වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ඕනෑ | දිනමිණ

වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ඕනෑ

කමනි අල්විස්

2015 ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දුවලින් බොහොමයක් මේ වන විට ඉටු කර තිබෙන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කර වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට වූ පොරොන්දුව ඉටු කිරීම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරමක් අපේක්ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ භාෂා පුහුණුවීම් සඳහා එක්දහස් දෙසිය දෙනකුට පුහුණුවීම් ලබාදීමේ කැඳවීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (10) අරලියගහ මන්දිරයේ පැවැති උත්සව අවස්ථාවේදීය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය යටතේ මෙම පිරිසට පුහුණුවීම් ලබාදීම සිදු වෙයි. විෂය භාර ඇමැති මනෝ ගනේෂන් මහතාගේ සංකල්පයක ප්‍රතිඵලයක් ලෙස රට තුළ පවතින භාෂා ඉගැන්වීමේ ගුරු හිඟයට පිළියම් ලෙස මෙම දැවැන්ත කර්තව්‍යය ක්‍රියාවට නැංවෙයි.

දීප ව්‍යාප්තව සෑම දිස්ත්‍රික්කයකින්ම භාෂා පුහුණුව සඳහා තෝරා ගත් සුදුසුකම්ලාභීන් එක්දහස් දෙසීයකට පුහුණුව සඳහා කැඳවීම් ලිපි මෙහිදී ප්‍රදානය කෙරුණි. පුහුණුවීමෙන් පසුව ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබේ. පුහුණුවීම් කාලය පැය හයසීයකි. දෙමළ, සිංහල භාෂා ඉතාම සරල ක්‍රමවේදයක් යටතේ පුහුණු කරවමින් එසේ ලබාගත් පුහුණුව සෙසු පිරිස් වෙත ලබාදීමට පියවර ගනු ලැබේ.

සිංහල, දෙමළ සහයෝගිතාව මැනවින් පසක් කර දෙමින් ඇන්තනී සුරේන්ද්‍ර ප්‍රමුඛ ශක්ති වාදක භෘංගය පැමිණ සිටි පිරිස සහභාගී කරවාගෙන ගායනා ඉදිරිපත් ක‍ළහ.

තවදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

ගත වුණ වසර කිහිපය තුළදී ඒකාබද්ධතාවය හා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට හැකි වූණා. ඉදිරි වසර පහක කාලය තුළදී එය තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නවා. රට පුරාම සංහිඳියාවේ ප්‍රතිඵල දැකගැනීමට ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය මේ නිසා ශක්තිමත් වීමෙන් සෑම දෙනා අතර එකමුතුකම ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සමත්වීම ජයග්‍රාහී පියවරක්. වත්මන් ආණ්ඩුව එදා ලබාගත් ජනවරම ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගෙන ඉදිරියට ‍ගමන් කරනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය පදනම් කරගනිමින් කිසිදු භේදයක් නැතිව ඕනෑම ජාතියකට තමන්ගේ භාෂාව, සංස්කෘතිය පිළිබඳව කතා කිරීමට , ආඩම්බරවීමට අයිතිය තිබෙන බව අප සැවොම පිළිගත යුතුයි. .

ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කිරීම අප දුන් එක් පොරොන්දුවකි. දේශපාලන විසඳුමක් ලබාදීමටත් පොරොන්දු වුණා. ඒ සම්බන්ධව ව්‍යවස්ථා සම්පාදක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියටත් එම සාකච්ඡාව ගෙනයෑම තුළින් කිසියම් නිගමනයකට එළඹීමට හැකියාව පවතිනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, වසර 2015 පොදු සන්ධානයකට අපි දායක වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පරම චේතනාවේ ක්‍රියා කළා. ඒත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අපට ලැබුණේ නෑ. සරල බහුතරයක් අපට තිබුණේ නෑ. නමුත් තුනෙන් දෙකක් බලය නොතිබුණත් පාර්ලිමේන්තුව අපි ‍ආණ්ඩුව ගෙන ගියා. විධායක ජනාධිපති ධුරය ඉදිරියේ දී අහෝසි කිරීමට අපි ක්‍රියා කරනවා. වසර 2015දී අපි ජනතාවට ලබාදුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුවේ පිහිටා කටයුතු කිරීම අතහරින්නේ නෑ.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේදී කොටින්ට අපි අවනත වන බව කියමින් වැඩකට නැති අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම කියන්නේ එක මවකගේ දරුවෝ කියලයි. එහි ඇති වරද කුමක්ද?. ශ්‍රී ලාංකික අනන්‍යතාව ශක්තිමත් වීමට මෙය ඉවහල් වෙනවා.

