ජර්මනියටත් බැට දුන් උතුරු කොරියා පාපන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනේ | දිනමිණ

ජර්මනියටත් බැට දුන් උතුරු කොරියා පාපන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනේ

ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර්හී වසර 2022 දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය උතුරු කොරියාව සමග අද පස්වරු 7.30ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

පසුගිය වසරේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ජර්මනිය ගෝල් 2 – 0කින් පැරදවූ උතුරු කොරියාව වැනි ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 37වැනි ස්ථානයේ සිටින කණ්ඩායමක් 200 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව සමග තරග වදින අයුරු දැක බලා ගැනීමට බොහෝ දෙනා උනන්දුවෙන් පසුවේ.

වසර 13කට පසුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර ටර්කිමෙනිස්තානය සමග නිමාවූ පළමු තරගයෙන් ගෝල් 2-0ක පරාජයක් අත්වූ අතර, උතුරු කොරියාව පළමු තරගයේදී ලෙබනනය ගෝල් 2-0කින් පරාජයට පත් කළේය. උතුරු කොරියාව මේ වසරේ සහභාගීවූ තරග 4කින් පිට පිට තරග 4ක් ජයගෙන සිටින අතර ශ්‍රී ලංකාව සහභාගීවූ තරග 5කින් තරග තරග 3ක් පරාජයවී තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාකර ගත්තේය.

මෙම තරගය පිළිබඳ ඊයේ පාපන්දු නිවහනේ පැවැති මාධ්‍ය හමුවේදී උතුරු කොරියානු පාපන්දු පුහුණුකරු යුන් ජොන් ෂූ මහතා ශ්‍රී ලංකා පිල අඩු තක්සේරුවකට නොගන්නා බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය. “ අප ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ තරග කිහිපයක වීඩියෝ පට නැරැඹූවා. ඔවුන් වැඩි වශයෙන් ආරක්ෂාවීමට උත්සහා කරන බව පෙණුනා. අප පුලුවන් තරම් වැඩි ගෝල් ගණනක් රැස් කිරීමට මේ තරගයේ උත්සහා කරනවා. එවිට අපට තරගාවලියේ ඉදිරියට යෑම පහසුයි. අප ප්‍රහාරාත්මක ක්‍රමවේද භාවිතා කිරීමට සැලසුම් කරනවා. අපට සිටින දක්ෂතම මැද පෙළ ක්‍රීඩක රී හොයොන්ග් හැර අනෙක් සියලු පළමු පෙළ ක්‍රීඩකයින් අද තරගයට ක්‍රීඩා කරනවා“ උතුරු කොරියානු පුහුණුකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායක කවිදු ඉෂාන් පැවැසුවේ පළමු තරගයේදී ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන් සිදුවූ අතපසුවීම් මඟ හැර අද තරගයට හොඳින් මුහුණදීමට සූදානම් බවයි. “ පළමු මිනිත්තු 20දී ගෝල් නොදී ක්‍රීඩා කිරීමටයි පුහුණුකරු අපට උපදෙස් දෙන්නේ. ඒ වගේම අවසන් මිනිත්තු කිහිපයේදී අප ආරක්ෂාකාරීව ක්‍රීඩා කළ යුතුයි. ප්‍රතිවාදීන්ට ගෝල් නොදී ක්‍රීඩා කිරීම අපට පැවැරෙන විශාල වගකීමක් “ කවිදු ඉෂාන් පැවැසීය.

තරගයක් අතරතුර සිදුවන අත්වැරදීම් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටීම තරග ප්‍රතිඵලයට බලපාන බව ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු රුමී පකීර් අලී මහතා සඳහන් කළේය. එය නිමාවට පත්වූ ටර්කිමෙනිස්තාන තරගයේදී හොඳින් දැකගත හැකිවූ බව ඒ මහතා පැවැසීය.

“ටර්කිමෙනිස්තාන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ යම් යම් වෙනස්කම් අද තරගයේදී විය හැකියි. ආරක්ෂක කලාපයේ සිටි ක්‍රීඩකයන් වෙනුවට අලුත් ආදේශන විය හැකියි. ඒ වගේම මැද පෙළ ක්‍රීඩකයකු වෙනස් කරනවා. අද තරගයේදී යොවුන් ක්‍රීඩකයන්ට වැඩි තැනක් දීමට අපේක්ෂා කරනවා“ පුහුණුකරු රුමී පකීර් අලී මහතා සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න