වරිග සභා සහ පක්ෂ සභා | දිනමිණ

වරිග සභා සහ පක්ෂ සභා

අසේල කුරුළුවංශ

මෙරට ජනතාව බොහෝ විට තමන්ගේ ඡන්දය පාවිච්චි කරනු ලබන්නේ පොදු යහපතට වඩා පෞද්ගලිකව තමන්ට ලැබෙන්නේ කුමක්ද යන කාරණාව මතය. එම නිසා අපේක්ෂකයින් ප්‍රතිපත්ති දේශපාලනයට වඩා පොරොන්දු දේශපාලනයේ නිරතවීම දශක ගණනාවක පටන් දක්නට ලැබේ.

දහනව වන ව්‍යවස්ධා සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස විධායක ජනපති ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු විය. මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ එසේ ජනාධිපති ධුර කාලයේ වසර ගණන අඩුවීම හේතුවෙනි. කෙසේ වෙතත් ජනපතිවරණයේ උණුසුම ඉහළ ගොස් තිබෙන්නේ ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව මගින් දින වකවනු ප්‍රකාශයට පත්කර පවා නොතිබියදීය. වසර හයක් වූ එවක ධූර කාලය නිමා වීමට දෙවසරක් තිබිය දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හදිසියේ ජනපතිවරණයක් කැඳවූයේ එය ජයගෙන දිගින් දිගටම බලයේ සිටීමට හැකිවේය යන අරමුණ ඇතිවය. නමුත් ඔහුට සිදුවූයේ ජනතාව රට පාලනය කිරීමට දුන් කාලය ගෙවා දැමීමට පවා පෙර ගෙදර යාමටය.

දැන් එළඹෙමින් තිබෙන්නේ මෙරට හත්වන විධායක ජනපති ලෙස සුදුසු පුද්ගලයකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පක්ෂවලින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අපේක්ෂකයින්ගේ නම් මේ වන විටත් හෙළිකර අවසානය.

මැතිවරණ උණුසුම

එක්සත් ජාතික පක්ෂය තවමත් තම ජනපති අපේක්ෂක නම්කර නැත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කතානායක කරූ ජයසූරිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් එජාපය ප්‍රමුඛ සන්ධානය මගින් ඉදිරිපත් කිරීමට නියමිත ජනපති අපේක්ෂකගේ නම් අතර ඉදිරියෙන්ම කියැවෙයි. මේ අතරින් සජිත් ප්‍රේමදාස මහතා තමන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. මෙම කාරණාව විපක්ෂයේ දේශපාලන පක්ෂවල මෙන්ම ඔවුන්ට හිතවත් මාධ්‍යවල ප්‍රමුඛතම මාතෘකාවක් බවට ද පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් කෙරෙන විවේචන අනුව පෙනෙන්නේ ඇමර්සන් වනය ගිනි ගැනීමෙන් ලෝක පරිසර පද්ධතියට සිදු වූ හානියටත් වඩා එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය ඔවුන්ට වැදගත් වී ඇති බවකි.

සාමාන්‍යයෙන් ජනපතිවරණයක උණුසුම ජනතාවට දැනෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය. මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාව මත කැඳවන ලද පසුගිය ජනපතිවරණයේදී එජාපය ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරනු ලැබූ පොදු අපේක්ෂකයා කවුරුන් වනු ඇත්දැයි සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබිණි. එසේ වුවත් එම ජනපතිවරණ සටන වඩාත් උණුසුම් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වීමත් සමඟය. එහෙත් මෙවර ඊට වඩා වෙනස් ස්වරූපයක් පෙන්නුම් කරමින් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම එහි උණුසුම සමාජයට කාන්දු වීමට පටන් ගෙන තිබේ.

ප්‍රතිපත්ති වෙනුවට පොරොන්දු දේශපාලනය මේ ඔස්සේ යළිත් සමාජගත වෙමින් ඇත. එකට සිටි පිරිස් දෙකට බෙදී එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් තමන් කැමැති පුද්ගලයා පෙරට ගෙන ඒමට දරන උත්සාහය එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් යන පක්ෂ සියල්ලේම දක්නට ලැබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබුවේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සියලු පක්ෂ ජනාධිපති අපේෂකයා තේරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබුණු තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගත වීමට නියමිත අතර එම සන්ධානය මඟින් ජනපති සටනට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තෝරා ගැනීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට බාර කර තිබේ.

