පරිසරය සුරැකීමේ දී සියලු ස්වභාවික සම්පත් ගැන අවධානය යොමු කළ යුතුයි | දිනමිණ

පරිසරය සුරැකීමේ දී සියලු ස්වභාවික සම්පත් ගැන අවධානය යොමු කළ යුතුයි

පරිසරය ආරක්ෂා කරනවිට මිනිසා වගේම සියලු සත්ත්වයන්, සියලු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. අලි මිනිස් ගැටුම, සතුන්ගෙන් ආහාරවලට සිදුවන හානිය, මේවා පිළිබඳවත් පරිසරවේදින්, විද්‍යාඥයන් අවශ්‍ය විසඳුම් ලබාදිය යුතයි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුල්හිරියේ දී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමය 13වැනි වරට පැවැත්වූ ආසියා පැසිපික් සම්මේලන පරිච්ජේද සමුළුුවේ සමාරම්භක රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.

ශ්‍රී ලංකාවේ පලමුවරට පැවැත්වෙන මෙම සමුළුව තුල්හිරිය මාර්ස් ඇතීනාහි දී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සම්බන්ධිකරණයෙන් 13වැනිදා දක්වා පුරා දින තුනක් පැවැත්වේ.

සමුළුවට සහභාගිවීමට පැමිණි ජනාධිපතිවරයා නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමයේ නිවර්තන පරිසර පද්ධති පර්යේෂණ ජාලයේ ශ්‍රී ලාංකික නියෝජිත, සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉනෝකා කුඩා විදානගේ මහත්මිය ඇතුළු සංවිධායකන් පිළිගෙන සමුළුව පැවැත්වූ ශාලාවට කැඳවාගෙන ගියහ.

හෙළ චාර්ත්‍රානුකූලව පොල්තෙල් පහන් ප්‍රදීප දල්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයෝ සමුළුවේ කටයුතු ආරම්භ කළහ. නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂන සංගමයේ නිවර්තන පරිසර පද්ධති පර්යේෂණ ජාලයේ ශ්‍රී ලාංකික නියොජිත, සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉනෝකා කුඩා විදානගේ මහත්මිය පිළිගැනීමේ කතාව කළාය.

ඉන් අනතුරුව අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

වැදගත් සමුළුවක් ආරම්භ කරන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මේ ආසියා ශාන්තිකර සමුළුව 2019 වසරේ ශ්‍රී ලංකාවේ, පැවැත්වීම පිළිබඳවත්, ඒ සඳහා නායකත්වය ගෙන සිටින මේ සංවිධානයේ සාමාජික සෑම දෙනෙකුටම මගේ ගෞරවය පළ කරනවා.

පරිසරය ගැන කතා කරනවිට මුලින්ම කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මේ සමුළුව සඳහා සහභාගිවීමට ඔබ පැමිණ සිටින්නේ ලෝකයේ තිබෙන ලස්සන, සුන්දර, වර්ණවත්, පරිසර අගයක් තියෙන රටකටයි. මගේ රට මා දකින්නේ එකම උද්‍යානයක් ලෙසයි.

මගේ රටේ උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් නැඟෙනහිර සිට බටහිරටත් කුමන දිශාවකට ගියත් නිල් පැහැති හරිත වර්ණ ඉතාමත් සුන්දර රටක්.

පරිසර සංරක්ෂණයේ වැදගත්කම දේශපාලනඥයන්ට, බොහෝ විද්වතුන්ට ඇතිුවූයේ පසුගිය දශක තුනකට අඩු කාලය ඇතුළතයි. ඊට පෙර ලෝකයේ කාර්මිකකරණය තාක්ෂණය සමඟ පරිසරය රකින්න සුන්දරත්වය රැකගන්න දේශපාලනඥයන්ට පමණක් නොවෙයි බොහෝ විද්‍යාඥයන්ටත් වුවමනාවක් වී තිබුණේ නැහැ. නමුත් මිනිසා ප්‍රමුඛව සියලු සත්ත්වයාට හුස්ම ගන්න බැරිවෙන ජීවත්වෙන්න බැරිවෙන තත්ත්වයක් ඇතිවෙන එක ගැන බොහෝ අය හිතන්න පටන් ගත්තා.

