ජනාධිපතිවරණය! | දිනමිණ

ජනාධිපතිවරණය!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉතා ඉක්මනින් දින - වකවානු තීරණය වනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. ව්‍යවස්ථාපිත සාධකවලට අනුව නොවැම්බර් දහය හා දෙසැම්බර් නමය අතර කාලය තුළ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබේ. කොමිසමේ ප්‍රකාශවලට අනුව පෙනීයන්නේ ජනාධිපතිවරණ තරගය සඳහා විස්සකට ආසන්න තරගකරුවන් ඉදිරිපත් වන බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව ලියාපදිංචි පක්ෂ දහසයක් හා එක් ස්වාධීන අපේක්ෂකයෙක් ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ඉල්ලා සිටිති. ඇතැම් විට අපේක්ෂකයන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යන්නටත් පුළුවන. කෙසේ වුව ජනතා පෙළගැස්මට අනුව තරගය ඇත්තේ දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් හෝ අතර ය.

මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 මැතිවරණ - ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කරන බවද, 2019 - ඡන්ද හිමි නාම ලේඛනය ඉදිරි මහ මැතිවරණය සඳහා භාවිත වන බව ද ප්‍රකාශයට පත් වී ඇත. 2018 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කළ ද අලුත් ඡන්ද ලක්ෂ දෙකක් පමණ ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබන බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. අලුත් ඡන්ද ලක්ෂ දෙක ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වන්නට ද පුළුවන. රටේ පවතින මැතිවරණ උණුසුමට අනුව පෙනීයන්නේ ඡන්දය භාවිත කරන අයගේ ප්‍රතිශතය ඉහළ යා හැකි බවය. 2018 දී ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි පුරවැසියන්ගේ ගණන එක්කෝටි පනස් නම ලක්ෂයකට මදක් වැඩි විය.

මැතිවරණ යනු මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ඒ අනුව නිසි කාලයට මැතිවරණ පවත්වා ජනමතයට ඉඩ - හසර ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වගකීමකි. විවිධ හේතු මත පළාත් සභා මැතිවරණය කල් ගොස් තිබේ. ඒ ගැන විවේචන ගණනාවක් ද පවතී. පළාත් සභා මැතිවරණය කල් ගොස් ඇත්තේ සීමා නිර්ණයට අදාළ ගැටලුවක් නිරාකරණය නොවීම නිසා යැයි කියති. කුමක් වුව මැතිවරණ කල් දැමීම සුදුසු දෙයක් නොවේ. පැරණි ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතුව තිබේ. මේ මැතිවරණ දෙකම ආසන්න දිනවලදී පැවැත්වීම වඩාත් වැදගත් බව ද ප්‍රකාශයට පත් වී ඇත. ජනාධිපතිවරණය යනු කිසිසේත් ම කල් තැබිය හැකි මැතිවරණයක් නොවේ. එය නීත්‍යානුකූල ලෙස පවත්වනු ඇතැ’යි මහජනයා තුළ විශ්වාසයක් පවතී.

ජනාධිපතිවරණය සඳහා වන උණුසුම කෙමෙන් ඉහළ යන බව ද දැකගන්නට ලැ‍බේ. රට පුරා ප්‍රචාරක තරගය ව්‍යාප්ත වී ඇති අතර එකිනෙක පක්ෂවල රැස්වීම් දිනපතා පැවැත්වෙයි. එහෙත් රටේ ප්‍රධාන ම දේශපාලන පක්ෂය ලෙස සැලැකිය හැකි එක්සත් ජාතික පක්ෂය මේ වනතුරු ද සිය ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම්කර නැත. ඒ සඳහා වූ බල අරගලයක් ද බැලූ - බැල්මට පෙනෙයි. ඇතැම් විට එය දේශපාලන උපාය මාර්ගයක් වන්නට ද පුළුවන. එජාපයේ බලධාරීන්ගේ මතය වී ඇත්තේ නිසි වෙලාවට අපේක්ෂකයා එළියට දමන බවය. මුහුද හත් ගව්වක් තබා අමුඩ ගැසීමට එජාපය සූදානම් නැති බව ද සමහරු පෙන්වා දෙති.