විද්වත් පිරිස

ජනපතිවරණ සටන පිළිබඳ ඇතිව තිබෙන කතාබහ අතරතුර දේශපාලනඥයින්ට අමතරව විද්වතුන් ද ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත. ජනපතිධුරයට පත්කර ගත යුත්තේ රාජ්‍ය පාලකයකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ ද සොයිසා මහතා පවසයි. දේශපාලනය කිරීම කිසිදු අධ්‍යාපනයක් නොලද අයකුට වුව හැකි බව පවසන ඒ මහතා රාජ්‍ය පාලකයකු වීමට දැනුම, බුද්ධිය, පළපුරුද්ද, ස්වයං විනය ආදි කරුණු ගණනාවක් අවශ්‍ය බව ද කියයි. මුලින් දේශපාලනය කිරීමෙන් අත්දැකීම් ලබන පුද්ගලයා ක්‍රමයෙන් රාජ්‍ය පාලකයකු බවට පත්විය යුතුය. දේශපාලනය කරන සමයේ සිදු කරන ‘පිස්සු වැඩ’ රාජ්‍ය පාලනයට පැමිණි පසු සිදු කළ නොහැකි වුවත් අපේ බොහෝ නායකයින් රාජ්‍ය පාලනයට පැමිණි පසුද දේශපාලන භූමිකාවම එලෙසින්ම රඟදක්වන අයුරු දක්නට ලැබෙන බවද පවසන මහාචාර්යවරයා කියන්නේ අනාගතයේ රට බාරදිය යුත්තේ දේශපාලන, ආර්ථික, සමාජීය ප්‍රශ්න නිවැරදිව හඳුනා ගනිමින් ඒවාට විසඳුම් සෙවීම පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ හැකියාව ඇති අයකුට බව පෙන්වා දෙයි. මෙරට ජනතාව බොහෝ විට තමන්ගේ ඡන්දය පාවිච්චි කරනු ලබන්නේ පොදු යහපතට වඩා පෞද්ගලිකව තමන්ට ලැබෙන්නේ කුමක්ද යන කාරණාව මතය. එම නිසා අපේක්ෂකයින් ප්‍රතිපත්ති දේශපාලනයට වඩා පොරොන්දු දේශපාලනයේ නිරතවීම දශක ගණනාවක පටන් දක්නට ලැබෙන තත්ත්වයක් බවද ඒ මහතා කියයි.

පැරැණි ඇමැතිවරු

හෑත්තෑව දශකයේ අග භාගය තෙක් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිකම් දැරූ බොහෝ දෙනකු උගතුන් මෙන්ම බුද්ධිමතුන් වූ බවත් කොල්වින්, එන්.එම්, ලෙස්ලි ගුණවර්ධන වැන්නවුන් ඊට උදාහරණ බවත් පවසන මහචාර්ය සොයිසා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඔවුන් පාලනය කිරීමට හෝ ඔවුන් අභිබවා කටයුතු කිරීමට නොහැකි වූ බව ද පැවසුවේය. අද මහජනතාව ඡන්දයෙන් තෝරාපත් කර එවන නූගත් පුද්ගලයින් අමාත්‍යාංශයක කාර්යභාරය නොදන්නා නිසා ලේකම්වරු ඔවුන්ට අවශ්‍ය පරිදි අමාත්‍යාංශ සහ ඇමැතිවරුන් මෙහෙයවන බව ද මහචාර්යවරයා පවසයි. නිලධාරීන්ගේ අරමුණ ජනතා සේවය නොවන නිසා ඉහත තත්ත්වය තුළ අමාත්‍යාංශවලින් ජනතා සේවයට ලැබෙන ඉඩ ක්‍රමයෙන් සීමා වෙමින් යන බවද ඔහු අවධාරණය කරයි. මේ නිසා ජනතා නියෝජිතයන් ලෙස දැනුම හා අවබෝධය ඇති දේශපාලනඥයින් තෝරාපත් කර ගැනීම ඡන්දදායකයින්ගේ වගකීම බවද හෙතෙම පෙන්වා දෙයි.

ඕනෑම පක්ෂයකට ව්‍යවස්ථාවක් තිබෙන බවත් සියලු සාමාජිකයින් ඊට යටත් බවත් පෙන්වා දෙන සොයිසා මහතා පක්ෂය මගින් ජනපති අපේක්ෂක තෝරන ක්‍රමවේදයට පිටින් ගොස් යම් අයකු තමන් ජනපති අපේක්ෂයා යැයි පවසන්නේ නම් එය පක්ෂ විනයට පටහැනි දෙයක් බව ද පෙන්වා දෙයි. එම එජාපය තුළ අද එවැනි තත්ත්වයක් දක්නට ලැබුණත් එම තත්ත්වය ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ජනපති අපේක්ෂක තෝරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු අයුරකින් ගරු නොකර වරිග සභාවක් ලෙස කටයුතු කළ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාව මත බවද පෙන්වා දෙයි.

