අගලවත්තේ කුඹුරුවලට අයාලේ යන ගවයන්ගෙන් හානි | දිනමිණ

අගලවත්තේ කුඹුරුවලට අයාලේ යන ගවයන්ගෙන් හානි

ඉතා දුක් මහන්සියෙන් දිවා රෑ කැප වී වගා කළ කුඹුරු යාය අයාලේ ගැවසෙන ගවයන් ගෙන් බේරා ගැනීම ඉතා අපහසු කටයුත්තක් බව අගලවත්ත හා අවට වී ගොවීහු පවසති.

පැළ මතු වූ අවස්ථාවේ සිටම මෙම අයාලේ යන ගවයන් තම කුඹුරු වලට හානි කළද ඒ පිළිබදව සොයා බලා පිළියම් යෙදීමට කිසිදු බලධාරියකු කටයුතු නොකිරීම හේතුවෙන් තමන් ගොවිතැන පිළිබඳව කලකිරී සිටින බව ඔවුහු පවසති.

මෙම අයාලේ යන ගවයන්ගේ හිමි කරුවන් විසින් ආහාර සොයා යාම පිණිස මුදා හරින ගව රංචු අවට කුඹුරු වල පැළ වී පමණක් නොව බණ්ඩි ගොයම පවා විනාශ කර දමති.

මේ පිළිබඳව අගලවත්ත ,කැකුළන්දල ඉන්දික දීපාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මම වී පෑල් දෙකක් පමණ වගා කරනවා ,මෙවර කුඹුරු යාය ඉතා සරුවට වැඩෙමින් තිබුණා . නමුත් පසුගිය දිනක ගොස් බලන විට කුඹුරේ විශාල ප්‍රදේශයක් නිදැල්ලේ යන හරකුන් කාලා. මේ පිළිබඳව මම අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා, ඔවුන් කියන්නේ මේ පිළිබඳව ඔවුන්ට වගකීමක් නෑ කියලා.පසුව මම අගලවත්ත ප්‍රාදේශීය සභාව දැනුවත් කරලා හරකුන් කන අවස්ථාවක් කැඳවාගෙන අවිත් පෙන්නුවා.ප්‍රාදේශීය සභාව කියන්නේ හරක් අල්ලා දෙන්න කියලා.අපි කොහොමද ඒක කරන්නේ.

කලින් නීතියක් තිබුණා අයාලේ යන ගවයන් අල්ලා හිමිකරුවන්ට දඩ ගහන්න .නමුත් අද එය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මේ නිසා අපි ලොකු ගැටලුවකට මූණ පාල සිටින්නේ.මේ ගැන ගොවිජන සේවාවට කිව්වත් පිළියමක් යොදන්නේ නෑ.

අපි කුමන හෝ ක්‍රියා මාර්ගයක් ගත්තොත් හරක් අයිති කාරයො අපි එක්ක වෛර බැඳ ගන්නවා.

මේ ගවයන් අයාලේ යවලා ලොකු මහත් උනාම මස් කඩේට දක්කන එක තමා උන්ගේ අයිති කාරයෝ කරන්නේ.නැතිනම් සුරක්ෂිත විදිහට ඔවුන්ව පෝෂණය කළ යුතුයි.

පී.එම්.පත්මසූරිය - අගලවත්ත සමූහ.

 

නව අදහස දක්වන්න