත්කර තිබේ. ඩිජිටල් ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම්, පෞද්ගලික ආරක්ෂාව වැනි කාරණා රාශියක් සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකස් කර ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පළ කළ වර්තාවක දැක් වේ.

 

1. ජපානයේ තෝකියෝ නගරය

ලොව ජනාකීර්ණම මහා නගරය ලෙස සැලකෙන තෝකියෝ නගරය මේ වසරේ ලොව ආරක්ෂිතම නගරයයි. සාප්පුවලින්ද විනෝදාස්වාද පහසුකම්වලින්ද සමන්විත මේ නගරයේදී ජපාන සංස්කෘතිය විඳින්නට සංචාරකයන්ට ඉඩ ලැබේ. ආරාම දහස් ගණනක් මෙහි දැකිය හැකි අතර තෝකියෝ ස්කයි ට්‍රී නමින් හඳුන්වන කුලුන එහි ඇති සුවිශේෂ ම ස්ථානයකි. ලොව විශාලතම සහ කාර්යය බහුලම වෙළඳපොළ ලෙස සැලකෙන ත්සුකිජි වෙළඳපොළ තිබෙන්නේත් තෝකියෝහි ය.

2. සිංගප්පූරුව

වර්ග කිලෝමීටර් 725.1කින් සමන්විත සිංගපූරු ජනරජය, නගර රාජ්‍යයකි. අධ්‍යාපන, මූල්‍ය, සෞඛ්‍ය, තාක්ෂණික, සංචාරක, වෙළඳ සහ ප්‍රවාහන ආදී සෑම ක්ෂේත්‍රයකම ගෝලීය මධ්‍යස්ථානය සිංගපූරුව යි. නිවසක හිමිකාරීත්වය සමඟ ආරක්ෂිත සහ ගුණාත්මක ජීවිතයක් ගත කළ හැකි තැනක් මේ ලොව ඇත්නම් ඒ සිංගපූරුවේ පමණි.

3. ජපානයේ ඕසකා නගරය

ජපාන ආර්ථිකයේ ඉතා වැදගත් මහ නගරයක් ලෙස සැලකෙන ඕසකා නගරයේ පදිංචි සංඛ්‍යාව මිලියන 19ද ඉක්මවයි. "ජාතියේ මුළුතැන්ගෙය" වශයෙන් ඕසකා හැඳින්වෙන්නේ ඉතා රසවත් ආහාර පාන එහි පිළියෙල කෙරෙන නිසයි. ඔසාකා නගරයේදී සාම්ප්‍රදායික කලාවන් රස විඳිය හැක. ජපානයේ සම්ප්‍රදායික රූකඩ කලාව එහි ප්‍රකට ය.

4. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය

ඇම්ස්ටර්ඩෑම්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට අවැසි පරිසරයක් සහිත නගර අතර මුලින්ම කියැවෙන නගරයයි. එය, මුහුදු මට්ටමට වඩා මීටර 2ක් (අඩි 6.6ක්) පමණ පහළින් පිහිටි නගරයකි. එසේ වුවත් කෞතුකාගාර, කලාගාර, උද්භිධ උද්‍යාන පමණක් නොව නෙදර්ලන්ත රජ මැදුරත් මේ නගරයේ පිහිටා ඇත. එය බහු සංස්කෘතියක නගරයකි. අඩුම තරමින් ජාතීන් 177ට අයත් පුද්ගලයන් එහි වසන බව සඳහන් වේ.

5. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි ප්‍රධාන නගරය වන සිඩ්නි නගරය සංචාරකයන් අතර ඉතා ප්‍රකට ය. සංචාරක ආකර්ෂණය දිනා ගත් නගර ලයිස්තුවේ 15 වන තැන තිබෙන්නේ සිඩ්නි නගරයයි. උද්‍යාන, වන සංරක්ෂිත, සිඩ්නි වරාය පාලම, සිඩ්නි ඔපෙරා ශාලාව එහි ඇති ප්‍රකට ස්ථාන කිහිපයකි. ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ නගරයක් ලෙස හැඳින්වෙන එහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 423කි.

