දේශීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර | දිනමිණ

දේශීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර

දේශීය මත්ස්‍ය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ යටතේ රටේ මත්ස්‍ය අවශ්‍යතාව මිරිදිය ධීවර කර්මාන්තයෙන් සපුරාලීම අපේක්‍ෂාව බවයි.

ලෝකයේ ඉහළ වෙළෙඳපොළක් සහ ඉහළ මිලක් සහිත ඉස්සන් , කකුළුවන් ඇතුළු මත්ස්‍ය විශේෂ ගොඩබිම වගාව මගින් අපනයනය සඳහාම නිෂ්පාදනය කිරීමත්, දේශීය පාරිභෝජනය සඳහා අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය මිරිදිය ධීවර කර්මාන්තයෙන් සපුරාලීමත් ඉලක්ක කර වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව ද දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී සඳහන් කළේය. මේ වගා සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ඉස්සන් වගා කර්මාන්තයේ නිරත ධීවර ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා හලාවත දී පැවති වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය.

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය (නැක්ඩා) ජලජිවි වගා සංවර්ධන සංසධය( SLADA) ඒකාබද්ධව මේ දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධාන කර තිබුණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාවේ නිරත ධීවර ප්‍රජාව සහ ඉස්සන් කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු හයසියකට ( 600) අධික පිරිසක් සහභාගි වී සිටි මේ වැඩසටහනේදී මේ කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනා වන්නේ වයඹ පළාතේ පුත්තලම දීස්ත්‍රික්කයේ දැනට ඉස්සන් වගාව සිදු කරන වගා ගොවිපොළක්ව පැවති මේ වන විට බදු කාලය ඉක්මවා ඇති ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීම අත්හිටුවීම, එම ගොවිපොළ නැවතත් දීර්ඝ කාලීන බදු පදනමින් ලබාදීමේදී දී ඉස්සන් වගාවට ඒ වන තෙක් යොදාගත් වගාව සිදුකළ වගාකරුවන්ට ප්‍රමුඛතාවක් ලබාදීම, ඉස්සන් වගාව අතහැර දමා ඇති විශාල ගොවිපොළ හෝ බදු කාලය අවසන්ව ඇති ගොවිපොළ කුඩා කොටස්වලට වෙන් කිරීමේ දී අවම වශයෙන් එක් වගාකරුවෙකුට අක්කර 04ක අවම භූමි ප්‍රමාණයක් ලැබෙන සේ කොටස් කිරීම හා එම ඉඩම්වල

පොකුණු ඉදිකිරීමේ දී ඒ සඳහා ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ නිර්දේශ ලබාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ඇතුළත් කිරීම, ඉස්සන් වගාව සඳහා යොදාගත් විශාල ගොවිපොළ ඉස්සන් වගාව ඇතුළත්ව සිදුකරන ජලජිවී වගාවට හැර වෙනත් කටයුත්තක් සඳහා යොදා නොගැනීම,අභිජනනාගාරවල තත්ත්වය උසස් කිරීම,ඉස්සන් වගා ගොවිපොළවල තත්ත්වය උසස් කිරීම, වගාකන්න කාලසටහනේ දින සංශෝධනයන්ට කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම පිළිබඳ සලකා බැලීම, ගොවිපොළ ජෛව ආරක්ෂණ ක්‍රම භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීමයි.

මෙහිදී වැඩිදුරටත් ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මෙසේද කීය. ලංකාවේ ඉස්සන් වගාව ඉතාම සාර්ථකව සිදු කෙරෙන අතර වැඩිම වගාවක් මේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිදු කෙරෙනවා . ඒ අනුව අපේ සැලසුම මිරිදිය ධීවර වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන්න.ඒ මිරිදිය වගා සංග්‍රාමය මගින් අපේ මිරිදිය ධීවර කර්මාන්තය ඉහළම තලයකට ඔසවා තැබීම අරමුණයි. අපේ මිරිදිය ධීවර අස්වැන්න ඉහළ නැංවීමට වගේම මේ කර්මාන්තය හා එක්වන නව ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සහ ආධාර කිරීමට කැපවී සිටිනවා. මෙහිදී ජලජිවි සංවර් ධන අධිකාරිය අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර තියෙනවා.

පසුගිය රජය කාලයේ අපේ ධීවර කර්මාන්තයට විවිධ තහංචි පැනවුණා. මේ නිසා ධීවර කර්මාන්තයේ අඳුරු යුගයක් පසුගිය රජය සමයේ උදාකරලීමට ඔවුන් කටයුතු කළා. ඒ අඳුරු පාලනය නිසා අපේ ධීවර කර් මාන්තය දිනෙන් දින අගාධය කරා රැගෙන ගියා . මේ නිසා අපේ ධීවර ප්‍රජාව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. රටට ලැබෙන විදේශ විනිමය දිනෙන් දින අඩුවෙමින් තිබුණේ, නමුත් අපි බලයට පත්වීමත් සමඟ ඒ ජාත්‍යන්තර තහංචි ඉවත් කරගැනීමට හැකියාව ලැබුණා. මේ නිසා අපේ ධීවර ජනතාවගේ අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්න ගත්තා . ඒ වගේම ධීවර ජනතාව එදාට වඩා උනන්දු වුණා වැඩි අස්වැන්නක් නෙළාගන්න. මොකද මත්ස්‍ය අස්වැන්න අපනයනයේත් ඉහළ ආදායමක් ලබාගන්න අවස්ථාව ලැබීම නිසා . නෙළාගන්නා අස්වැන්නේ වැඩි කොටස අපනයනය කිරීම නිසා අපේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය ලබා දිම ගැටළුවක් වී තිබුණා .

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි, අධ්‍යක්‍ෂ ජෙනරාල් නිමල් චන්ද්‍රරත්න, අධ්‍යක්‍ෂිකා(වෙරළ බඩ) ජේ.එම්. අශෝකා, මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඩිලාන් ප්‍රනාන්දු මහත්ම මහත්මීහුද SLADA නිලධාරීන්ද පුත්තලම දිස්ත්‍රික් ලේකම් , ලෝක බැංකුවේ ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න