ජාතික ඒකාබද්ධතාව පිළිබඳව සංහිඳියාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයකුගේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට පැහැදිලි කර දුන්නා. එතුමා මගෙන් ඇසුවා පත් කළ යුතු ඇමැතිවරයා. එවිට මම යෝජනා කෙළේ මනෝ ගනේෂන් මහතාවයි. භාෂා තුනම අපූරුවට හැසිරවීමට හැකියාව තිබෙන ඒ මහතා මෙයට නියම සුදුස්සා බව පෙන්වා දුන්නා. ඒ අනුව මනෝ ගනේෂන් ඇමැතිවරයා පත් කළා. එම පත්වීමේ සාර්ථක ප්‍රතිඵල දැන් ලැබී තිබෙනවා. විශාල උනන්දුවකින් කැපවීමකින් දැවැන්ත වැඩකටයුතු සම්භාරයක් ගනේෂන් ඇමැතිතුමා ඉටු කරනවා. මාත් සමඟත් වාද කරනවා. එසේ වාද කරන්නේ සංහිඳියාව රට තුළ පතුරවන්නටයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පවතින භාෂා ගුරුවරු හිඟය පිළිබඳව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සමඟත් සාකච්ඡා සිදු වෙනවා. ජාතික ඒකාබද්ධතාවය වෙනුවෙන් එතුමා ඇති කරන ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි. දිවංගත ඩී.එස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලාංකික අනන්‍යතාව ඇති කිරීමට එදා අදහස් පළ කළා.

1915දී පොන්නම්බලම් රාමනාදන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මුණ ගැසී පේද්‍රිස් මුදා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ආණ්ඩුකාරයාගේ බරට රන් දෙන බව පැවසුවත් ඉංග්‍රීසි ආණ්ඩුව ඒ බව පිළිගත්තේ නෑ. අප රට නිදහස ලැබීමේ යෝජනාව 1946 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි දෙමළ මන්ත්‍රීවරු ඒ සඳහා ඡන්දය ලබා දුන්නා.

පසුව අපි බෙදුණා. උතුරේ පමණක් නොව දකුණේත් බෙදුණා. ගිය සෙනසුරාදා මම යාපනයේ ගත කළා. වසර 2009- 2010 තිබුණ යාපනයට වඩා දැන් වෙනස්. දෙමළ පමණක් නොව සිංහල උදවියත් සිටියා. සංහිඳියාවේ ප්‍රතිඵලය දුටුවා. දෙමළ, සිංහල සියල්ලෝම එකට එක්ව සමඟියෙන් සිටිනවා. මේ තත්ත්වය යාපනයට පමණක් සීමා වී නෑ. දකුණේත් සංහිඳියාව ඉදිරියටම ගොස් තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය මේ නිසා ශක්තිමත් වෙනවා.

මනෝ ගනේෂන් ඇමැතිවරයා සිදු කරන දැවැන්ත කාර්යභාරය ප්‍රසිද්ධියේ දකින්නට නෑ. ඊට හේතුව එම කර්තව්‍ය ගොඩනැඟිලි, මහාමාර්ග ,කර්මාන්ත ඉදිකිරීම් ජලය සපයාදීම වාගේ පෙනෙන්නේ නෑ. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ එකමුතු කමේ ගමන එතුමා අරඹා තිබෙනවා.එදා පාස්කු දින සිදු වුණ ප්‍රහාර‍යේදී ලේ වැගිරීම් සිදු නොවුණේ සංහිඳියාවේ ප්‍රතිඵලයක් ලෙසිනුයි. සැවොම ප්‍රහාරය, අන්තවාදය හෙළා දැක්කා. ලේ වැගිරීමකට කිසිවකුත් එකඟ වුණේ නෑ.අප ඔබ රැස්වී සිටින මෙම ශාලාව තුළ සියලුම ආගමික උත්සව සමරනවා. වෙසක් ,පො‍සොන්, දීපවාලී ,නත්තල ,රාමසාන් සියල්ලම සමරනවා.

වසර පහක් තුළ ඒකාබද්ධතාවය සංහිඳියාව තුළින් අපි ඉදිරියට ආවා. ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට ඒකාබද්ධතාව ඇති කිරීමට වසර පහක කාල පරාසය ප්‍රමාණවත් වන්නේ නෑ. ඉදිරි වසර පහ තුළදී අප ගන්නා තීන්දු තීරණ මත මෙම කටයුත්ත සාර්ථක වෙනවා. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ක්‍රියා කරමු. නැවතත් ප්‍රජාවගෙන් ජනවරම ඉල්ලන්නේ පොරොන්දු වුණ කාර්යභාරය බොහෝ දුරට ඉටු කර තිබෙන අවස්ථාවකයි.

