විදුලියට සූත්‍රයක් | දිනමිණ

විදුලියට සූත්‍රයක්

පී.යූ.පී. කුමාර ද සිල්වා 
විදුලි අධිකාරී 
දකුණු පළාත

මාර්ග ආලෝකණයේදී නියමිත පිරිවිතර සහ ප්‍රමිතීන් සහිතව සිදු නොවීම නිසා නාස්තිය හා දූෂණය සිදු වේ. පොදු පිරිවිතර සහ ප්‍රමිතීන් අනුව තාක්ෂණික ඇගයීම පාරදෘශ්‍යව සිදුකර ගැනීමෙන් එය යම් මට්ටමකට අවම කර ගැනීමේ හැකියාව ලැබේ. ලංකාවේ දැනට සවිකර ඇති පහන් ක්‍රියාත්මක කිරීමේදී (පැය 12ක කාල සීමාවක්) විදුලි ඒකක ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් වැය වේ. එම ශක්තිය ලබා ගැනීමට අවම වශයෙන් මෙගා වොට් පහක බල ශක්තියක් අවශ්‍ය වේ.

යම් රටක විදුලි පරිභෝජනයේ ප්‍රමාණය එරට කෙතරම් සංවර්ධිත ද යන්න තීරණය කරන සාධකයකි. එය සංවර්ධන දර්ශකයක් (Development Index) ලෙස ද සැලකිය හැකිය. සෝවියට් දේශයේ නිර්මාතෘ වී. අයි. ලෙනින්ගෙන් දිනක් මාධ්‍යවේදියෙක් විමසුයේ, ඔබ සෝවියට් දේශය සංවර්ධනය කර අවසන් කරන්නේ කවදාද? යනුවෙනි. ලෙනින්ගේ පිළිතුර වූයේ සෝවියට් දේශය විදුලිකරණය කර අවසන් වූ දාට එහි සංවර්ධනය ද අවසන් වන බවයි. ඕනෑම රටක සංවර්ධනයට විදුලි ක්ෂේත්‍රය වැඩි දායකත්වයක් සපයන බව ඉන් පැහැදිලි වේ.

වර්තමානය වනවිට විදුලි සැපයුම සීමා වී ඊට සාපේක්ෂව ඉල්ලුම ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 50%කට අධික ප්‍රමාණයක් ලබා ගන්නේ ජෛවස්කන්ධ (දැව, ලී, කුඩු) පිළිස්සීමෙනි. ලංකාවේ ඒකපුද්ගල බලශක්ති භාවිතය වෙනත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතී. මෙරට නිවාස ඒකක ලක්ෂ පනස් පහක, ව්‍යාපාරික ඒකක ලක්ෂ පහක බලශක්ති භාවිතය අඩු මට්ටමක පැවතීම තවත් නිදර්ශනයකි. කාර්යාල සහ ව්‍යාපාර ස්ථානවල වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන ඇතැම් රටවල විදුලිය පරිහරණය සැසඳීමේ දීමෙරට ඉතා අවම මට්ටමක පැවතීම ඊට හේතුවයි. එහෙත් විදුලිය බෙදා හැරීමේදී හා සම්ප්‍රේෂණයේදී ඉතා විශාල නාස්තියක් සිදුවන ආකාරය දැකගත හැකිය. එහිදී සම්පුර්ණ විදුලිය ප්‍රමාණයෙන් 9.9%ක නාස්තියක් සිදුවන අතර ලෝකයේ වඩා හොඳම පද්ධතිවල පවා 5%ක විදුලිය නාස්තියක් සිදුවීම වැළැක්විය නොහැකිය. නවීන තාක්ෂණයට යොමු වීමෙන් විදුලි නාස්තිය යම් ප්‍රමාණයකට අවම කරගත හැකිය. බල ශක්ති ක්ෂේත්‍රයේ තිබෙන මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ආර්ථික විද්‍යානුකූලවත්, ඉංජිනේරු ශාස්ත්‍රය අනුවත් බලශක්ති සුරක්ෂිතතාවය ඇතිවන අයුරිනුත් සිදු කිරීමට කටයුතු කළ යුතුය. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල රුපියල් 20.20කි. එහෙත් ඛනිජ තෙල් මගින් විදුලිය නිෂ්පාදනයේදී අධික පිරිවැයක් දැරීමට සිදුවේ. වඩා අඩු ‍සහනදායි මිලක් ජනතාවට ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා රජයට විශාල පාඩුවක් සිදුවී ඇත. විදුලිය ආරක්ෂා කිරීමේ වගකීම ජනතාවට ඒත්තු ගැන්වීමට වැඩිවන ඒකක ප්‍රමාණයන් අනුව මුදල්මය අගය වැඩි කිරීම විදුලිය නාස්තිය අවම කිරීමට එක්තරා ආකාරයක පිළියමකි.