6. කැනඩාවේ ටොරොන්ටෝ නගරය

කැනඩාවේ ජනාකීර්ණ ම නගරය හැටියට සැලකෙන ටොරොන්ටෝ එරට අගනුවර ද වේ. එය බහු සංස්කෘතික නගරයකි. විවිධ ජාතීන් එකම ප්‍රජාවක් ලෙස ජීවත් වන ලොව පරමාදර්ශී නගරය ටොරොන්ටෝ නගරය යි. ටොරොන්ටෝ නගරය සංචාරකයන්ට විනෝදවීමට ම නිර්මාණය කළ නගරයක් බඳු ය. කෞතුකාගාර, කලාගාර, උත්සව සහ සැණකෙළි, සංස්කෘතික සංදර්ශන, ක්‍රීඩා ක්‍රියාකාරකම්, ඓතිහාසික ස්ථාන මෙන්ම අහස සූරන ගොඩනැඟිලිත් එහි හිඟ නැත. වසරකට මිලියන 25කට අධික සංචාරකයෝ පිරිසක් එහි පැමිණෙති.

 

7. ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී.

ඇමෙරිකා විප්ලවයෙන් පසුව නිර්මාණය කරන ලද මේ නගරය නම් කර තිබෙන්නේ ඇමෙරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ට ගෞරව පිණිස එනමිනි. දේශපාලනික වශයෙන් ලොව ඉතා වැදගත් ම නගරය ලෙස සැලකෙන්නේ ද වොෂින්ටන් නගරයයි. වාර්ෂිකව මිලියන 20කට අධික පිරිසක් මේ නගරයට පැමිණ විනෝද වෙති.

වොෂින්ටන් නගරයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 4,389ක් පමණ වේ.

8. ඩෙන්මාර්කයේ කෝපන්හේගන්

ඩෙන්මාර්ක්කයේ ජනාකීර්ණම නගරය වන කෝපන්හේගන් එරට අගනුවර ද වන්නේ ය. එය, පරිසර හිතකාමී නගරයකි. පරිසර දූෂණය අවම මට්ටමක ඇති වරාය සහ බස් රථ එහි දකින්නට පුළුවන. කෝපන්හේගන් නගරයේ ඇති සංචාරක හෝටල්වලින් 60%ක්ම පරිසර හිතකාමී ඒවා බව සඳහන් වේ. 2025 වනවිට, කාබන්වලින් නිදහස් ලොව පළමු නගරය බවට කෝපන්හේගන් පත් කිරීමට එහි බලධාරීහු දැන් සිට ම වෙහෙසෙති.

9. දකුණු කොරියාවේ සියෝල්

දකුණු කොරියාවේ අගනුවර වන සියෝල් නගරය එරට විශාලම මහා නගරය හැටියටත් සැලකේ. ලොව විශාලතම මහා නගර ආර්ථිකය තිබෙන්නේ එහි ය. ලන්ඩන්, පැරිස් ආදී නගරවලට වඩා විශාල සියෝල් නගරය පුරාම දැකිය හැකි වන්නේ වැඩ සංස්කෘතියකි. කොරියානු යුධයෙන් පසුව සියෝල් නගරයේ දියුණුවට මෙන්ම දකුණු කොරියාවේ නැඟීමටත් ඉවහල් වුණේ මේ වැඩ සංස්කෘතියයි.

10.ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්

ඕස්ට්‍රේලියාවේ අගනගරයත්, ජනාකීර්ණ ම නගරයත් මෙල්බර්න් නගරයයි. එය තිබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, වික්ටෝරියා ජාතික චිත්‍ර කලාගාරය, රාජකීය ප්‍රදර්ශන ගොඩනැඟිල්ල ආදී බොහෝ වැදගත් ස්ථාන එහි ස්ථාපිත ය. වර්ග කිලෝමීටර 2,080කින් සමන්විත මේ නගරයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුග්දලයන් 2,373ක් පමණ වේ.

 

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න