යුද සාහිත්‍ය සන්නිවේදනය සහ හිරෝෂිමාවේ කඳුළු | දිනමිණ

යුද සාහිත්‍ය සන්නිවේදනය සහ හිරෝෂිමාවේ කඳුළු

‘හිරෝෂිමාවේ කඳුළු‘ යනු, බලය අරමුණු කරගත් තාක්‍ෂණික දියුණුව මඟින් නිෂ්පාදනය කළ ඛේදවාචකයෙහි ස්වරූපය පිළිබඳ සාහිත්‍ය නිර්මාණයකි. යුද සාහිත්‍ය පිළිබඳ කෘති ලෝකය තුළ විරල වන අතර, ඒවා තුළ ප්‍රමුඛස්ථානය ජපානයට සහ රුසියාව වැනි රටවලට හිමිවනු ඇත. අතීත කඳුළ සහ එහි අත්දැකීම් පමණක් නොව, මානව ජීවිතයෙහි සියලූ අත්දැකීම්, අනාගත ජීවිතයෙහි සැලැසුම්කරණ සඳහා වැදගත් වන අතර, ඒවා අනාගත අත්දැකීම් බවට පරිවර්තනය වන්නේ ම සාහිත්‍ය සහ අනෙකුත් සන්නිවේදන ශිල්පීය ක්‍රම මඟිනි. ඒ අනුව යුද්ධය වැනි සාධක මූලිකව ගොඩනගන සාහිත්‍ය, ඒ මඟින් නිර්මාණය වන කඳුළු සහ වේදනාවන්ගේ සහනයට හේතු වනවා පමණක් නොව, මිනිසාට මිනිසා පිළිබඳ සංවේ දී වන මිනිසකු ද නිර්මාණය කිරීමට හේතු වේ.

මිනිසා තුළ පමණක් නොව, සමස්ත සත්ත්ව ප්‍රජාව තුළ ම දැකිය හැකි මූලික සාධකයක් වන්නේ, බලය පිළිබඳ කාරණාවයි. බලය, වේදනාව, කඳුළ යනු එකිනෙකින් වෙන් නොවන ප්‍රබලත ම කරුණු වන අතර, ඒවා වර්තමාන මිනිසාගේ මානව ජීවිතය සංකීර්ණත්වයට පමණක් නොව, අසරණ ද කර ඇත. ඒ අනුව මේ කෘතිය තුළ විෂයානුබද්ධ ලෝකයෙහි මානව අභිලාෂ ගැන කීම සඳහා ප්‍රබල ආකෘතිකරණයක් ද ගොඩනගා ඇත. එමෙන් ම, මේ කෘතියෙහි අන්තර්ගතය, ආකෘතිය, සාහිත්‍යයෙහි භාෂා භාවිතය ආදිය මත අවකාශයෙහි පවත්නා යුද වේදනාවෙහි ශබ්දය ද ඇසේ. එහි ප්‍රබලත ම කඳුළු කතාව, හිරෝෂිමා නාගසාකි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයයි.

අමෙරිකාව, දෙවැනි ලෝක යුද්ධයෙහි අවසාන භාගයෙහි, එනම් 1945 වසරෙහි අගෝස්තු මස 6 වැනි දින සහ 9 වැනි දින ජපානයේ හිරෝෂිමාවට සහ නාගසාකි නගරවලට, 129, 000කට අධික සාමාන්‍ය මිනිසුන් මිය යන්නට සලස්වමින් න්‍යෂ්ටික බෝම්බ දෙකක් පතිත කළේ, ලෝකයේ න්‍යෂ්ටික බෝම්බ හෙළූ ප්‍රථම සහ එක ම රට අමෙරිකාව බවට පත් වෙමිනි. මේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර සමඟින් දෙවැනි ලෝක යුද්ධයෙහි අවසානය සනිටුහන් වීමක් මෙන් ම, එය සීතල යුද්ධය ආරම්භ වීමට අවශ්‍ය උත්තේජකයක් බවට ද පත් වීම දැකිය හැකි ය.

1940 පමණ සිට ම අමෙරිකාව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට අදාළ පසුබිම හුදෙක්ම නිර්මාණය කර ගත්තේ, ඇල්බට් අයින්ස්ටයින් හුදෙක්ම නාසි ජර්මන්වරු න්‍යෂ්ටික බෝම්බ සෑදීමට අවශ්‍ය පර්යේෂණ කරගෙන යන බව සඳහන් කරමින්, අමෙරිකාවට උපදෙස් දීමත් සමඟිනි. ඒ අනුව අමෙරිකානු විද්‍යාඥයන් සහ අමෙරිකානු 32 වැනි ජනාධිපති රූස්වෙල්ට් විසින්, මෑන් හැටන් ව්‍යාපෘතිය යටතේ න්‍යෂ්ටික බෝම්බ ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. 1945 ජුලි වන විට නව මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශයක න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම, අමෙරිකාව විසින් සිදු කරන ලදී. මේ වන විටත් ඔවුන් ජර්මනිය යටත් කරගෙන තිබුණි. පැසිෆික් කලාපය තුළ ජපානයට එරෙහි යුද්ධය වියරුවක් ලෙස ආරම්භ කළ අතර, එය අමෙරිකානු 33 වැනි ජනාධිපති හැරී එස්. ටෲමන් යටතේ සිදු විය.

