“සහසක් නිමැවුම්- 2019 ” ලබන 20වනදා සිට | දිනමිණ

“සහසක් නිමැවුම්- 2019 ” ලබන 20වනදා සිට

 
(ක්‍රිසන්ති විතාරණ)
 
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන “සහසක් නිමැවුම්- 2019 ” සැප්තැම්බර් මස 20, 21 හා 22 යන දිනයන් හි දී පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වේ. 
 
“සහසක් නිමැවුම්- 2019 ” මේ වසරේදී විදෙස් නව නිපැයුම්කරුවන් සඳහා ද විවෘත කරන ඇති අතර, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් ලෙස නැවුම් මුහුණුවරකින් එළි දැක්වීමට කටයුතු යොදා තිබේ. 
 
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන “සහසක් නිමැවුම්” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලී කුසලතා විදහා දක්වන ප්‍රමුඛ තලයේ ජාතික ප්‍රදර්ශනය ලෙස අර්ථ දැක්විය හැකි ය. 
 
නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයක දී එළි දක්වමින් සමාජගත කිරීම මගින් ශ්‍රී ලාංකිකයන් තුල නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහි කිරීම අරමුණු කරගනිමින් “සහසක් නිමැවුම්” ක්‍රියාවට නැංවේ. 
 
“සහසක් නිමැවුම්” දැවැන්ත ප්‍රදර්ශනයක් ලෙස ජනතාව අතරට පැමිණෙන්නේ අදියර කිහිපයක ප්‍රතිඵලයක් ලෙසිනි. පාසල්, විශ්වවිද්‍යාල හා තෘතියික අධ්‍යාපන ආයතන, විවෘත හා වාණිජකරණ යන ප්‍රධාන අංශ හතරක් යටතේ, එමෙන්ම වෛද්‍ය විද්‍යාව හා ඖෂධවේදය, මහජන ආරක්ෂාව, කෘෂිකර්මය, ප්‍රවාහන, ඉංජිනේරු, භෞතික විද්‍යාව, ආහාර තාක්ෂණය, රසායන විද්‍යාව යනාදී වූ තාක්ෂණික ක්ෂේත්‍ර 14ක් යටතේ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවයෙහිම පැවැත්වෙන ඇගයීම් වලින් තෝරා ගැනෙන නව නිපැයුම් පමණක් මෙම ප්‍රර්ශනයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබයි. 
 
මෙවර ප්‍රදර්ශනයේ දී විදෙස් නව නිපැයුම් සඳහා අවස්ථාව ලබාදීම “සහසක් නිමැවුම්” හි තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් වන අතර, එය ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ අත්දැකීම සජීවීව විඳගැනීමට අවස්ථාව නොලබන ශ්‍රී ලාංකිකයන්ට ද විශිෂ්ට අත්දැකීමක් වනු නොඅනුමාන ය. 
 
පළාත් මට්ටමෙන් කෙරෙන නව නිපැයුම් තෝරාගැනීමේ ක්‍රියාවලිය මෙන්ම “සහසක් නිමැවුම්” ජාතික තලයේ ඇගයීම් ද සිදු කරනු ලබන්නේ තාක්ෂණික ක්ෂේත්‍රයන් හි විශිෂ්ට නිපුණතාවයකින් යුත් විනිසුරු මඩුල්ලක් විසිනි. එමෙන්ම විදෙස් නව නිපැයුම් ඇගයීම ද එවැනිම වූ අත්දැකීම් බහුල ප්‍රවීණයන් විසින් සිදු කරනු ලබන අතර, මෙය සමස්ථ “සහසක් නිමැවුම්” ප්‍රදර්ශනයේ ගුණාත්මකභාවය සුරැකීම වෙනුවෙන් ගන්නා ලද පියවරකි. 
 
අඛණ්ඩව නව නිපැයුම්කරණයට යොමු වන රටවල් ලෝකයේ දැවැන්තයන් බවට පත්වන අතරම නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ උත්සාහය වන්නේ ද දේශීය නව නිපැයුම්කරණය දිරිගන්වමින් ඔවුන් ගේ නිපැයුම් දේශීය, ජාත්‍යන්තර වෙළෙඳ පොළ කරා ප්‍රවේශ වනු දැකීමයි. මෙවැනි දැවැන්ත ප්‍රදර්ශනයක් වාර්ෂිකව සංවිධානය කිරීමේ ප්‍රබලම අරමුණ වන්නේ ද එයයි. නව නිපැයුම්කරුවන් හා ව්‍යවසායකයන් සම්බන්ධ කරවිය හැකි අනගි අවස්ථාවක් මෙම ප්‍රදර්ශනය ඔස්සේ නිර්මාණය වන අතර, එය ඔවුනට “සහසක් නිමැවුම්” තුලින් ලබාගත හැකි දැවැන්තම ප්‍රතිලාභයයි. 
 
මෙයට අමතරව “සහසක් නිමැවුම්” ඇගයීම් වලදී ජයග්‍රහණය ලබාගන්නා නව නිපැයුම් සඳහා “දසිස්” කුසලානය හිමි කර ගැනීමේ අවස්ථාව මෙන්ම පදක්කම්, සහතික පත්‍ර  මෙන්ම මූල්‍යමය ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවන් රාශියක් ද හිමි වේ. එමෙන්ම “සහසක් නිමැවුම්” සඳහා සුදුසුකම් ලබන පාසල් අංශයේ නව නිපැයුම්කරුවන් වෙනුවෙන් කුසලතා සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීම ද විශේෂත්වයකි. තව ද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පූර්ණ අනුග්‍රහය මත විදෙස් නව නිපැයුම් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව මෙම ජයග්‍රාහකයන්ට හිමි වීම ද සුවිශේෂත්වයකි. 
 
ව්‍යවසායකයන් හට නව මානයන් ඔස්සේ සිතීමට ප්‍රවේශයක් ලබාදෙන “සහසක් නිමැවුම් 2019” ප්‍රදර්ශනය නරඹන්නන් හට නොමිලේ ආකර්ශනීය අත්දැකීම් රැසක් හිමි කර දෙනු ඇත.

නව අදහස දක්වන්න