අවම පහසුකමින් ඉගෙන ගන්නා දරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් සකසනවා | දිනමිණ

අවම පහසුකමින් ඉගෙන ගන්නා දරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් සකසනවා

චමීර ඇල්ලදෙණිය

අවම පහසුකම් යටතේ ඉගෙනුම ලබන සහජ දක්ෂතාවලින් පිරුණු දරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යයෙන් පළ වූ ප්‍රවෘත්තියක සඳහන් වූ අම්පාර දිස්ත්‍රික්කයේ උහන තිස්සපුර විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂතා ඇති අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගක් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහි දී ඇමැතිවරයා විසින් ක්‍රීඩා කුසලතා ඇති දරුවන්ගේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් 100,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

අම්පාර, උහන, තිස්සපුර විද්‍යාලය මුල්‍ය සම්පත් අතින් ඉතාමත් පහළ මට්ටමක පවතින විද්‍යාලයක්. මාධ්‍යයෙන් විකාශය වූ ප්‍රවෘත්තියට අනුව එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සහජ දක්ෂතා සහිත දරුවන් සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් අතහිත දීමට කිසිවෙක් නැති බව දැනගන්නට ලැබුණා. ඒ අනුව එම තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ දී ඔවුන්ට සැබැවින්ම උපකාර කළ යුතු බව පැහැදිලි වුණා. ජාති, ආගම් භේද නොසලකා රටේ සෑම තැනම සිටින මේ ආකාරයේ මූල්‍ය සම්පත් නොමැති, සහජ දක්ෂතා සහිත දරුවන්ට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

වොලිබෝල් ක්‍රීඩාවෙන් 2016 වසරේ සිට මේ දක්වා වසර 03ක් අඛණ්ඩව ශූරතාව හිමි කර ගත් තිස්සපුර විද්‍යාලය, 2016 වසරේ ශූරතාවක්, 2017 වසරේ ශූරතා 02ක් සහ 2018 වසරේ ශූරතා 03ක් වශයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් මේ වසරේ දිස්ත්‍රික් සහ පළාත් ශූරතා හිමි කර ගනිමින් කණ්ඩායම් 10ක් සමස්ත ලංකා ශූරතාවට ඉදිරිපත් කර තිබෙනවා.

තිස්සපුර විද්‍යාලයේ විදුහල්පති එම්. සී. උදයකුමාර මහතා

ඉතාමත් දක්ෂතා සපිරි දරු පිරිසක් ඉගෙනුම ලබන උහන තිස්සපුර විද්‍යාලය මේ වන විට ක්‍රීඩා අංශ කිහිපයකින්ම සමස්ත ලංකා මට්ටමට පැමිණ තිබෙනවා. මොවුන් මේ දක්ෂතා පෙන්නුම් කර ඇත්තේ කිසිදු පහසුකමක් නොමැතිවයි. ඒ ඔවුන්ට පවත්නා ජවය සහ ශක්තියෙන්. එම දක්ෂතා වර්ධනය කරගැනීමට රවී කරුණානායක ඇමැතිවරයා ලබා දුන් මූල්‍ය සහාය ඉතාමත් අගනා පරිත්‍යාගයක්. එයින් මෙවර ඉදිරිපත් වන සමස්ත ලංකා තරග සියල්ල ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට කරා ගෙන යෑමට හැකි වෙනවා. ඇමැති රවී කරුණානායක මහතා විසින් කළ මේ උතුම් සේවයට සමස්ත විද්‍යාලයේ දරු දැරියන් මෙන්ම ඔවුන්ගේ මවුපියන් වෙනුවෙන් ඇමැතිවරයාට මා ස්තූතිවන්ත වෙනවා‍.

නව අදහස දක්වන්න