ලක්ෂ පනහක් වන විදුලි පාරිභෝගිකයන් සිය නිවෙස්වල අනවශ්‍ය එක් විදුලි පහනක් නිවා දැමීමෙන් මෙගා වොට් 300ක් පමණ ඉතිරි කරගත හැකිය. නිවෙසේ ඇති සූතිකා බල්බ වෙනුවට CFL හෝ LED බල්බ භාවිතා කිරීමෙන් පස්ගුණයක පමණ විදුලිය ඉතිරිකර ගැනීමට පුළුවන.

දේශගුණික සාධක පදනම්කර ගනිමින්ද විදුලිය ප්‍රශ්නයට යම් දුරකට හෝ විසඳුම් ලබාගත හැකි බව අනාවරණය කරගෙන තිබේ. 2017 වර්ෂයේ මැයි මස 15 වන දින විදුලිය සැපයුම පිළිබඳව සැලකූ විට ජල විදුලිය හා සුළං මගින් 20%ක්ද, ගල් අඟුරු මගින් 40%ක්ද, හයිඩ්‍රොකාබන් මගින් (ඩීසල්) 40%ක්ද භාවිතා කර ඇත. ජල විදුලියෙන් අඩු වූ ප්‍රමාණය ඩීසල් හා ගල් අඟුරු භාවිතයෙන් තුලනය කරගෙන ඇත. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සුදුසු ක්‍රමවේදයක් තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතු බව මේ අනුව පැහැදිලි වේ.

සංකීර්ණ ක්‍රියාවලියක්

විදුලි ඉල්ලුම සැපයීමේදී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරයි. තාක්ෂණික අවශ්‍යතා ඉන් පළමු වැන්නයි. වෝල්ටීයතාව, සංඛ්‍යාතය කිසියම් ප්‍රමිතියකට තිබීම ආදී පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය කෙරෙහි මෙහිදී අවධානය යොමු කරයි. දෙවනුව ආර්ථික වශයෙන් කොතරම් නම් ලාභදායීද යන කාරණාව කෙරෙහි සැලකිලිමත් විය යුතුය. අඩු පිරිවැයකින් පාරිභෝගිකයාට අවශ්‍ය සේවාව සපයන්නේ කෙසේද? යන කාරණය ප්‍රධාන වේ. තෙවැන්න බලශක්ති උත්පාදනයේදී සිදුවන පාරිසරික බලපෑම කුමක්ද? යන්නයි.

රටක විදුලිය අවශ්‍යතාවය සපුරාලීම මහත් අභියෝගයකි. රටක විදුලිය පද්ධතිය, නිෂ්පාදනය (ජනන) , විදුලි සම්ප්‍රේෂණය හා විදුලිය බෙදා හැරීම යන අංශ තුනම සම්බන්ධ වූ සංකීර්ණ ක්‍රියාවලියකි.

ජාතික ආරක්ෂාව මෙන්ම තිරසාර සංවර්ධන ක්‍රියාවලියට සුවිශාල දායකත්වයක් රාත්‍රී කාලයේ දී මාර්ග ආලෝකනය කිරීමෙන් ලැබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය, අඩිපාර, මංමාවත් , වීථි, මහාමාර්ග සහ අධිවේගී මාර්ගවලින් සමන්විත වේ. අධිවේගී මාර්ග, යම් ප්‍රදේශවල මහාමාර්ග ආලෝකනය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලැබුව ද වැඩි ප්‍රමාණයක් මාර්ග ආලෝකන පහන් නඩත්තු කිරීම සිදුවන්නේ පළාත් පාලන ආයතන මඟිනි.

