අධ්‍යාපන පෙරැළිය! | දිනමිණ

අධ්‍යාපන පෙරැළිය!

රටක නායකයකු සැබෑ ද ඔහු ජාතික අධ්‍යාපනය ගැන හැඟීමක්, වැටහීමක් හා දැක්මක් ඇති පුද්ගලයකු විය යුතු ය. ඉන් නො නැවතී ඔහු එම දැක්ම ක්‍රියාවට නංවන පුද්ගලයකු බවට ද පත්විය යුතු ය. එය සමාජ පිළිගැනීමකි. සෝවියට් දේශයේ ලෙනින්, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, ටැන්සානියාවේ නියරේරා එබඳු නායකයන්ට ආදර්ශයක් ලෙස ගත හැකි ය. නියරේරා ටැන්සානියාවේ රාජ්‍ය නායකයා ලෙස ප්‍රජා අධ්‍යාපනයට මුල් තැනක් ලබා දුන්නේ ය. ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය අදත් ලොව පුරා අධ්‍යයනයට ගනු ලැබේ. ලෙනින්ගේ අධ්‍යාපන ක්‍රමය හා සෝවියට් දේශයේ සංවර්ධනය අතර සෘජු සම්බන්ධයක් පවතී, එය ද ලොව පුරා අධ්‍යයනයට ගනු ලබන අධ්‍යාපන ක්‍රමවේදයකි.

ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපනයට පදනම වැටෙන්නේ දහසය වන සියවසේ දී පමණ ය. මිෂනාරී අධ්‍යාපනය ඔස්සේ ගොඩනැඟුණු එම අධ්‍යාපන ක්‍රමවේදය පසු ව විවිධ මතවාද ඔස්සේ පෝෂණය ලබමින් නූතන තත්ත්වය තෙක් විකාශනය වී තිබේ. අද රටකට අවශ්‍ය වන්නේ ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි - ඊට ඔරොත්තු දෙන අධ්‍යාපනයකි. නිදහස් අධ්‍යාපනයෙන් පමණක් රටක දියුණුව තහවුරු වන්නේ නැත. අධ්‍යාපනය යාවත්කාලීන විය යුතු ය. නැතහොත් නවීකරණයට පත් විය යුතු ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉල්ලා සිටි කාලයක් තිබුණු අතර අද ඉල්ලා සිටින්නේ ශිල්ප අධ්‍යාපනය යි.

රටේ නායකයන් වීමට පොරබදන සැලැකිය යුතු පිරිසක ඇති’මුත් ඒ අය අතරින් අධ්‍යාපනය ගැන කතා කරන කෙනකු සොයා ගැනීම අපහසු ය. සමහරු ජාතික ආරක්ෂාව ගැන කතා කරති. තව සමහරු දුප්පත්කම ගැන කතා කරති. තවත් සමහරු ජාත්‍යන්තර වෙළෙඳාම ගැන කතා කරති. එහෙත් මේ සෑම ගැටලුවක් ම විසඳාගත හැකි උපාය මාර්ග විධිමත් අධ්‍යාපනය තුළ ඇති බව වැඩි දෙනකු වටහාගෙන නැත. අධ්‍යාපනය සම්බන්ධයෙන් නිතර සංවාද කරන හා අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් මෙහෙයවන එක ම නායකයා ලෙස පෙනී යන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණි. අගමැතිවරයා ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි ජාතික අධ්‍යාපනයක් තහවුරු කිරීමට ප්‍රයත්න දරන බව පෙනෙයි.

මීට දින දෙකකට ඉහත දී තවත් ඩිප්ලෝමාධාරීන් පිරිසකට ගුරු පත්වීම් ලබා දුනි. ඊට අදාළ උත්සවයක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ අතර එහි දී ගුරු පුහුණුවෙහි වැදගත්කම අවධාරණය කැරිණි. ගුරු වෘත්තිය ලොව පවතින විශිෂ්ට ම රැකියාව ලෙස සලකනු ලැබේ. ඇතැම් රටවල ඉහළම වැටුප් ලබන වෘත්තිකයා ද ගුරුවරයා ය. ගුරුවරයා අධ්‍යාපන සහතිකයකින් පමණක් පරිපූර්ණ වන්නේ නැත. ඉගැන්වීම සඳහා ඉගෙන ගත යුතු ය. පුහුණුව ලැබිය යුතුය. ගුරු පුහුණුව සඳහා වැඩසටහන් ගණනාවක් ආණ්ඩුව ක්‍රියාත්මක කරයි. ගුරුවරයකු ලෙස පත්වීම් ලබන සියලු දෙනා ම අනිවාර්යයෙන් ම පුහුණුව ලැබිය යුත්තෝ වෙති. එය අනිවාර්ය කර තිබේ.

