සම්මාන දිදුළන තරු වගේ ඈතින් තිබුණත් සතුටුයි | දිනමිණ

සම්මාන දිදුළන තරු වගේ ඈතින් තිබුණත් සතුටුයි

ෂමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩිගේ "ප්‍රංශ පෙම්වතා", "පාරාදීසයක දරුවෝ", "ගැහැනු ළමයාගේ මරණය", "පියාපත් ලත් දෝණිය", "රෝස මාලී" නවකතා මෙරට පාඨක, විචාරක අවධානයට ලක් විය. ඇගේ කෘති, සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයකට ම නිර්දේශ විය. "වීනස්ගේ උපත" නවකතාව, මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මානයට ද, ස්වර්ණ පුස්තක සම්මානයට ද නිර්දේශ වී තිබේ. මේ එම නවකතාව පිළිබඳ ලේඛිකාව සමඟ කළ සාකච්ඡාවකි.

ඔබ කැනඩාවට යන්න ප්‍රථම, නිර්මාණයකරණයට යොමු වුණේ නැතත්, කැනඩාවට ගිය පසු නවකතාකරණයට යොමු වුණා. එහෙදි ප්‍රබන්ධකරණයට ප්‍රවේශය ලබා ගත්තේ කොහොමද?

ලිවීමේ අදහස හිතේ තිබුණට, පොතක් ලියලා එය මුද්‍රණය කිරීම දක්වා අවතීර්ණය වීම නම් ලොකු ක්‍රියාවලියක්. කැපවීමකින් කළ යුතු දෙයක්. ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ ප්‍රදේශ ගණනාවක ම රජයේ සේවයේ යෙදීම නිසා, මට නොයෙක් සමාජ ස්ථර ගැන අත්දැකීම් ලබා ගැනීමට ඉඩ ලැබුණා. අපට සිදුවෙන, අප දකින දේ නිසා, ඉබේම අප ඇතුළු හදවතට නැඹුරුවන කාල එළැඹෙනවා. ලියන්න පටන් ගන්න කලින් මම හොඳ පාඨකයෙක්. කියවිය හැකි වයසේ පටන් පොත්, පත්තර හා ජීවිතය බැඳී තිබුණා. ඒ අත්දැකීම්, කියවීමට වගේ ම ලිවීමට මා පොලඹවන්න ඇති. එහෙම නැතිව විදේශගත වීම, නිර්මාණකරණයට හේතුවක් වුණේ නැහැ.

"වීනස්ගේ උපත" කෘතිය තුළ ඔබ මිනිස් අධ්‍යාත්මයට කිදා බසින්නේ ඉතා ශූර විදිහටයි. ඒ පිළිබඳ කතා කළොත්?

මම දන්නා තරමින් නවකතාවක් කියන්නේම මිනිස් අධ්‍යාත්මයට කිඳා බැසීමක් ඇර වෙන යමක් නෙමෙයි. ඒ නිසා මට ඔබේ පැනයට වෙනත් පැත්තකිනුයි පිළිතුරු දිය හැක්කේ, ලිවීමේදී මම විශේෂ යමක් කරන්නේ නැහැ කියලයි. ‘වීනස්ගේ උපත’දී ඔබට දැනෙන්නේ නිර්ව්‍යාජ ආත්ම කථනයක් පමණයි. ඒ හඬ මඟින් චරිතවල රිද්මය වගේම, ඔවුන් ජීවත්වෙන සමාජය ගැන කතාව කියවෙනවා. එය මොන තරම් ගැඹුරින් ප්‍රකාශ කරනවාද කියන එක මත පාඨකයා එයට ඇඳ බැඳ තබා ගත හැකියි කියන එක මගේ අදහසයි.

මේ නවකතාව පුරා මා දකින්නේ, බටහිර නවකතාවේ සෙවණැලි. එහෙම වෙන්නේ ඔබ, බටහිර නවකතාව පරිශීලනය කරන නිසාද? නොඑසේනම් විදේශීය රටක ජීවත් වන නිසාද?

මගේ ලිවීම බටහිර නවකතා වගේ කියන අදහස, මට පළමුවරට ඔබයි පැවසුවේ. මම විදෙස් නවකතා කියවන්නට නැඹුරුවක් නැහැ. අදටත් මම සිංහලෙන් කියවන කෙනෙක්. ඒකයි මගේ උපන් භාෂාව. ඒත්, ඔබ කියන ඔය වෙනස ඇත්තේ සමහර විට මම ලියන ශෛලිය තුළ වෙන්න ඇති. ඇත්ත. මම කතාවක් ඉදිරිපත් කරන්නේ නැවුම් ආකෘතියකින්. මගේම වචනවලින්. මගේ කතාවල උදාර චරිත නැහැ. සමාජයේ අඩියටම ඇද වැටුණු, ඒත් තටු සිඳ නොගත් පියාඹන චරිත තියෙන්නේ. ශ්‍රී ලංකාවේ බොහෝ නවකතා පරමාදර්ශී චරිත බිහි කරන විට, බටහිර සාහිත්‍යයේදී ඒ පරමාදර්ශී චරිත පුපුරුවා හරිනවා. එයත් මගේ ලිවීම තුළ ඔබට මුණගැහෙනවා ඇති.

