ධනාත්මක සාකච්ඡාව! | දිනමිණ

ධනාත්මක සාකච්ඡාව!

පෙරේදා වනවිට මුළු රටේ ම අවධානය දිනාගත් එක් සිද්ධියක් විය. ඒ රනිල් - සජිත් සාකච්ඡාව ය. මේ සාකච්ඡාවෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගැටලුව මුළුමනින් ම සමථයකට පත්වනු ඇතැ’යි බොහෝ දෙනෙක් කැට තැබූහ. එය මුළුමනින් ම සාර්ථක නැතත්; සාකච්ඡා සුබවාදී ලෙස ද, ධනාත්මක ලෙස ද අවසන් වී ඇත. සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙන බව ද ප්‍රකාශ වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් එකවර මහා වෙනසක් අපේක්ෂා කළ ද, එ‍ජාප නායකයන් එය ලබා දෙන්නේ ටිකෙන් - ටික බව පෙනී යයි. ඉහත සිදුවීම් මාලාව නිරීක්ෂණය කරන කල අපගේ සිහියට නැඟෙනුයේ පරණ සටන් පාඨයකි. එය නම්; “අපේ පාට කොළ - අපි නෑ කලබල” යන්න ය.

‘අපේ පාට කොළ - අපි නෑ කලබල’ යනු එක්සත් ජාතික පක්ෂයේ පරණ සටන් පාඨයකි. මීට දසක හතරකට පමණ පෙර එ.ජා.ප. පෙළපාළිකරුවෝ ඉහත සටන් පාඨය භාවිත කළහ. එ.ජා.ප. නායකයන් දෙස බලන විට එම සටන් පාඨය හොඳින් ගළපා ගත හැකි ය. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග හා රනිල් වික්‍රමසිංහ යන නායකයන් හැමවිට ම උපායශීලී වන අතර කිසියම් ගැටලුවක් හමුවේ හැඟුම්බර විසැඳුම් කරා යොමුවන්නේ නැත. ජේ.ආර්.ජයවර්ධන මහතා බොහෝ විට මැකියාවෙලී නම් දේශපාලන උපදේශකයා උපුටා දැක් වූ බව වැඩි දෙනකුට මතක ය. මැකියාවෙලීගේ දර්ශනය යොමු වී ඇත්තේ සාර්ථකත්වය සඳහා උපාය මාර්ග කෙරෙහි ය.

රනිල් - සජිත් සාකච්ඡාවලට විෂය වී ඇත්තේ ජනාධිපතිවරණයේ දී පක්ෂය ජයග්‍රහණය කරවීම, ඒ සඳහා සුළු ජන පක්ෂවල සහයෝගය ලබාගැනීම හා පක්ෂය ශක්තිමත් කිරීම යන කාරණා බව හෙළිදරව් වී ඇත. ඉන් පෙනී යන්නේ පුළුල් ජාතික පදනමක් මත ජනාධිපතිවරණයට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවය. රනිල් යනු එජාපයේ නායකයා ය. සජිත් යනු එජාපයේ නියෝජ්‍ය නායකයා ය. නායකයාගේ වගකීම වන්නේ නියෝජ්‍ය නායකයා හා පක්ෂය නිවැරැදි හා ජයග්‍රාහී ප්‍රවේශයක් කරා යොමු කිරීමය. අපට හැඟෙන පරිදි අගමැතිවරයා එම කාර්යය ඉටුකරමින් සිටී. අගමැතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති සාධකයක් වන්නේ සුළු ජන කොටස්වල සහයෝගය යි. එය දේශපාලන යථාර්ථයකි. ජනාධිපතිවරණයේ දී සුළු ජනයා නියෝජනය කරන පක්ෂ තීරණාත්මක සාධකයක් ලෙස පවතී.

මේ සිද්ධි මාලාව පැහැදිලි කරන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්; දේශපාලන පක්ෂයක් හැටියට එජාපය දැඩි ලෙස ප්‍රජාතන්ත්‍රවාදී බවය. ඒකාධිපති තීන්දු - තීරණ එහි නැත. සියලු ගැටලු සමථයක් කරා ගමන් කරන්නේ සාධක දෙකක් මත ය. පළමු සාධකය වන්නේ දිගින් - දිගට ම සාකච්ඡා කොට නිවැරැදි තීරණය කරා ගමන් කිරීම ය. දෙවන සාධකය වන්නේ බහුතරයගේ අභිලාස කෙරෙහි අවධානය යොමු කිරීම ය. පවුල්වාද, ඒකාධිපතිවාද පවතින දේශපාලන පක්ෂවල තීන්දු ගැනීම පහසු ය. නායකයාගේ වචනය කිසිදු ආකාරයකින් අභියෝගයට ලක් නොවන බැවිනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛතාව දෙන පක්ෂයක ගැටලු විසැඳීම පහසු නැත. විසැඳුම් සඳහා කාලයක් ගත වෙයි. එහෙත් එබඳු විසැඳුම් කාටත් සතුටුවිය හැකි ඒවා බව කිව යුතුය.