ඉදිරි ජනාධිපතිවරණය රටේ අනාගතය සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර ඇතැ’යි සමහරු කියති. 2015 දී ගොඩනැඟූ යහපාලන ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ ද ? නැතහොත් ඒවා අවසන් කරන්නේ ද යන්න ජනාධිපතිවරණයෙන් නිශ්චය වනු ඇත. මහින්ද රාජපක්ෂ පාලනය නැවත ගෙන එන්නේ ද නැතහොත් එය යළිත් පරාජය කරන්නේ ද යන්න තීන්දු කරන අවස්ථාවක් ලෙස ද ජනාධිපතිවරණය හඳුන්වා දිය හැකිය. මේ අතර තුන්වන බලවේගයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ඉදිරි පියවරක් තබා ඇත. එහි අපේක්ෂකයා ගනු ලබන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන පක්ෂ දෙකටම අභියෝගයක් ලෙස පවතිනු ඇත. දේශපාලන පසුබිම ගතහොත් එහි සංකීර්ණ තත්ත්වයක් දැකගන්නට ලැබේ.

වත්මන් රජය යටතේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ඉතා වැදගත් සමාජ පරිවර්තනයක් ඇති කර තිබේ. පවතින නිදහස, බලපෑමකින් තොරව අධිකරණය ක්‍රියා කිරීම වැනි සංසිද්ධීන් ගැන සුබවාදීව කල්පනා කරන බහුතරයක් රටේ සිටිති. ඔවුන් පවතින තත්ත්වයේ විශාල වෙනසක් ඇති කිරීමට උත්සුක නොවන බවක් පෙනෙයි. යහපාලන ආණ්ඩුව තුළ පැවැති ශ්‍රී ල නි ප - එ ජා ප සන්ධානය බිඳ වැටීම ගැන ප්‍රසාදයක් බොහෝ දෙනකු තුළ නැත. පොදු මහජන මතය ගතහොත්; එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයන් වෙත නො යා යුතුය. එලෙස ම පක්ෂ නායකයන් එක පෙළකට සිට ඡන්ද සටන මෙහෙයැ විය යුතුය. එලෙස ම මහජනයා ඉල්ලා සිටින ජනප්‍රිය තැනැත්තකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සුදුසු ය.

මේ සියල්ලට ඉහළින් පවතින්නේ ජනතාවගේ කාර්ය භාරය යැයි කියන්නට පුළුවන. ජනතාව අතිශය බුද්ධිමත් තීරණයක් ගැනීමට ක්‍රියා නොකළහොත් රට යළිත් ප්‍රපාතයකට වැටීමට ඉඩ තිබේ. දරාගත නො හැකි විදේශීය ණය. මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න, ආර්ථිකයේ කඩා වැටීම, රාජ්‍ය අංශවල දූෂණය, ජාතික ආරක්ෂාව, සංහිඳියාව වැනි සාධක මෙහිලා ප්‍රමුඛ තැනක් ගනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. කුමක් වුව රට ගොඩනැඟිය හැකි නායකයා මෙන් ම රට ගොඩනැඟිය හැකි දේශපාලන පක්ෂය ද මහජනයා විසින් තෝරාගත යුතුව තිබේ. ඒ සඳහා ඇති අවස්ථාව ඉතා බුද්ධිමත් ලෙස පාවිච්චි කළ යුතුය.

කුමන අර්ථයකින් ගත්ත ද ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සීමිත කාලයකි. මේ සීමිත කාලය තුළ රටේ සාමය හා නීතිය ආරක්ෂා කිරීම රජයේ වගවීම වෙයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩ නො තැබිය යුතු සේම ජනමතය විකෘති කිරීමට ද ඉඩ නොතැබිය යුතු ය. එවිට මහජන අභිලාසය මුදුන්පත් වන සේ නායකයකු පත් කර ගත හැකි ය.

නව අදහස දක්වන්න