මහමායා බාලිකාවේ දශක දෙකක පාසල් පිහිනුම් ආධිපත්‍ය විශාඛාවෝ බිඳ දමති | දිනමිණ

මහමායා බාලිකාවේ දශක දෙකක පාසල් පිහිනුම් ආධිපත්‍ය විශාඛාවෝ බිඳ දමති

පාසල් පිහිනුම් තටාකයේ දශක දෙකක මහනුවර මහමායා බාලිකාවන්ගේ ආධිපත්‍ය බිඳ දැමූ කොළඹ විශාඛා විදුහල් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්වූහ. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින පහක් පුරා සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති මේ තරගාවලියේ දී සාන්ත ජෝශප් විදුහල් පිල සමස්ත බාලක ශූරතාව අඛණ්ඩව 16 වැනි වරටත් දිනා ගත්තේය.

46 වැනි වරටත් පැවැති පාසල් පිහිනුම් තරගාවලියේදී කොළඹ විශාඛා විදුහල් පිල ප්‍රසාද ලකුණු 509ක් අත්කර ගනිද්දී මහනුවර මහමායා බාලිකාවන්ට රැස් කිරීමට හැකිවූයේ ප්‍රසාද ලකුණු 398ක් පමණි. මෙවර තරගාවලියේ බාලිකා තරග අංශයේ තුන්වැනි ස්ථානය හිමිවූයේ ප්‍රසාද ලකුණු 329ක් රැස් කළ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල් පිලටය.

සාන්ත ජෝශප් විදුහල් පිල ප්‍රසාද ලකුණු 453ක් අත්කර ගනිමින් සමස්ත බාලක ශූරතාව දිනාගනිද්දී සාන්ත පීතර විදුහල් පිල දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ ප්‍රසාද ලකුණු 378.50කට හිමිකම් කියමිනි. ආනන්ද විදුහල් පිල ප්‍රසාද ලකුණු 298ක් ලබා තුන්වැනි ස්ථානයට පත්විය.

නව තරග වාර්තා 41ක් බිහිවූ මෙවර තරගාවලියේදී සාන්ත පීතර විදුහල් පිලේ විහඟ කල්දේරා නව වාර්තා 3කට හිමිකම් කියමින් අවුරුදු 12න් පහළ බාලක තරග අංශයේ ශූරතාව දිනාගත් අතර වාර්තා 3ක් බිහිකළ ශ්‍රී දේවානන්ද විදුහල් පිලේ බිහඳු හංසන අවුරුදු 14න් පහළ ශූරතාව දිනාගත්තේය. මීට අමතරව විශාඛා විදුහල් පිලේ රමුදි සමරකෝන් නව තරග වාර්තා 3ක් තබමින් අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාව සහ එම විදුහල් පිලේ සඳු සවින්දි තරග වාර්තා 3ක් බිහිකරමින් අවුරුදු 20න් පහළ ශූරිය බවට පත්වූවාය.

සාන්ත පීතර විදුහල් පිලේ ඒ.අයි.එම්.හාතිම් තරග වාර්තා 2ක් බිහි කරමින් අවුරුදු 10න් පහළ ශූරතාව දිනාගනිද්දී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔනෙලි යහම්පත් තරග වාර්තා 2ක් තබා අවුරුදු 12න් පහළ ශූරිය බවට පත්වූවාය.

මේ අතර නව වාර්තා 2ක් තැබූ දෙහිවල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාව ද, නව වාර්තා 2ක් බිහිකළ ආනන්ද විදුහලේ සන්දේව් සේනාරත්න අවුරුදු 18න් පහළ බාලක ශූරතාව දිනාගත්තේය.

මීට අමතරව නව වාර්තා 1 බැගින් තැබූ ආසියානු ග්‍රැමර් පාසලේ සී.සී.තෝමස් ක්ලයි අවුරුදු 10න් පහළ බාලිකා ශූරතාව, චනුදි කුමාරප්පෙරුම අවුරුදු 12න් පහළ බාලිකා ශූරතාව, කඳාන ඩි මැසනද් විදුහලේ එම්.කේ.පී.අයි.පෙරේරා අවුරුදු 16න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට සමත්වූහ. අවුරුදු 20න් පහළ බාලක ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ස්ටෙෆාන් පෙරේරා විසිනි. ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සංවිධායකත්වයෙන් සහ නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ තරගාවලිය පැවැත්විණි.

නව අදහස දක්වන්න