දෙවැනි ලෝක යුද්ධයෙහි අවසාන වසරෙහි මිත්‍ර පාක්ෂිකයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ, ජපානය ඉතා දරුණු යුද උපක්‍රම යටතේ ආක්‍රමණය කිරීමයි. 1945 මැයි මස 8 වැනි දින වනවිට ජර්මනිය යටත් වීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, යුරෝපයේ පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු, යුද්ධය පිළිබඳ සියල්ලන්ගේ අවධානය, පැසිෆික් යුද්ධය වෙත යොමුවනු දැකිය හැකි විය. මිත්‍ර පාර්ශ්වික හමුදා, ජපානයට කොන්දේසි විරහිත යටත් වීමකට බලපෑම් කළ අතර, ජපානය ඒ අයුරින්ම එය පිළි ගත්තේ නැත.

1945 අගෝස්තු මස වන විට මෑන් හැටන් ව්‍යාපෘතිය යටතේ න්‍යෂ්ටික බෝම්බ වර්ග දෙකක් නිෂ්පාදනය කළේ ය. ඒ අනුව ජපන් වේලාවෙන් පෙරවරු 8.16 ට හිරෝෂිමාවටත්, එයට දින තුනකට පසු එනම් 1945 අගෝස්තු 9 වැනි දින ජපානයේ නාගසාකි නගරයටත් බෝම්බ හෙළූ අතර, ඒ මඟින් අමෙරිකානු ප්‍රහාරක ඉලක්ක සහ අරමුණු ඉටු කරගත හැකි විය.

ටොන් 15, 000කට අධික බලයකින්, මේ න්‍යෂ්ටික බෝම්බය හිරෝෂිමාවේ වර්ග සැතැපුම් 4ක අධික ප්‍රමාණයක් ක්ෂණයකින් දූවිලි බවට පත් කළේ ය. 80, 000ක පමණ මිනිසුන් ප්‍රමාණයක් ක්ෂණයකින් මිය ගියහ. 35, 000කට අධික ප්‍රමාණයකට මේ නිසා තුවාල සිදු විය. එම වසර අවසන් වන විට, 60, 000කට අධික ප්‍රමාණයක්, මෙහි ප්‍රතිඵල ලෙස මියගියේ ය. එයට දින තුනකට පසුව නාගසාකි නගරය වෙත හෙළූ න්‍යෂ්ටික බෝම්බයෙන් 40, 000කට අධික මිනිසුන් සංඛ්‍යාවක් මිය ගියේ ය. හිරෝෂිමාට බෝම්බ හෙළීමට පෙර ගොඩනැගිලි 90, 000ක් පමණ තිබූ අතර, බෝම්බ හෙළීමෙන් පසුව ඉතිරි වූයේ ගොඩනැගිලි 28, 000ක පමණ ප්‍රමාණයකි.

දැනටමත් ලෝකයේ න්‍යෂ්ටික අවි සඳහා හිමිකම් කියන ප්‍රධාන රටවල් 5ක් දක්නට ලැබේ. මෙයට අමතරව තව ද රටවල් කිහිපයක් ලෝක නීතිරීතිවලට එරෙහිව න්‍යෂ්ටික අවි අත්පත් කරගෙන ඇති ආකාරය ද දක්නට ලැබේ. මේ වන විටත් ලෝකයේ න්‍යෂ්ටික අවි මූලිකව ගොඩනැගෙන යුද ශීර්ෂ 23, 000ක් පමණ දක්නට ලැබෙන අතර, එයිනුත් 2, 500ක් පමණ ලෝකයේ විවිධ ප්‍රදේශ සඳහා එල්ල කර තිබෙන ආකාරය දැකිය හැකි ය. ලෝකයෙහි න්‍යෂ්ටික අවි සඳහා ගොඩනැගෙන පදනම භයානකම ක්‍රියාවලියකි. යම් හෙයකින් තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ වීම යනු, එය න්‍යෂ්ටික අවි පිපිරීමේ සහ ලෝක විනාශයෙහි ආරම්භය ලෙස සනිටුහන් කිරීමට ද සිදුවනු ඇත.

