ගම්පහ ලක්ෂ හතරකට පානීය ජලය | දිනමිණ

ගම්පහ ලක්ෂ හතරකට පානීය ජලය

ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ හතරකට පානීය ජල පහසුකම් සලසන ගම්පහ අත්තනගල්ල කරස්නාගල ජල ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශය ඉදිකිරීමට තිබූ බාධක අවසන්.

ජලාශයට යටවන ප්‍රදේශයේ ජීවත් වූ පවුල් වන්දි හා විකල්ප ඉඩම් ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන නිසා වන්දි හා විකල්ප ඉඩම් ලබාදීම කඩිනම් කරනවා. වන්දි වශයෙන් රුපියල් කෝටි 150ක් වැය කරන බව ගම්පහ අත්තනගල්ල කරස්නාගල ජල ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු මේනකා බොතේජු මහත්මිය නයිවල දී පැවසුවාය. එසේම ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් කෝටි 3300ක් බවද ඇය කීවාය.

කරස්නාගල ජල ව්‍යාපෘතියේ නයිවල ඉදිවෙන ජල කුලුන නිරීක්ෂණය කිරීම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතාගේ ආරාධනය පරිදි ඉකුත් දා නගර සැලසුම් හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පැමිණි අවස්ථාවේ දී ප්‍රධාන ඉංජිනේරු මේනකා බොතේජු මහත්මිය එසේ පැවසුවාය.

නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා නගර සැලසුම් හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාට කරුණු පැහැදිලි කරමින් පසුගිය රජය චීන මැෂිනරි ඉංජිනේරු සමාගම සමඟ මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම්ගතව සිටි බවත් පසුව දෙපාර්ශ්වය අතර ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව චීන මැෂිනරි ඉංජිනේරු සමාගම ඉවත්ව ගිය පසු ව්‍යාපෘතියේ කටයුතු ඇණ හිටි බවත්, පසුව බලයට පත් අප රජය එම අඩුපාඩු ගැටලු මඟ හරවා ගැනීම පිණිස ගිවිසුම සංශෝධනය කර චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුවත් සමඟ නව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු නැවත ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණු බවත් කීවාය.

මේ වන විට ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවයා ප්‍රධාන ඉංජිනේරු මේනකා බොතේජු මහත්මියගෙන් ජල කුලුන ඉදිවෙන ස්ථානයේ දී කරුණු විමසා සිටි අවස්ථාවේ දී ප්‍රධාන ඉංජිනේරුතුමිය මේ වන විට පවතින තත්ත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කළාය.

ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. ප්‍රධාන ප්‍රශ්නය වී තිබුණේ ප්‍රධාන ජලාශය ඉදිවෙන භූමි ප්‍රදේශයේ පවුල් ඉවත් කිරීමේ ප්‍රශ්නයයි. අත්තනගල්ල කොට්ඨාසයට අයත් වන බිම් කොටස් 117ක පවුල් 35ක ප්‍රශ්නය විසඳී තිබෙනවා. රුවන්වැල්ල කොට්ඨාසයේ බිම් කොටස් 284ක පවුල් 62ක් ජීවත්වනවා. අත්තනගල්ල කොට්ඨාසයේ හා රුවන්වැල්ල කොට්ඨාසයේ මුදල් වන්දි වශයෙන් ලබාගැනීමට කැමති වැඩි පිරිසක් සිටිනවා. අත්තනගල්ලේ පවුල්වලට සපුගස්ඕවිට විකල්ප ඉඩම් ලබාගත හැකියි. රුවන්වැල්ලේ පවුල් 7ක් මුදල් වශයෙන් නොව විකල්ප ඉඩම් අවශ්‍ය බව පවසන හෙයින් මල්වත්ත ප්ලාන්ටේෂන් ඉඩමෙන් ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ජල ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ, නයිවල, බැලුම්මහර, පස්යාල සහ රන්පොකුණ ගම 1500 M3 ධාරිතාවයෙන් යුක්ත ජල කුලුනු 5ක් මේ වන විට එක් එක් මට්ටම් යටතේ ඉදිවෙමින් පවතින බවත්, ජල නල එලීමේ කටයුතුත් නොනවත්වාම මේ වන විට කරගෙන යන බවත් ව්‍යාපෘති ප්‍රධාන ඉංජිනේරු මේනකා බොතේජු මහත්මිය මෙහි දී කියා සිටියාය.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සැලකිල්ලට ගෙන කඩිනමින් ව්‍යාපෘතියේ කටයුතු අවසන් කරන ලෙසට නියෝජ්‍ය ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඉංජිනේරුවරිය ඇතුළු කාර්ය මණ්ඩලය උපදෙස් දුන්හ. මෙම අවස්ථාවට මහජන නියෝජිතයන්, නයිවල ජල කුලුනු අංශය භාර ඉංජිනේරු එම්. රොෂානා මහතාද එක්ව සිටියහ.

උඩුගම්පොල සමූහ

නව අදහස දක්වන්න