එක්සත් ජාතික පක්ෂය තුළ දේශපාලන වශයෙන් අභ්‍යන්තර ගැටලුවක් මතුවන්නේ ජනාධිපතිවරණය කරළියට ඒමත් සමඟ ය. පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකත්වය ලබාගත යුත්තේ කවුරුන් ද යන්න මූලික ගැටලුව විය. සාම්ප්‍රදායික ලෙස පක්ෂ නායකයා ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. එහෙත් ඒ සඳහා තවත් නම් යෝජනා වන්නේ නම්; පක්ෂයේ ව්‍යවස්ථාව, සම්ප්‍රදාය හා පක්ෂයේ අනාගතය යන කරුණු පදනම් කරගෙන ඒවාට ද ඉඩදිය යුතුය. කුමක් වුව තීන්දුව ගත යුත්තේ එ.ජා.ප.නායකයන් මිස පිටස්තර අය නොවේ. බාහිර බලවේග එජාප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අනිසි බලපෑම් කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙනෙන්නට තිබේ. නායකයන් ඒ ගැන විමැසිල්ලෙන් සිටීම ද වැදගත් ය.

ජේ.ආර්.ජයවර්ධන මහතා රණසිංහ ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන්නේ එකවර හදිසියේ නොවේ. ජේ.ආර්.මහතා දේශපාලන පසුබිම, පක්ෂයේ අනාගතය හා මහජන කැමැත්ත නිරීක්ෂණයකොට අවසන් මොහොතේ රණසිංහ ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබා දුන්නේ ය. එය කෙළවර වූයේ සාර්ථක ජයග්‍රහණයකින් ය. රනිල් වික්‍රමසිංහ මහතා ද එබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.

එක්සත් ජාතික පක්ෂය යනු රටේ දේශපාලන ප්‍රවාහයේ බලවත් ම ව්‍යාපාරය බව පිළිගත යුතුය. තනි පක්ෂයක් හැටියට ඊට ඇති ජන පදනම අනෙක් පක්ෂවලට වඩා පුළුල් ය. එලෙස ම සුළු ජන කොටස් නියෝජනය කරන දේශපාලන පක්ෂවල වැඩිම සහයෝගය ලබන පක්ෂය හැටියට ද එජාපය නම් කළ හැකි ය. ජාත්‍යන්තර සහයෝගය වැඩියෙන් ම ලබන දේශපාලන පක්ෂය ද එජාපය යි. දැනට ආණ්ඩු ‍ බලය හිමිකරගෙන ඇත්තේ ද එජාපය යි. ඒ අනුව බලන විට ශක්තිමත් - පුළුල් සංවිධානයක් හා ඡන්ද පදනමක් එම පක්ෂයට තිබේ. ජනාධිපතිවරණයට මුහුණ දීමට නම් මේ පදනම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතුය. වික්‍රමසිංහ මහතා තවදුරටත් සුළු ජන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන්නේ ඒ සඳහා යැයි සිතන්නට පුළුවන.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරා ගැනීමේ දී එජාපය ප්‍රමාද යැයි මතයක් පවතී. එහෙත් එය තාර්කික නැති බව පෙනෙයි. තව ම ජනාධිපතිවරණය සඳහා දින වකවානු තීරණය වී නැත. නාම යෝජනා සඳහා දින - වකවානු තීරණය වී නැත. රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නිසි අවස්ථාවේ අපේක්ෂකත්වය නම් කරනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. ඒ මගින් පාක්ෂිකයන් තුළ එකවර විශාල ප්‍රබෝධයක් ඇති විය හැකි ය. එය දේශපාලන උපාය මාර්ගයකි. එම උපායමාර්ගය බොහෝ දෙනකු වටහාගෙන නැති බව පෙනෙයි.

නව අදහස දක්වන්න