හිරෝෂිමාවේ න්‍යෂ්ටික බෝම්බ පිපිරීම යනු, ලොව පළමු න්‍යෂ්ටික ඛේදවාචකය වන අතර, ඒ පිළිබඳ කඳුළු හෙලීම වර්මානයෙහි ද සිදුවන ඛේදාන්තයකි. මේ තුළ නිර්මාණය වූ පුද්ගල සහ සමාජ ජීවිතවල කඳුළු කතාව ජපානයට පමණක් නොව, ලෝකයටම උරුම වූවක් බවට පත්ව ඇත. එම බිහිසුණු ජීවිත විනාශයෙහි ප්‍රතිවිපාක තවමත් අත් විඳිමින් සිටින්නේ, පරම්පරා ගණනාවකට එහි වේදනාව උරුම කර දෙමිනි. මේ වේදනාවේ උරුමයෙන් සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළින් ලෝකය මුදා ගැනීමට නම්, ප්‍රබල සන්නිවේදන කෘත්‍යයක් මෙන් ම, ඒ හා සබැදෙන සමාජ සාහිත්‍යයක් ද තිබිය යුතු ය.

සාහිත්‍ය යනු මිනිසා සංවේ දී කරන ශක්තිමත් සමාජ කාරණාවකි. මේ සාහිත්‍ය සන්නිවේදනය මෙන් ම, මිනිසා න්‍යෂ්ටික වැඩපිළිවෙළින් වියුක්ත කරන මෙන් ම, එකිනෙකාට එරෙහිව ගොඩනැගෙන දෘෂ්ටිවාදවලින් ද, සමාජ සාධාරණය ඉටු නොවන බව පැහැදිළි වන දාර්ශනික අරුත් ගොඩනැගෙන ප්‍රබල සන්නිවේදන රටා ද, ලොවට අවශ්‍යව ඇත. තවමත්, මිනිසාගෙන් මානව එදිරිවාදිකම් ඉවත් කිරීමට අදාළ ප්‍රබල සන්නිවේදන රටා ගොඩනැගෙන්නේ නැති වීමෙහි ප්‍රතිඵලයක් ලෙසින්, තුන්වැනි ලෝක යුද්ධයක් ආරම්භ වීමේ භයානක ප්‍රතිඵල නිර්මාණය වෙමින් තිබේ. සන්නිවේදනයට මිනිසාගේ සියලූ අවශ්‍යතා සන්තර්පනය කිරීමේ පදනම සැකසිය හැකි වුවත්, තවමත් යුද්ධය සහ එයට අදාළ මානසිකත්වය මිනිසාගෙන් ඉවත් කිරීම සඳහා ශක්තිමත් සන්නිවේදන ශිල්පීය ක්‍රම සහ දාර්ශනික අරුත් මානව විඥානගත කරමින්, යුද මානසිකත්වය මිනිසාගෙන් වියුක්ත කිරීමට අදාළ සන්නිවේදන උපක්‍රම සහ ශිල්පීය ක්‍රම, තව තවත් ගොඩනැගිය යුතු කාලය විවර වී ඇත.

මේ අනුව, ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේදියකු වන චන්දන විජේකෝන් මහතා රචනා කර ඇති ‘හිරෝෂිමාවේ කඳුළු‘නමැති කෘතිය, යුද්ධයෙන් වියුක්ත වීම කෙරෙහි ප්‍රබල ආදර්ශයක් වන්නේ, එහි වේදනාව ප්‍රබලවම සමාජීයව විඳීමට ඉඩලබා දී ඇති බැවිනි. මේ කෘතියේ අන්තර්ගත ලිපි 24කින් පමණ එම අත්දැකීම් සමාජයට සම්ප්‍රේෂණය කරයි. චන්දන විජේකෝන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය පුවත්පත් ආයතනයක ඉතා දිගු කාලයක සිට සේවය කරමින් සිටින අතර, පුවත්පත් කලාවේදය තුළ පමණක් නොව, එයට පරිබාහිරව ග්‍රන්ථ සම්පාදනයෙහි ද යෙදී සිටී. මේ වන විටත් ඔහු කෘති 7ක් පමණ සම්පාදනය කර ඇති අතර, පුවත්පත් කලාවේදය පිළිබඳ පමණක් නොව, ඉන් පරිබාහිර විවිධ අත්දැකීම් ද එම කෘති තුළ කේන්ද්‍රගත කර තිබේ. සමාජ පර්යේෂණාත්මක ක්ෂේත්‍ර පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන ඔහු, ලෝකයේ විවිධ රටවල් පිළිබඳ සමාජ අත්දැකීම් ඇත්තෙකි. හිරෝෂිමාවේ කඳුළු මඟින් ද මානවවාදයට සංවේ දී වෙමින්, අසංවේ දී ලෝක මිනිසාගේ බලය ද ප්‍රතික්ෂේප කරයි.

ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 
අංශාධිපති (වැ.බ.), 
ජනමාධ්‍ය අධ්‍යයනාංශය, 
ශ්‍රි පාලිමණ්ඩපය, 
කොළඹ විශ්වවිද්‍යාලය.

නව අදහස දක්වන්න