ගොඩගේ සම්මානලාභීහු | දිනමිණ

ගොඩගේ සම්මානලාභීහු

විසි එක් වන වරට පැවැත්වුණු ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. සාහිත්‍ය වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ මහාචාර්ය ජේ. බී. දිසානායකයන්, පත්මා සෝම කාන්තන් මැතිනිය සහ මහාචාර්ය විනී විතාරණයන් එහිදී දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ.

හොඳ ම නවකතාවට හිමි ඩබ්ලිව්. ඒ. සිල්වා අනුස්මරණ සම්මානය එරික් ඉලයප්ආරච්චි ගේ ‘රතුපලස‘ නවකතාවට ද, හොඳ ම කෙටිකතා සංග්‍රහයට හිමි ජී. බී. සේනානායක අනුස්මරණ සම්මානය ප්‍රභාත් ජයසිංහගේ ‘ස්වර්ණ කාය‘ කෙටිකතා සංග්‍රහයට ද, හොඳ ම කාව්‍ය සංග්‍රහයට හිමි ඇස්. මහින්ද හිමි අනුස්මරණ සම්මානය නන්දන වීරසිංහගේ ‘ක්ෂණ නියාම‘ කාව්‍ය සංග්‍රහය ද, හොඳ ම යොවුන් නවකතාවට හිමි ටී. බී. ඉලංගරත්න අනුස්මරණ සම්මානය මහින්ද කුමාර දළුපොතගේ ‘අලි ඩෝලේ‘ යොවුන් නවකතාවට ද, හොඳ ම පරිවර්තන නවකතාවට හිමි සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම සම්මාන ලාංගනී ප්‍රනාන්දුගේ ‘සුළිසුළඟ‘ සහ පුෂ්ප රංජන් විජේසිංහ ‘ඔර්ලෝව් දියමන්තියේ ශාපය‘ කෘති ද්විත්වයට ද, හොඳ ම ශාස්ත්‍රීය කෘතියට හිමි තිස්ස කාරියවසම් අනුස්මරණ සම සම්මාන එම්. කේ. සුසන්ත සේනාධිලංකාර ගේ විද්‍යෝදය හා විද්‍යාලංකාර ගුරුකුල අතර පැවැති ශාස්ත්‍රීය වාද විවාද සහ රංගන කුරුවිටගේ ශ්‍රී නාම රත්නාලංකාරය කෘති ද්විත්වයට ද හිමි විය. හොඳ ම විවිධ විෂයක කෘතිය සඳහා පිරිනැමෙන තිස්ස කාරියවසම් සම්මානය සඳගෝමි කෝපරහේවා ගේ ‘සිංහල අකුරු පුරාණය‘ට ද, හොඳ ම පුවත්පත් තීරු ලිපි සංග්‍රහය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ අනුස්මරණ සම්මානය සුන්දර නිහතමානි ද මැල්ගේ ‘මානිගේ තීරුව‘ට ද හිමි වෙද්දී, වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් විරාජිනී තෙන්නකෝන්ගේ මකරානන්දය නවකතාවට ද , සුසන්ත මූණමල්පෙ ගේ ‘රෝස මුසැන්ඩාස් පිස්සුව‘ කෙටිකතා සංග්‍රහයට ද , සනත් බාලසූරියගේ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි‘ කාව්‍ය සංග්‍රහයට ද, ලියනගේ මොනිකා කුමාරිගේ ‘කොඬොල්‘ යොවුන් නවකතාවට ද සම්මාන හිමිකර ගත්හ.

නිශ්ශංක විජේමාන්නගේ ‘තාරා මගේ දෙව්දුව‘ කෘතියේ දමිළ පරිවර්තනය ද, සාමිනාදන් විමල් විසින් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ‘බිංගිරවු‘ කෘති ද්විත්වය, උපාලි ලීලාරත්න අනුස්මරණ සම්මාන හිමිකර ගත්හ.

දෙමළ භාෂාවෙන් හොඳ ම නවකතාව ටී. ඥානසේකරන්ගේ ‘එරිමලයි‘ ද, හොඳ ම කෙටිකතා සංග්‍රහය ශ්‍රී රංජනීගේ ‘උතිරතලිල්ලයි ඉනි‘ ද, හොඳ ම කාව්‍ය සංග්‍රහය ජමීල් ගේ ‘ඔවියත්තිලිරුන්තු වෙලියෙරුම් නිරම්‘ සහ නිර්මාණශීලී නවක දායකත්වය යටතේ එම්. කීර්තියන්ගේ ‘නලයි වරුම් මසායි‘ කාව්‍ය සංග්‍රහය සම්මාන හිමිකර ගත්හ.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු හොඳ ම නවකතාව අයියතුරේ ශාන්තන්ගේ ‘every journey ends‘, හොඳ ම කෙටිකතා සංග්‍රහය කාංචනා ප්‍රියකාන්ත ගේ ‘Dream Catchers‘ හොඳ ම කාව්‍ය සංග්‍රහය ලෙස ලක්ෂානි විල්ආරච්චිගේ ‘Bherunda‘ සම්මාන හිමිකර ගත්හ.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න