ඔබේ නිර්මාණ මඟින් පුරුෂාධිපත්‍යයට හසු වූ චරිත ගැන කතා කරන්නේ, ඔබ කාන්තාවක් නිසාද? එහෙමත් නැත්නම් ඔබ ස්ත්‍රිවාදිනියක් නිසාද?

පුරුෂාධිපත්‍ය කියන වචනය මගේ නවකතාවල භාවිත කරන්න මම කැමැති නැහැ. මම ගමක ඉපදුණු කෙනෙක්. ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනයේ අවස්ථා ගැහැනු, පිරිමි අපි හැමෝටම තිබෙනවා. එයම ලාංකේය ස්ත්‍රියට ඇවැසි ආර්ථික, සමාජයීය නිදහස ගෙන දෙන දෙයක්. ඒත්, ඇය බිඳ වැටෙන්නේ ප්‍රේමය හා පවුලක් රැකීමේ කර්තව්‍යයේදී. එය පෙරදිග ගැහැනියගේ කතාවක්. මම ස්ත්‍රීවාදිනියක් විදිහට හිතන්නේ නැහැ. ඒත්, මම ගැහැනියක්, පිරිමියෙක්, දරුවෙක්. මේ ඕනෑම කෙනෙක් තමන් ඉන්නා සමාජයෙන් පිටුවහල් වන තැන්වලදී, ඒ ගැන මගේ පොත්වල කතා කරනවා. ‘වීනස්ගේ උපත’ කතාවේ මිනිමුතු, සංඛ දෙදෙනාම ඔවුන් සිටින සමාජ ක්‍රමයෙන් විසිවුණු අය. ඔවුන් මගේ කතාවකට ගෙන ඒමයි මම කළේ.

ඔබ, කාන්තාවන්ට වන අසාධාරණය ගැන කතා කරන්න යොදා ගන්නේ, පුරුෂයාගේම දෘෂ්ටියෙන්. එය එක්තරා විදිහක පුරුෂාධිපත්‍යය හාස්‍යයට ලක් කිරීමක්ද?

පුරුෂාධිපත්‍යය හාස්‍යයට ලක් කිරීමේ අදහසක් නම් මට තිබුණේ ම නැහැ. මම පිරිමි කටහඬකින් එය ලීවේ, එය මට ම කර ගත් අභියෝගයක් විදිහටයි. ලිවීමේදී මට තියෙන්නේ මාත් එක්කම ගවේෂණයක්. පුරුෂ දෘෂ්ටියකින් ‘වීනස්ගේ උපත’ දැකීම මම මටම පනවා ගත්ත අරගලයක ප්‍රතිඵලයක් විදිහටයි මම දකින්නේ. ඇරත් නවකතාවක් ඉදිරිපත් කරන ආකාරය ඉල්ලා සිටින්නේ, එහි චරිත කියලයි මට දැනෙන්නේ. වීනස්ගේ උපතේදී සියලුදෙනා කෙරෙහි සානුකම්පිතව සිය හදවත යොමු කරන්නට අවස්ථාව ලැබෙන්නේ සංඛට පමණයි. ඒ වගේම, සංඛ දකින්නේ සමාජය නෙමෙයි, ඔහුගේ ම ජීවිතයයි. නවකතාවට ගැඹුරක් එක් කරන්නේ ඔහුයි.

නිළියයක් වීමේ සිහින තුළ සැරිසරන මිණිමුතු, ඒ සිහිනය යථාර්ථයක් වීමෙන් , "වීනස්ගේ උපත" සිදුවෙනවා?

මේ නවකතාව පටන් ගන්නේ නාට්‍ය නිර්මාණයට ජීවිත කාලයම කැප කළ ප්‍රසිද්ධ පවුලක් වටායි. ඒ, නාට්‍යයක පුහුණුවට සූදානමකින්. ඒ නාට්‍යයට පාදක වෙන්නේ, ප්‍රසිද්ධ ඉතාලි චිත්‍රයක් වන, බෙටුසෙලිගේ වීනස්ගේ උපත කියන සිතුවම තමා. මේ චරිතයට රඟ දක්වන්න පුහුණු වුණු මිනිමුතු, ඇය එයට නුසුදුසුයි කියලා නාට්‍යයෙන් ඉවත් කරනවා. ඒ ඔස්සේ තමයි කතාව ඉදිරියට ඇදෙන්නේ. වීනස්ගේ උපත කියන්නේ ලෝකය පුරා පැතිරුණු පුරාවෘත්තයක්. ‍මේ නවකතාවේදී සමස්ත අර්ථය විදිහට ප්‍රේමයේ උපත, නැත්තම් කලාවේ උපත වැනි විවිධ සංකල්පනා මතුකරන අදහසිනුයි මේ නම යෙදෙන්නේ.