දැනට භාවිතා කරනු ලබන මාර්ග ආලෝකන පහන් ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලි (පුද්) සමාගම විසින් සිදුකර ඇත. එම පහන්වල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුය. බල ප්‍රදේශයේ එක් එක් මාර්ගයන්හි දැනට සවිකර ඇති පහන් වර්ගය (Type of lamp), වොට් (Watt) ගණන අනුව ලේඛනගත කළ යුතුය. විදුලි කණු අංකණය කර ඇත්නම් එය තවත් සාර්ථක ක්‍රියාවලියකි. අනවසර මාර්ග ආලෝකන පහන් සවිකිරීම මේ තුළින් නතරකර ගත හැකිය.

පළාත් පාලන ආයතනවල මාර්ග ආලෝකන පහන් ස්ථාපනය සඳහා වන සීමාවන් පවතී. විදුලිබල ගාස්තු අයකර ගැනීම අයක්‍රම අනුව ගෘහස්ථ සහ පොදු කාර්ය 1.1 සහ පොදු කාර්ය 1.2 කාණ්ඩ යටතේ විදුලි පාරිභෝගිකයන් භාවිත කරන, විදුලි ඒකක ප්‍රමාණයෙන් නාගරික ප්‍රදේශවල 2%ක සහ ග්‍රාමීය ප්‍රදේශවල 3%ක ප්‍රතිශතයක් ද මාර්ග ආලෝකන පහන් සඳහා වෙන්කර ඇත. පළාත් පාලන ආයතනවලට හැකියාවක් ඇත්නම් විදුලිබල මණ්ඩලයට හෝ සමාගම මගින් නඩත්තු ගාස්තු ගෙවා එම ආයතනවල ප්‍රදේශවල මාර්ග ආලෝකන පහන් නඩත්තු කිරීම අදාළ පළාත් පාලන ආයතන මඟින් ඉටු කරවා ගැනීමේ හැකියාව පවතී. ලංකාවේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල මාර්ග ආලෝකන පහන් නඩත්තුව විදුලිබල මණ්ඩලය හෝ විදුලි (පුද්) සමාගම මඟින් හෝ සිදු කරයි. ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත ලංකා විදුලි (පුද්) සමාගමේ බල ප්‍රදේශ හා පළාත් පාලන අයාතනවල බලප්‍රදේශ සීමා වෙයි.

නිර්දේශිත පහන්

දැනට භාවිතා කරනු ලබන මර්කරි වෙපර්, ෆ්ලෝසන්ට් ටියුබ් බල්බ වෙනුවට බලශක්ති කාර්යක්ෂම එල්.ඊ.ඩී පහන් භාවිතය කෙරෙහි අවධානය යොමු කර ඇත. විදුලි ඒකක ප්‍රමාණය ඉහළ ප්‍රතිශතයකින් අඩුකර ගැනීමටත්, පරිසරයට හානිදායක රසායනික ද්‍රව්‍ය බැහැර කර ගැනීමට සුදුසු ආලෝකන ප්‍රතිදානයෙන් යුත් ලුමිනස් අවුට්පුට් (Lumens Output) වොට් 50 (IP 65) LED බල්බයක් සහිත සවිකුරුවක් භාවිත කිරීම එක් පිළියමකි. එයින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමටත්, එම අතිරික්තය අඳුරේ පවත්නා ස්ථාන ආලෝකනයට භාවිත කිරීමටත් හැකිවීම ලැබෙන ප්‍රතිලාභයකි. නඩත්තු කිරීමේ ඊළඟ පියවරේදී වඩාත් සුදුසුම ක්‍රමවේදය වන්නේ දැනට භාවිත රසදිය වාෂ්ප පහන් (Mercury Vapour) සහ ප්‍රතිදීප්ත පියරුසි පහන් (Fluorescent Tube) භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමයි. බලශක්ති කාර්යක්ෂමතා පහන් වෙනුවට අවම වසර දෙකක්වත් වගකීම් කාලයක් සහිත පිළිගත් එල්. ඊ. ඩී. නිෂ්පාදන භාවිත කිරීමෙන් භාවිත ඒකක සංඛ්‍යාව 50% - 60%ට අඩුකර ගත හැකිය.

