ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ දෙවැනි වටය | දිනමිණ

ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ දෙවැනි වටය

ප්‍රින්ස් ගුණසේකර
උතුරු කොරියාව හා ශ්‍රී ලංකාව අතර පාපන්දු තරගයේ උණුසුම් අවස්ථා ඡායාරූප - සුලෝචන ගමගේ

ශ්‍රී ලංකාවේ දිරිමත් ක්‍රීඩා විලාශයෙන් උතුරු කොරියාවේ ගෝල් වැස්ස නවතී

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා උතුරු කොරියාව අතර තුරඟ තරග පිටියේ ඊයේ පැවැති තරගයෙන් උතුරු කොරියාව ගෝල් 1-0ක ජයක් වාර්තා කළේය.

පසුගිය වසරේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ජර්මනිය ගෝල් 2-0කින් පැරදවූ උතුරු කොරියාව වැනි කණ්ඩායමක් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වීම විශාල ජයග්‍රහණයකි. තරගය ආරම්භ කිරීමට කලින් උතුරු කොරියානු පාපන්දු පුහුණුකරු වැඩිපුර ගෝල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එරෙහිව එලල් කරන බවට පුරසාරම් දෙඩූවද ඒ සියලු අපේක්ෂා සුන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු භගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර විවේකයෙන් පසුව තරගයේ 66 වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරියේ සිට උතුරු කොරියාවේ ජන්ග් කුක් කෝල් හිසෙන් පහරක් එල්ල කොට එකම ගෝලය වාර්තා කිරීමට සමත් විය. තරගයේ 57 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ගෝලයක් වාර්තා කිරීමේ ආසන්න අවස්ථාවක් උදාවූ අතර දිලිප් කුරුකුලසූරියගේ උත්සහය වැලකී ගියේය.

දවසේ ක්‍රීඩකයා බව⁣ට පත්වූ ශ්‍රී ලංකා ගෝල් කීපර් සුජාන් පෙරේරා උතුරු කොරියානු ගෝල් අවස්ථා 7ක් පමණ වැළක්වීමට සමත්වීම කාගේත් සිත්ගත් අවස්ථා විය. උතුරු කොරියානු පාපන්දු ක්‍රීඩකයන්ගේ සෑම පහරක්ම ඉතා ප්‍රබල ඒවා වූ අතර ශ්‍රී ලංකා පිලේ ආරක්ෂක කලාපය ඒවාට සැලසුම් සහිතව මුහුණ දුන්නේය. වෙනදාට වඩා ශ්‍රී ලංකා මැද පෙළ හොඳින් ක්‍රියාත්මක වූ හෙයින් ⁣පාපන්දුව ශ්‍රී ලංකා ප්‍රහාරක බල ඇණිය දෙසට ඇදී එනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා පිල ටර්කිමෙනිස්තානයට එරෙහි පළමු තරගයේදී සිදුකළ අතපසුවීම් මේ තරගයේදී අවම කරගෙන ක්‍රීඩා කිරීම කැපී පෙණුණි. පළමු තරගයට ක්‍රීඩා කළ ආරක්ෂක පෙළ ක්‍රීඩක චරිත රත්නායක හා මැද පෙළ ක්‍රීඩක නිරේෂ් සුන්දරරාජ් ඊයේ මුල් කණ්ඩායමෙන් ඉවත් කොට මනරම් පෙරේරා හා මොහොමඩ් අමානී එක්කිරීමට තීරණය කොට තිබ්ණි.

එහෙත් 63 වැනි මිනිත්තුවේදී වෙහෙසට පත්ව සිටි මොහොමඩ් අමානී වෙනුවට නිරේෂ් සුන්දරරාජ් ක්‍රීඩා පිට්යට කැඳවීමට පුහුණුකරු පකීර් අලී මහතා තීරණය කළේය. එමෙන්ම තරගයේ 80 වැනි මිනිත්තුවේදී මැද පෙළ ක්‍රීඩක ධනංජූ මධුෂාන් ඉවතට ගෙන සසංග දිල්හාර ක්‍රීඩා පිටියට කැඳවීය. උතුරු කොරියානු පිලේ එක් ආදේශයක් පළමු භාගයේදී සිදු කෙරුණි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 37වැනි ස්ථානයේ සිටින කණ්ඩායමක් 200 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව සමග තරග වදින අයුරු දැක බලා ගැනීමට බොහෝ දෙනා තුරග තරග පිටියට පැමිණ සිටියහ.

වසර 13කට පසුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර ටර්කිමෙනිස්තානය සමග නිමාවූ පළමු තරගයෙන් ගෝල් 2-0ක පරාජයක් අත්වූ අතර, උතුරු කොරියාව පළමු තරගයේදී ලෙබනනය ගෝල් 2-0කින් පරාජයට පත් කළේය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන මස 10 වැනිදා දකුණු කොරියාව සමග සෝල් නුවරදී පැවැත්වේ.

නව අදහස දක්වන්න