සංඛ කියන චරිතය, තවත් අරවින්ද කෙනෙක්ද?

අරවින්ද වගේ ම සංඛත් ඇතුළු හදවතට නැඹුරු වුණු චරිතයක්. ඒත් සංඛ, සංඛ විදිහට දකින්නයි මගේ කැමැත්ත. වීනස්ගේ කතාව කියන සංඛ, විශ්වවිද්‍යාල තරුණයෙක්. ඔහු විධිමත් අධ්‍යාපනය ලබන්නෙක්. මිනිමුතු නම් තරුණිය සමාජයෙන් උකහා ගත් අවිධිමත් දැනුමක් ඇති හිතුවක්කාර, සමාජය විසින් මංමුලා කළ තැනැත්තියක් විදිහටයි පෙනෙන්නේ. කතාවේ අගදී ඔවුන්ගේ භූමිකා එකිනෙකට මාරු වෙනවා. මේ දෙදෙනා තුළ ම වටිනාකම් තිබෙන බව කියවෙනවා. මේ පොත ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරීමෙන් පවා මට දැනෙන්නේ, සංඛ කියන චරිතය සාර්ථක වූ බවයි. ඔහු, අයාලේ ගිය ජීවිතයෙන් ම ජයග්‍රහණය කළ කෙනෙක් විදිහටයි මම දකින්නේ.

මෙරට පොත් ප්‍රකාශනය, අප හිතන තරම් සාධාරණ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබට ඇත්තේ සුබවාදී අත්දැකීමක් ද? අසුබවාදී අත්දැකීමක් ද?

පොත් ප්‍රකාශන ආයතන තුනක් සමඟ මට අත්දැකීම් තිබෙනවා. ගෙවීම් සම්බන්ධයෙන් නම් ඔවුන් වෙලාවට තිතට වැඩ කරන අය. ඉන් එක් ප්‍රකාශක මහතකු මගේ පොත කියවලා, ඔහුගේ අතින්ම මගේ පොතේ පිටකවරය නිර්මාණය කළා. තවත් අයෙක් මගේ පොත කියවා සංස්කරණයට උපරි‍මයෙන් දායක වුණා. මේ දේ මට ප්‍රීතිමත් කරුණු. නවකතාව සාමුහික ප්‍රයත්නයක් විදිහට දැනෙන එක, ලිවීමේදී මට අත්වැලක් සපයනවා. කොහොමටත් මම අසුභවාදී පැති නොදකින කෙනෙක්. පොත් ප්‍රකාශනය කර්මාන්තයක් විදිහටයි අප සැලකිය යුත්තේ. මම දන්නා විදිහට, අන්තර්ජාලය හරහා අවසරයකින් තොරව නවකතා විකුණන යුගයකට අප අවතීර්ණය වී තිබෙන්නේ. පොත් කර්මාන්තය බැදුණු අලුත් ගැටලුත් අපට තිබෙනවා.

මෙරට සම්මාන උළෙල කිහිපයකටම, ඔබේ නවකතා නිර්දේශය වෙනවා. එහෙත්, මෙරට සාහිත්‍යය සම්මාන තව දුරටත් පාරිශුද්ධ නෑ. මේ පිළිබඳ ඔබේ දැක්ම?

සම්මාන උළෙල තිබීම, පොත් ප්‍රකාශනයට හොඳ ගැම්මක්. සම්මාන උළෙල කිහිපයක් තිබීම, ඒ මගින් නිර්දේශිත පොත් කිහිපයක් තේරීම තුළ, යම් විවිධත්වයකුත් එකතු කරනවා. තේරීමේ හොඳ නරක ගැන මම වැඩිදුර හිතන කෙනෙක් නෙමෙයි. ඒ වගේම, වැරැදි පාරේ යන සම්මාන ප්‍රධාන, වැඩි කල් රඳා පවතින එකක් නැහැ. සම්මානයකට නිර්දේශ වීම ලොකු තල්ලුවක්. ඒත්, නිර්මාණයකට මා පොලඹවන්නේ මා හොයාගෙන එන කතා තේමාවමයි. සම්මාන කියන ඒවා අහසේ දිදුලන තාරකා වගේ ඈතින් පෙනෙන්න තිබෙනවා නම්, එය පවා මට සතුටක්. මම ලියන්නේ පාඨකයාට. වෙලාවකට ඇතුළු හදවතට.

සාමීචිය අනුසාර මාහිංගොඩ

නව අදහස දක්වන්න