මාර්ග අනුව සවිකළ යුතු පහන්වල කාර්යක්ෂමතාවය (වෝල්ටීයතාව) වර්ග මෙන්ම ස්ථාන අනුව නිර්දේශ කරනු ලබන පහන්වල වර්ණයද වෙනස් වේ. ආලෝකන පහන් සවිකරන ප්‍රදේශ අනුව ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශ ලෙස වර්ග කර දැක්විය හැකිය. නාගරික ප්‍රදේශවල මහාමාර්ග සඳහා විශේෂිත මාර්ග ආලෝකන පහන් කණු සවිකර ඇති ස්ථානවල අවම ලූමන 25,000 ආලෝක ප්‍රතිදානයක් 250W LED IP 65 සවිකුරු එක බැගින් නාගරික ප්‍රදේශවල, වාණිජ ප්‍රදේශවල විදුලි බෙදා හැරීම් කණුවල සවිකරනු ලබන පහන් අවම ලුමන 15,000ක ප්‍රතිදානයෙන් යුතු LED 150W IP 65 සවිකුරුවක් සහ වීථි ආශ්‍රිතව ලුමන 5000ක ප්‍රතිදානයෙන් යුතු LED 50W IP 65 පහන් බැගින්, සෑම පදික මාරුවක් අසල සහ පොදු ගොඩනැඟිලි සහිත ස්ථානවල 150W LED IP 65 සවිකුරු සහිත පහන් ද භවිතා කිරීම සුදුසු වේ.

ග්‍රාමීය ප්‍රදේශවල වාණිජ ස්ථාන ආශ්‍රිත ලූමන 5000ක ප්‍රතිදානයෙන් යුතු 50W LED IP 65 පහන් සවිකුරු ද නාගරික නේවාසික ප්‍රදේශවල සෑම කණුවකට ලුමන 200ක ආලෝක ප්‍රතිදානයෙන් යුතු LED 20W E 27 බල්බයක් ද ග්‍රාමීය ප්‍රදේශවල විදුලි මාර්ග කණුවක් හැර කණුවකට 20W LED E 27 බල්බයක් ද ඇවිදින මංතීරු සහ අතුරු මාර්ග සඳහා 12W-12.5W LED WARM WHITE බල්බ ද, උද්‍යාන, සුසාන භූමි සහිත ප්‍රදේශ සඳහා 12W-14W දක්වා LED WARM WHITE පහන් සවි කිරීම බලශක්ති අර්බුදයට පිළියමකි.

නිර්දේශ කරනු ලබන පහන්වල වර්ණය වැදගත් සාධකයකි. විචල්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශවල මාර්ග, කැස්බෑවන් ආදි සමුද්‍ර ජීවීන් සංචරණය කරන ප්‍රදේශ, අලිමංකඩ සහ ගොවිබිම් ආශ්‍රිත ප්‍රදේශවලදී කහ පැහැති ආලෝකය සහිත පහන් WARM WHITE) භාවිත කිරීම පරිසර හිතකාමී වනවා මෙන්ම රියැදුරන්ට ද ආරක්ෂාව ලැබේ. වීථි ආශ්‍රිතව දිවා එළිය (Day light) වර්ණ සුදුසු වුවද මාර්ග, මංතීරු, මාවත්, මහාමාර්ග සහ අධිවේගී මාර්ග සඳහා යෝග්‍ය පහන්වල වර්ණය කහ පැහැති වීම නිර්දේශිතය. බස් නැවතුම් පොළවල්, මංසන්ධි, රෝහල්, පාසල්, ඇතැම් රජයේ පොදු ගොඩනැඟිලි පිහිටි ස්ථාන, දුම්රිය හරස් පාරවල්, දිය නාන ස්ථාන, පොදු ළිං, ධීවර නැංගුරම් පළවල්, දින හෝ සති පොළ, පදික මාරු, වන සතුන් ප්‍රධාන මාර්ග හරහා ගමන් කරන ස්ථාන (අලිමංකඩ) ගොවි හා ධීවර ප්‍රජාව අස්වැන්න අලෙවිය ප්‍රවාහනය සඳහා තබන ස්ථාන, පාලම් සහ බෝක්කු ආශ්‍රිතව මාර්ගවලට ආලෝකන පහන් සවි කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.