ඒ නිසා ලෝකයේ ඉහළම සංවර්ධනයක් තියෙන ධනවත් පොහොසත් අධි තාක්ෂණය තියෙන රටවල්වල ඔක්සිජන් බෑග් එක කරේ දාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා මගේ අත්දැකීම අනුව මම හිතන්නේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය තියෙන අයත් ජාවාරම් කාර ව්‍යාපාරිකයෝත් බවයි.

මම මීට අවුරුදු හතර හමාරකට පෙර මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වෙච්ච අවස්ථාවේ, මා බලයට පත් කළ සංවිධානවල නායකයන් මගෙන් විමසා සිටියේ ජනාධිපති ධුරය හැර ඔබට අමාත්‍යාංශ දෙකක් බාරගන්න පුළුවන්. කැමති අමාත්‍යාංශ මොනවාදැයි කියායි. බොහෝ ජනාධිපතිවරුැ කියන්නේ මුලින්ම තමන්ට අවශ්‍ය මුදල් අමාත්‍යාංශය කියායි. බොහෝ ජනාධිපතිවරු කියන්නේ තමන්ට අවශ්‍ය අමාත්‍යාංශය වානිජ්‍ය වටිනාකම් තියෙන ව්‍යාපාරික කේෂ්ත්‍රයට අයත් ආයතන තියෙන අමාත්‍යාංශයක් කියායි. එහෙත් මා කියා සිටියේ මට අවශ්‍ය පරිසර අමාත්‍යාංශය කියායි. එසේ මම කිව්වේ මගේ රටේ පරිසරය විනාශ වීම දැකපු නිසායි. පරිසරය විනාශ වුණේ ඊට දේශපාලනඥයන් නායකත්වය ගත්ත නිසායි. දූෂීත ජාවරම්කාර ව්‍යාපාරිකයන්, දූෂීත රාජ්‍ය නිලධාරීන් පවා පරිසරය විනාශ කිරමේ නයකත්වය ගත් බව මම දන්නවා. ඒ නිසා පරිසර සංරක්ෂණය ජෛව විවිධත්වය මේ සියල්ල ආරක්ෂා කිරීම, සංරක්ෂණය පෝෂණය, සඳහා අප කැපවීය යුතු වෙනවා. තිරසාර සමාජීය මානව පැවැත්ම තහවුරු කිරීම සඳහා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත්. එය අද කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. මෙහි අරමුණ පවතින සම්පත් භාවිතයට නොගැනීම හෝ, අනාගතය වෙනුවෙන් ඉතිරි කොට තැබීම නොව. අප අවට පරිසරයේ ඇති සම්පත් මනා කළමනාකරණයකින් යුතුව භාවිතා කරමින්, මිනිසා හා පරිසරය අතර තුල්‍යතාව පවත්වාගෙන යාමයි.

ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් කාර්ය භාරයක් ආසියා ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන අප සැමගේ උර මතට පැට වී තිබෙනවා මන්ද යත් ජෛව විවිධත්වයෙන් අනූන වූ ආවේනික හා ඒක දේශීය ශාක හා සත්ව ප්‍රජාවක් අප සතුව පවතින නිසා. ශ්‍රී ලංකාව ජෛව උණූසුම් කලාපයක් පිහිටි ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් බැවින් බොහෝ පාරිසරික ක්‍රියාවලීන් ආශ්‍රීතව අන්තර්ජාතික අවධානය නිතැතින්ම යොමුවීමට හේතු වෙනවා.

අප රට බොහෝ පර්යේෂණ අවස්ථාවන්ට තෝතැන්නක්. එමෙන්ම, සංරක්ෂණ කාර්යයන් සඳහා අන්තර් ජාතික වශයෙන් සහාය ලැබීමට ද අප රට මනා පිටිවහලක් වී තිබෙන්නේ අපට උරුම මේ වටිනා පරිසර පද්ධතියයි. රජයක් වශයෙන් රටේ සිදුවන ජීවෙී විශේෂවල හායනය වළක්වා තිරසාර භූමි සංවර්ධන ක්‍රමවේද ශාඛ හා සත්ත්ව වාසස්ථාන සංරක්ෂණය පෝෂණය ආදි ක්‍රියා මාර්ගවලින් අප රටේ ජෛව විවිධත්වයට ස්ථායි සංරක්ෂණ මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියා මාර්ග ගැනීම කාලීනව අතිශය වැදගත්. මේ සඳහා අදාළ ආයතන සාමාන්‍ය රටවැසියා මෙන්ම මහජන නියෝජිතයන් අතරද වඩා යහපත් ආකල්පවලින් හෙඹි කතිකාවක් ඇතිවිය යුතුව තිබෙනවා.

