ගෝඨාභයගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වෙයි - UPDATE | දිනමිණ

ගෝඨාභයගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වෙයි - UPDATE

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
 
සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය සිදුකෙරුණි.
 
එහිදි නියෝගය ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
 

එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.


ගෝඨාභයගේ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් වැය කිරීම සම්බන්ධයෙන් ‍තමන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවෙහි පවරා ඇති නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නැති බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11) ප්‍රතික්ෂේප කරන ලදී.

එම පෙත්සම් සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර කැමැත්ත මත මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පෙත්සම් විභාගයට ගැනීමට තරම් සාධාරණ හේතුවක් නැත යන්න මත එම ප්‍රතික්ෂේප කිරීම කරන ලදී. සිසිර ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවන ලදී. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක් වැය කිරීම  සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවෙහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

එම නඩුවෙහි චෝදනා පත්‍රය ගොනු කර ඇති ආකාරය වැරැදි බවත්, එම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නැති බවත් පවසමින් එම මහාධිකරණය හමුවෙහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළහ.

එම විරෝධතාවය එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව අභියාචන පෙත්සමක් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරන ලදී.

එම නියෝගයන් දෙකටම එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට වෙන් වෙන්ව පෙත්සම් දෙක බැගින් ඉදිරිපත් කරන ලදී.

එම පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11) මෙම පෙත්සම් දෙකද ප්‍රතික්ෂේප කරන ලදී.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර


නව අදහස දක්වන්න