වර්ණයේ වැදගත්කම

වොට් 20 CFL සහ වොට් 36 ප්‍රතිදීප්ත පියරුසි පහන් (Florescent Tube) ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක්, වොට් 125 රසදිය වාෂ්ප පහන් (Mercury Vapour) ලක්ෂ එකකට ආසන්න ප්‍රමාණයක්, වොට් 110 සහ 150 සෝඩියම් වාෂ්ප පහන් 20,000ක ආසන්න ප්‍රමාණයක්, වොට් 250 සෝඩියම් වාෂ්ප පහන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මාර්ග ආලෝකනය සඳහා භාවිත කරනු ලබයි. එයට අමතරව වොට් 12 සිට වොට් 150ක් වූ ක්ෂමතාවයෙන් යුත් LED පහන් 130,000 ආසන්න ප්‍රමාණයක්ද මාර්ග ආලෝකනය සඳහා භාවිත කර ඇත. මේ වන විට ලංකාව තුළ මාර්ග ආලෝකන පහන් ලක්ෂ 8-6 අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව සමීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

මාර්ග ආලෝකන පහන් ක්‍රියාත්මක කිරීම හා නිවීම තනි වහරු (Swithc) මගින් හා පොදු ස්විචයක් මගින් සිදු කරයි. ඇතැම් පළාත් පාලන ආයතන එම කටයුත්ත වීථි පහන් දල්වන්නන් මඟින් සිදු කරගනු ලබයි. තනි වහරු මගින් පහන් ක්‍රියාත්මක කිරීමේදී නියමිත වේලාවක් නොමැතිව දිවා කාලයේදී දැල්වෙන මාර්ග ආලෝකන පහන් නිසා නිකරුණේ විදුලිය දහනය වීමක් සිදුවේ. එහෙත් නිවාස නොමැති ස්ථානවල පහන් ක්‍රියාත්මක වීමේදී ආලෝක සංවේදී වහරු (Photo Electri Lighting Control Switches) භාවිතා කිරීම අනිවාර්ය වේ.

පළාත් පාලන ආයතනවලට මාර්ග ආලෝකන පහන් පද්ධතිය නඩත්තු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමා සහිත විදුලි (පුද්) සමාගම විධිමත් ගිවිසුමකින් පවරා දීමේ අවශ්‍යතාවය මතුව තිබේ. රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම මෙන්ම වගවීම එක ලෙස ක්‍රියාත්මක වීමට එය හේතුවක් වෙයි. පළාත් පාලන ආයතනවලට ආදායම් ලැබෙන ප්‍රමුඛතම මාර්ගය වරිපනම් බදුය. ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතනවල වරිපනම් බදු එකතු කිරීමට සිදු නොවන නිසා මාර්ග ආලෝකන පහන් නඩත්තුව නිසි ආකාරයට සිදු කිරීමට නොහැකි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත විදුලි (පුද්) සමාගම අවශ්‍ය නඩත්තු මුදල් අදාළ පළාත් පාලන ආයතන වෙත ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවේ.

මාර්ග ආලෝකන පහන් පද්ධති නඩත්තුව සඳහා භාණ්ඩ ලබා ගැනීමේදී මිල කැඳවීම් විධිමත් පරිදි සිදු කළ යුතුය. විධිමත් මිල කැඳවීම් පත්‍රිකාව තාක්ෂණ පිරිවිතර සහ අදාළ කොන්දේසි පත්‍රිකාව ප්‍රමාණවත් කාලයක් සහිතව (දින 14) ලබා දීමෙන් ක්‍රියාවලිය විධිමත් කළ හැකිය. භාණ්ඩ ඇණවුම් කිරීමේදී සාම්පල පරීක්ෂාවකින් සහ විධිමත් තාක්ෂණික ඇගයීමකින් පසු ලබා ගැනීමට පියවර ගත යුතුය. ලබාගත් භාණ්ඩ නිශ්චිත කාල සීමාවකදී ගබඩාවට ලබා ගැනීමත්, අවභාවිතය සහ නාස්තිය වළක්වා ගැනීමට භාණ්ඩවල සභාවේ නම නොමැකෙන ලෙස සටහන් කිරීමටත් ප්‍රමාණවත් තොග ගබඩාකර ගැනීමත්, විධිමත්, නඩත්තු කටයුතු කරගැනීමට පහසුවකි. නඩත්තු කටයුතු සඳහා භාණ්ඩ නිකුත් කිරීම නියමිත ආකෘතියකට අනුව පරිගණකගත කිරීම මඟින් නඩත්තු සඳහා දරන ලද පිරිවැය සහ නඩත්තු කිරීම පිළිබඳව විධිමත් තොරතුරු ලබාගත හැකිය.