හුදකලා වනාන්තර පද්ධති එක්වන පරිදි වනවගා කිරීමෙන් එම හුදකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාඛ හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු වන බව මගේ විශ්වාසයයි. එමෙන්ම පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කොට ආවේනික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැකගැනීමත් හෙට දවස වෙනුවෙන් අප උරමත පැටවී ඇති වගකීමක්. අප ඒ වගකීමත් හරිහැටි ඉටු කිරීම අවශ්‍ය කාරණයක්.

මේ වනවිටත් ලෝකයේ නිවර්තන කලාපීය රටවල්වල ජෛව විවිධත්වය පිළිබද ප්‍රබල කතිකාවක් ගොඩනැගී තියෙනවා. එබැවින් ආසියා ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා දෙස් විදෙස් විද්‍යාඥයන් ගෙන් සමන්විත සමුළුවක් අප රටේ පැවැත්වීමට ලැබීම අප ලැබූ මහඟු විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස මා සලකනවා.

එමෙන්ම එය ලාංකික විද්වත් ප්‍රජාව වෙත ලැබුණු වටිනා අවස්ථාවක් කියා මා විශ්වාස කරනවා. ජෛව පද්ධති සඳහා නිසි වටිනාකම් ලබාදීමට අප රජය මගින් ගෙන යන වැඩපිළිවෙළ තවත් ඔප් නැංවීම සඳහා මේ ජාත්‍යන්තර සමුළුව ඉමහත් සේවයක් ලබාදෙන බව මගේ විශ්වාසයයි. ජාතික වශයෙන් ජෛව පද්ධති ඇගයීම කොට නිසි වටිනාකමක් ලබාදීමටත් සංවර්ධන ක්‍රියාවලීන් හා අනිකුත් පරිසර පද්ධති හා මානව ප්‍රජාව ගැටෙන අවස්ථා වන්හිදී මානව මුහුණුවරට වඩා පරිසර මුහුණුවර වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අපට මෙහිදි හැකියාවක් ඇති බව මාගේ විශ්වාසයයි.

ජෛව විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් එක්වී මෙලෙස ඇප කැපවෙන සහෘද ලෝකවාසීන් සියලුම පර්යේෂකයන්ටත්, පරිසර සංරක්ෂණයට මහඟු මෙහෙවරක් ඉටුකරන අප රටේ පරිසරවේදීන් හා සංරක්ෂණවේදීන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.

මගේ කතාවට කලින් අලි මිනිස් ගැටුම පිළිබද මට ඇසුනා. මා ඔබට යමක් කිව යුතුයි. ලංකාවේ ආහාර නිෂ්පාදනය කෘෂිකර්මාන්ත නිෂ්පාදනයෙන්, හරියටම තුනෙන් එකක් සත්තුයි. විනාශ කරනවා. පරිභෝජනය කරනවා. මිනිස්සුන්ට කන්න තියෙන ආහාර සත්තුන්ට කන්න දී මිනිස්සු බඩගින්නේ ඉන්න රටක්. එහෙම රටවල් ලෝකේ තියෙනවාද කියලා මං දන්නේ නැහැ. අපේ ආහාරවලට වැඩිම විනාශය ඇති කරන්නේ වදුරන්, රිළවුන්, ඌරන්, වල්අලි, මොනරුන්. අපේ රට පොහොසත් රටක් නොවෙයි. දුප්පත් ම රටකුත් නොවෙයි. දැන් මධ්‍ය ආදායම් රටක්.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, පසුගිය දිනක මා හමු වීලබන වසරේ සිට අපේ රට ලෝකයේ ඉහළ ආදායම් රටක් බවට නිර්දේශ කරන බව ප්‍රකාශ කළා. ලබන වසරේ අපේ රට ඉහළ ආදායම් ලබන රටක් බවට නිර්දේශ කළත්, අපේ රට අද මැදි ආදායම් රටක් බවට හඳුන්වා දුන්නත් අපේ රටේ දුප්පත්කම බහුලව තියෙනවා. මම ජාත්‍යන්තර සමුළුවලට, විශේෂයෙන් ම පරිසර සමුළුවලට සහභාගීවූවිට විද්‍යාඥයන්, ලෝකයේ රාජ්‍ය නායකයන් හමුවුනාම ඒ අයගෙන් මම අහනවා. සුහදව කතාබහ කරනවා. අපි රටවල් අතරේ තියෙන ප්‍රශ්න ගැන.