වත්මන් ආණ්ඩුව රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කරයි. එය බොහෝ දෙනකුගේ අගය කිරීමට ද ලක් වී ඇත. මෙහි ප්‍රගතිය අංශ කිහිපයක් ඔස්සේ දැකගත හැකි ය. අධ්‍යාපනයේ අවකාශ වැඩි කිරීම, අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීම, අධ්‍යාපනයේ පහසුකම් පුළුල් කිරීම හා අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර සමීප සම්බන්ධයක් ඇති කිරීමත් එම අංශ ලෙස හඳුනාගත හැකි ය. එක වසරේ සිට දහතුන වසර තෙක් අධ්‍යාපනය අනිවාර්ය කර තිබේ. වෘත්තීය අධ්‍යාපනයට අදාළ නව විෂයයන් ගණනාවක් අලුතින් හඳුන්වා දී ඇත. ශිෂ්‍ය ප්‍රජාව අතර එම විෂයයන් ජනප්‍රිය වන්නට පටන්ගෙන තිබේ. විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය ප්‍රමාණය සියයට විසි ගණනකින් වැඩිකර ඇත.

නව වෛද්‍ය පීඨ දෙකක් විවෘත කිරීමට ද ආණ්ඩුව පියවර ගෙන තිබේ. මීට සතියකට පමණ ඉහත දී වයඹ වෛද්‍ය පීඨය විවෘත ‍කැරිණි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර රටට අවශ්‍ය වෛද්‍යවරුන්ගේ අඩුවක් ද පවතී. විදේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා වාර්ෂිකව පිටරට යන විශාල පිරිසක් සිටිති. ඒ සඳහා වැය වන විදේශ විනිමය රටට ගැටලුවකි. තවත් වෛද්‍ය පීඨ දෙකක් පමණ ඉදිකර ගතහොත් ගැටලුවට සාර්ථක විසැඳුමක් ලැබෙන බව කිව හැකි ය. ඉංජිනේරු හා තවත් අංශ සඳහා උසස් අධ්‍යාපන ආයතන බිහිකිරීම කෙ‍රෙහි රජයේ අවධානය යොමු වී ඇත. තාක්ෂණික විෂයය සම්බන්ධයෙන් රජයේ විශ්වවිද්‍යාලයක් ඇතිකිරීම ද වැදගත් ය.

පාසල් අධ්‍යාපනය ගතහොත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා රජය වාර්ෂික ව විශාල ප්‍රතිපාදනයක් වෙන්කරයි. එය වසරින් - වසර වැඩි කර තිබේ. පාසල් සඳහා නව ගොඩනැගිලි පන්සියයක් ඉදිකර ඇති අතර ඒවා තවත් දින කිහිපයක දී ජනතා අයිතියට පත්කිරීමට නියමිත ය. ගුරු හිඟය බොහෝ සෙයින් ම අඩු වී ඇත. උපාධිධාරී ගුරුවරුන් පමණක් තෙවරක් බඳවාගෙන ඇත. ඒ ගෙවී ගිය වසර හතරක කාලය තුළය. පහ වසර ශිෂ්‍යත්ව ආධාරය ඉහළ දැමීම‍ මෙන් ම ශිෂ්‍ය ප්‍රජාවට රක්ෂණ ආවරණයක් ලබාදීම ද ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැදගත් වැඩසටහන් අතර ති‍බේ. මේ ආණ්ඩුවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ප්‍රධාන තැනක් ලබා දීම ය.

ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන ආරම්භ කළේ අගමැතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යවරයා ය. පාසල්වලට ඇතුළත්වීම සඳහා ඇති තරගය යම් පමණකින් හෝ අඩුකිරීමට එය සමත් වී ඇත. නගරයේ ප්‍රසිද්ධ පාසල්වල තත්ත්වයට ගමේ පාසල ද උසස් කිරීම ආණ්ඩුවේ ඉලක්කය වී ඇත. එම වැඩසටහනෙහි දෙවන පියවර ද ආරම්භ කිරීමට නියමිත ය. ග්‍රාමීය අංශය නියෝජනය කරන දරුවකු නගරයේ උසස් පාසලකට ඇතුළත් කිරීම සඳහා මාපියෝ විශාල මුදලක් වැය කරති. විශාල කැපවීම් ද කරති. ඉහත වැඩසටහනෙන් එය නවතා ගත හැකි ය. දරුවාගේ කාලය ඉතිරි වෙයි. මාපියන්ගේ මුදල් ඉතිරි වෙයි. ග්‍රාමීය පාසල් ද දියුණු වෙයි. ළඟම පාසල හොඳ ම පාසල වැඩසටහනේ ප්‍රතිලාභය එය වේ. වත්මන් අගමැතිවරයාට මෙන් ම ආණ්ඩුවට ද අධ්‍යාපනය පිළිබඳ දැක්මක් ඇති බව පෙනෙයි. එය දිගට ම පැවතීම වැදගත් ය.

 

නව අදහස දක්වන්න