දකුණු ආසියානු රටවල දේශපාලනය තුළ ජාතිය, ආගම, කුලය, පාට, උගත්කම, දුප්පත්, පොහොසත්කම වැනි කාරණා බහුලව දක්නට ලැබෙන බව පවසන්නේ අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හිටපු ප්‍රජා විශෝධන කොමසාරිස් ආර්.එම්. විමලරත්න මහතාය. අද එක්සත් ජාතික පක්ෂය තුළ පවතින්නේ අර්බුදයක් නොවන බවත් තමන් එය හඳුන්වන්නේ මතවාදී අරගලයක් ලෙස බවත් කියන ඒ මහතා සෑම පක්ෂයකම මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් දැකිය හැකි බවද පවසයි. සමාජය තුළ එක් එක් ජන කොටස් විවිධ ස්ථර පවතින අතර ඉන් පහළම ස්ථරයේ සිටින පිරිස රජයකින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ නිවස ගොඩනැඟීමට සිමෙන්ති මිටියක් දෙකක්, වහල සෙවිලි කිරීමට තහඩු කිහිපයක් වැනි ද්‍රව්‍යමය ආධාරය. මැද ස්ථරය ඉන් තරමක් ඔබ්බට ගොස් පොදු යහපත සඳහා හේතුවන ආධාර උපකාර රජයක් ලවා ඉටුකර ගැනීමට වෙහෙසෙයි. ඉහළ ස්ථරයේ සිටින උගත් බුද්ධිමත් පිරිස අවධානය යොමු කරනු ලබන්නේ රටේ සංවර්ධනයට හේතුවන ආර්ථික, දේශපාලනික අංශ කෙරෙහිය. ජාතිය, ආගම හා කුලය වැනි දේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා බලපාන්නා වූ කරුණු ලෙස ඉස්මතු වන සමාජයක බිහිවන ආණ්ඩු නිවැරදි මාවතට යොමු කිරීම ඉතා අසීරු කටයුත්තත් බවද විමලරත්න මහතා පවසයි.

පොදුජන හැසිරීම

සංහිඳියාව වැනි කරුණු වචනාර්ථයෙන් සමාජ දේහය තුළ ඉස්මතුව පෙනුණ ද ඒවා ජනතාවගේ හදවත්වලට කා වැදී නොමැති බව පවසන විමලරත්න මහතා සම්බන්ධන් මහතාට දකුණෙන් මැතිවරණයට තරග කර ජයගන්නටත් මංගල සමරවීරට උතුරෙන් තරග කර ජය ගැනීමටත් හැකි වාතාවරණයක් ගොඩනැඟෙන තුරු අපි සිංහිඳියාව පැත්තෙන් අසමත් බවද ප්‍රකාශ කළේය.

ලිබරල් ආර්ථික දර්ශනයේ ලක්ෂණය වන්නේ පුද්ගලයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමය. එම ව්‍යවසායකයින් ගොඩනඟන ව්‍යාපාර ජනතාවට කාන්දු කිරීම ද එහි ප්‍රධාන ලක්ෂණයකි. මේ ඔස්සේ සිදු වන්නේ සහනාධාර වෙනුවට ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවශ්‍ය පසුබිම සැකසීමය. අද අපේ රටේ දේශපාලකයින් බොහෝ දෙනකු කරන්නේ කුසගිනි ඇති ජනතාවට මාළුවකු දී ප්‍රශ්නය ඈතට තල්ලු කිරීමය. ප්‍රශ්නයට විසඳුම වන්නේ මාළුවා වෙනුවට අදාළ පුද්ගලයා අතට බිලි පිත්තක් දීම බව හිටපු ප්‍රජා විශෝධන කොමසාරිස්වරයා පවසන්නේ අද රටට අවශ්‍ය සුබ සාධන දේශපාලනය වෙනුවට ආයෝජන දේශපාලනයක් බව ද පෙන්වා දෙමිනි. එසේ හෙයින් ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මගින් අපේක්ෂයකු තෝරා ගැනීමේදී උගත්, බුද්ධිමත්, පරිණත අයකු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් කිසිදු අපේක්ෂකයකුට ජනපතිවරණයකදී ජයගත නොහැකි බවත් සුළු ජාතික ඡන්ද එහිදී ඉතා වැදගත් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. මෙවර ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද දායකයින් මිලියන 15 ක් පමණ සිටින බව අනුමාන කරන්නේ නම් ඉන් ඡන්දය පාවිච්චි කරනු ලබන්නේ මිලියන 13 ක හෝ 14 ක පමණ පිරිසකි. කිසියම් අපේක්ෂයකු 50% පසුකර යන්නේ නම් අවම වශයෙන් ඡන්ද ලක්ෂ 70 කට ආසන්න සංඛ්‍යාවක් ලබාගත යුතුය. සුළු ජාතික ඡන්ද අමතක කර මෙම අගය වෙත සමීප වීමට කිසිදු අපේක්ෂකයකුට නොහැකිය. සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කර ගනිමින් මුලින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගිය පොහොට්ටු පක්ෂය දැන් සුළු ජාතික ඡන්ද දිනා ගැනීම පිණිස කටයුතු කරමින් සිටින්නේ ඔවුන් මෙම යථාර්ථය දන්නා බැවිනි. ජනපතිවරණ සටනට දින නියම වීමටත් පෙර සිට උණුසුම්ව තිබෙන මැතිවරණ වේදිකාව තව මාස කිහිපයකින් ගිනියම් වීමට ඉඩ පවතින අතර එය අැවිලවීම හෝ ගිනිබත් වන්නට ඉඩ හැරීම රඳා පවතින්නේ පක්ෂ නායකයින් හා අපේක්ෂකයින්ගේ ක්‍රියා කලාපය මතය.

නව අදහස දක්වන්න