මීට මාස තුනකට කලින් කෙන්යාවේ තිබුණු සමුළුවකට සහභාගී වුණා. අපේ රටේ ආහාර විශාල වශයෙන් සත්තු විනාශ කරන එක ගැන රටවල් ගණනාවක විද්‍යාඥයන් සමඟ සුහද සාකච්ඡාවක දී ඔබේ රටවලත් එහෙමද? මේකට විසදුමක් තියෙනවාද? කියා ඇහුවා. ඒ රටවල්වල සෑම කෙනෙක්ම දුන්නේ එකම එක පිළිතුරුක්. මොකක්ද දුන්න පිලිතුර වැඩිපුර ඉන්න සත්තු මරලා දානවා කියායි. මං කිව්වා අපේ රට බෞද්ධ රටක්. සත්තු මරන්න බැහැ කියා. ඒ නිසා මිනිස්සුන්ට කන්න තියෙන දේවල් සත්තුන්ට දී මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියා කීවා.

පරිසරය ආරක්ෂා කරනකොට මිනිසා වගේම සියලු සත්ත්වයා ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. සියලු ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. අලි මිනිස් ගැටුම සතුන්ගෙන් ආහාරවලට සිදුවන හානිය, මේවා පිළිබඳත් පරිසරවේදින් විදියට විද්‍යාඥයන් විදියට අවශ්‍ය විසඳුම් අපිට ඔබ ලබා දිය යුතුයි. අපි පරිසරවේදීන් නොවෙයි. අපි දේශපාලනඥයන්. කොහොමද රටේ ජනතාව බඩගින්නේ ඉන්න නැතිව සත්තු කන එක බේර ගන්නේ. අලි මිනිස් ගැටුමට ලෝකේ කොහෙවත් විසඳුමක් දුන්නද? මේ ගැන මම දන්නේ නැහැ. අලි මිනිස් ගැටුම තියෙන රටවල ඒ විදියටම තියෙනවා.

ඒ නිසා විශේෂයෙන් ම පරිසර සංරක්ෂණය පිළිබඳ කතා කරන විට ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම, සියලු සත්ත්වයන් ආරක්ෂා කිරීම, පෝෂණය, සුරක්ෂිත කිරීම, මේ සියල්ල අප සතු පුළුල් වගකීමක්. ඒ වගේම අපට තියෙන ප්‍රශ්නවලටත් විසඳුම්දීමත් ඔබේ වගකිමක්. යුතුකමක්. ඒ නිසා දවස් තුනක් තියෙන මේ සමුලුවේ කතා බහ කරන දේ සාකච්ඡා කරන දේ තීන්දු තීරණ ගන්න දේ, ගන්නා නිර්දේශ, ඒ සියල්ලෙහි ඒ ප්‍රශ්නවලටත් යම් ආකාරයක හෝ විසඳුම් සොයා ගනු ඇතැයි, සාකච්ඡා කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.

මට මේ වැදගත් සමුළුවට ආරාධනා කිරීම පිළිබඳ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් දින තුනක මේ සමුළුව වඩාත් සාර්ථක වේවා කියා සුබ පතනවා.

නැවත නැවතත් ස්වභාවික සම්පත්වලින් අනූනවූ මේ සුන්දර මහා උද්‍යානයට මේ සමුළුව පැවැත්වීමට ඔබ තීරණය කිරිම පිළිබදව විශේෂයෙන් ම විදේශවලින් පැමිණි සියලුම විද්‍යාඥයන් විද්වතුන් පර්යේෂකයන් පරිසරවේදීන් සියලු දෙනාටත් දේශීය සියලු හිතවතුන්ටත් මගේ ගෞරව ස්තුතිය පළ කරනවා.

පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමයේ නිවර්තන පරිසර පද්ධති පර්යේෂණ ජාලයේ සම සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න, කමිටුවේ සම සභාපති විශ්‍රාමලත් මහාචාර්ය නිමල් ගුණතිලක, යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

කොටදෙනියාව සමූහ එම්. පී. කුමාර සහ කුරුණෑගල දකුණ සමූහ

නව අදහස දක්වන්න