මාර්ග ආලෝකනයේදී නියමිත පිරිවිතර සහ ප්‍රමිතීන් සහිතව සිදු නොවීම නිසා නාස්තිය හා දූෂණය සිදු වේ. පොදු පිරිවිතර සහ ප්‍රමිතීන් අනුව තාක්ෂණික ඇගයීම පාරදෘශ්‍යව සිදුකර ගැනීමෙන් එය යම් මට්ටමකට අවම කර ගැනීමේ හැකියාව ලැබේ. ලංකාවේ දැනට සවිකර ඇති පහන් ක්‍රියාත්මක කිරීමේදී (පැය 12ක කාල සීමාවක්) විදුලි ඒකක ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් වැය වේ. එම ශක්තිය ලබා ගැනීමට අවම වශයෙන් මෙගා වොට් පහක බල ශක්තියක් අවශ්‍ය වේ. (පැයකට ඩීසල් ලීටර 1,000ක්) මෙගා වොට් ඒකක බලාගාරයක් ඩීසල් මඟින් ක්‍රියාත්මක කරන විට ආසන්න වශයෙන් පැයකට ලීටර 200කට ආසන්න ඉන්ධන ප්‍රමාණයක් වැය වේ. ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ ඉන්ධන ආනයනය කිරීමෙන් ඇති වී තිබෙන පාරිසරික, කාර්මික සහ දේශපාලන ගැටලුවලට වෙනත් විසඳුම් ගතයුතු කාලය එළඹී ඇති බව පැහැදිලි කරුණකි.

සේවක සුරක්ෂිතතාව

සුරක්ෂිත සහ විශ්වාසනීය සේවයක් ලබා ගැනීමට නම් විදුලි කාර්මික ශිල්පියකුගේ සේවක සුරක්ෂිතභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සේවක සුරක්ෂිතභාවය රැකියාව කිරීමේ තෘප්තිමත්භාවය වර්ධනයට හේතු වේ. සියලු ආරක්ෂිත උපාංග, එනම් ආරක්ෂිත හිස් වැස්ම (Helmet) බඳ පටිය (Safety Belt) , විදුලි පරිවාරක අත් ආවරණ (Safety Gloves) , පරීක්ෂණ උපකරණ හා මෙවලම්, නියමිත වැඩ ඇඳුම සහ සපත්තු සෑම සේවකයකුටම ලබාදීම අනිවාර්ය වේ. විදුලි කාර්මික ශිල්පියකු සේවයේ යෙදවීමේදී සහායකයකු ලබාදීම අනිවාර්ය වන අතර ප්‍රවාහන පහසුකම් සැපයීමද ඉහත කාරණා හා සම්බන්ධ වේ. සේවයේ නියුතු ශිල්පීන්ගේ නිපුණතාවය යාවත්කාලීන කිරීම සඳහා NVQ නිපුණතාවය අත්‍යවශ්‍ය සාධකයක් සේ සැලකිය යුතුය. බඳවා ගැනීමේ අවම සුදුසුකම් මට්ටම NVQ Level III විය යුතුය. ප්‍රශස්ත හා ගුණාත්මක ලෙස පද්ධතිය පවත්වාගෙන යාමට යාවත්කාලීන වීමේ හැකියාව තිබිය යුතුය. පෙර නිෂ්පාදනවලින් විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී විධිමත් ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ඒ සඳහා අනෙකුත් පළාත් පාලන ආයතන වෙත අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ මධ්‍යම පරිසර අධිකාරියේ සහය ලබා ගැනීමටද හැකියාව පවතී. භාණ්ඩ මිල ගණන් කැඳවීමේදී විද්‍යුත් පසු භාවිත කළමනාකරණය පහසුකම් සහිත ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබාදීමෙන් මෙම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කිරීමේ හැකියාව ලැබේ.

සැමදා සැමට විදුලිය ලබාදීමේ දැවැන්ත අභියෝගය ජය ගැනීමට නම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන මගින් විදුලිබල උත්පාදනය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුය. හදිසි ඇණහිටීම් සිදු නොවන පරිදි විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළ තාක්ෂණය හා උපකරණ භාවිතය, ඛනිජ තෙල් ගබඩාකර ගැනීමට ප්‍රමාණවත් පරිදි ගබඩා පහසුකම් ඉදිකර ගැනීම , සූර්ය හෝ සුළං බලශක්තිය සමඟ පොසිල ඉන්ධන මගින් (ස්වාභාවික වායු හෝ හයිඩ්‍රොකාබන්) විදුලිය ජනන ක්‍රමවේදයකට ගමන් කිරීම වඩාත් සුදුසුය.

පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න