තේ අපනයනය නැංවීමට වෙළෙඳ හිඟය බාධාවක් | දිනමිණ

තේ අපනයනය නැංවීමට වෙළෙඳ හිඟය බාධාවක්

තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න

මූල්‍ය වෙළෙඳපොළ පහත වැටීම සාම්ප්‍රදායික වෙළෙඳපොළවල් වෙත තේ අපනයනය සීමා කරන අතර නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශය සඳහා අපනයන කරුවන් දරන උත්සාහයට බාධා ඇතිකරන බව තේ අපනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

වෙළෙඳාමට සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රමාණයක් නොතිබීම වෙළෙඳාමේ සියලුම අංශ කෙරෙහි බලපා ඇති බවත්, රුසියාව, ඉරානය සහ සිරියාව වැනි අපගේ වර්තමාන වෙළඳපොළ බොහොමයකට ‍අපනයන කටයුතු සඳහා දේශීය බැංකු මුදල් සපයන්නේ නැති බවත්. තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණරත්න මහතා පැවසූවේ පසුගිය දා පැවති තේ අපනයන කරුවන්ගේ 20 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිණි.

බැංකු අංශයෙන් ලැබෙන මූල්‍ය පහසුකම් ණය සහ යන්ත්‍රෝපකරණ ණය සඳහා පමණක් සීමා වී ඇති බැවින් මුල්‍ය හිඟය තේ අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ වෙත පිවිසීම සීමා කරන බව ඔහු පෙන්වා දුන්නේය.අපගේ වර්තමාන වෙළෙඳපොළ අස්ථාවර තත්වයකට පත්ව ඇත. අප නව වෙළෙඳපොළ වර්ධනය කරගැනීම අභියෝගයකි. ඒ සඳහා තරඟකාරීත්වයට සරිලන අන්දමින් නව සන්නාමයක් සකස් කරගත යුතුව ඇත. ඒ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වන අතර එය පහසු කාර්යයක් නොවේ.

කර්මාන්තය සඳහා හිම්වන්නේ ඇසුරුම් යන්ත්‍රෝපකරණ සඳහාවන ණය පහසුකම් පමණි. දිගු කාලීන භාවිතය සඳහා වෙළෙඳ සංනාම ගොඩනැගීම සහ තේ ගබඩා කිරීම සඳහා කිසිදු මූල්‍ය පහසුකමක් හෝ ණය ක්‍රමවේදයක් නොමැත.

තේ අපනයනකරුවන්ගෙන් ප්‍රවර්ධන හා අලෙවිකරණ බද්ද ඉවත් කිරීමේ ඉල්ලීම යළිත් අවධාරණය කරමින් කරුණාරත්න මහතා සඳහන් කළේ ආර්ථික සේවා ගාස්තු ඇතුළු විවිධ බදු සහ ගාස්තු තේ අපනයනය ජාත්‍යන්තර වෙළෙඳපොලේ තරඟකාරී නොවන මට්ටමකට පත් කිරිමට හේතු වී ඇති බවයි.

නව අදහස දක්වන්න