සංහිඳියා වැඩපිළිවෙළ සඳහා නිශ්ශබ්දව සහාය දක්වන ඉහළ සේවාවක් ඉටු කරන ප්‍රියානි ගුණරත්න මහත්මිය මෙහිදී සිහිපත් කළ යුතුයි.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා-

සිංහල, දෙමළ කතා කරන ජනතාව අතර අවබෝධය ඇති කරගතහොත් භාෂා ජාතිභේද ගැටලු සියයට අනූවකින් නිමා කිරීමට හැකියි.ජාතික භාෂා ආයතනය භාෂා විශ්වවිද්‍යාලයක් බවට පත් කර උපාධි ලබාදීමේ පරිවර්තනය ඇති කරදීමට අගමැතිතුමා සහාය ලබාදෙන බව පැවසුවා.අධ්‍යාපන සේවාවට අගමැතිවරයා ඉහළම දායකත්වය ලබා දෙනවා. ලෝකය සමඟ අපේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනයමින් විශාල මෙහෙවරක් එතුමා ඉටු කරනවා.නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා හඳුන්වනවා. ඉතිහාස ගතව තිබෙනවා. නවීන අධ්‍යාපනයේ පියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස ගත වෙනවා. (සභාවෙන් වේගවත් අත්පොලසන් දීමක් සිදුවෙයි) ජාතික සංහිඳියාව අගමැතිතුමාගේ නායකත්වයෙන් අප්‍රමාණ සහායක් ලබා දෙනවා.සංහිඳියාව වෙනුවෙන් උපරිම ලෙස කටයුතු කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශාල සහායක් ලබා දෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා සමඟ සාකච්ඡා කර අවබෝධතා ගිවිසුමකට අනුව පාසල්වල භාෂා ගුරුහිඟයට විසඳුම් ලබාදීමට ක්‍රියා කරනවා.උතුරු නැඟෙනහිර පළාත්වලදී පාසල් දරුවන් දෙමව්පියන් මගෙන් ඉල්ලන්නේ සිංහල ඉගෙන ගැනීමට ගුරුවරු ලබාදෙන ලෙසටයි. දකුණේ පාසල්වල දරුවන් දෙමව්පියන් මගෙන් ඉල්ලන්නේ දෙමළ ඉගෙන ගැනීමට ගුරුවරු ලබාදෙන ලෙසටයි.මෙම කටයුත්ත සඳහා කැපවීමෙන් කටයුතු ඉටු කර සංහිඳියාව රට තුළ ව්‍යාප්ත කිරීමට කැපවීමෙන් පියවර ගන්නා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින අංශ ජාතික භාෂා පුහුණු ආයතනයේ සියලුම තරාතිරමේ සේවකයින්ට හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.

කතානායක කරු ජයසූරිය මහතා-

ජාතීන් අතර අවිශ්වාසය දුරු කරමින් භාෂා ගැටලුවට විසඳුම් ලබාදෙමින් සංහිඳියාවේ මහඟු කාර්යභාරය ඉටු කිරීම පත්වීම්ලාභීන්ගේ වගකීමයි.රාජ්‍ය සේවාවේ පවා දමිළ භාෂා දැනුම නැති පිරිස සිටිනවා. මෙය විශාල අඩුපාඩුවක්. පොලිසිවලදී පවා මේ නිසා ගැටලු මතුවනවා. ජාතිවාදි අදහස් දරන ඉතා සුළු පිරිසක් නිසා රට තුළ සාමයට විශාල හානියක්. රටේ මීළඟ පරපුරට අනාගතයක් හිමිකර දීම වෙනුවෙන් කුහක දේශපාලනඥයෙන් ඉවත්ව රට ගැන සිතා ක්‍රියා කිරීම සැමගේ යුතුකමක් වගකීමක්.

අගමැතිතුමා නව අදහස් ඉදිරිපත් කරමින් රටේ ඉදිරි ගමන සඳහා විශාල කර්තව්‍යයක් ඉටු කරනවා. අධ්‍යාපනය තුළින් බුද්ධිමත් පරපුරක් රටට දායක කරදීමට පියවර ගන්නවා. ජාතික සමඟිය ඇති කිරීමේ පණිවුඩය මෙතැන කතා කළ සෑම ඇමැතිවරයකු මනාව දැනුම් දුන්නා. ඇමැති ගනේෂන් මහතා ජාතික සමඟිය උදෙසා ඉටු කරන කාර්යභාරය ප්‍රශංසනීයයි.

ඇමැති වජිර අබේවර්ධන මහතා-

භාෂා ගැටලුව රටේ බරපතළ ගැටලුවක්. රට පුරා සිටින ග්‍රාම නිලධාරී වසම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපතිවරු, සංවර්ධන නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් වැඩසටහන්වල යෙදෙද්දී මේ ගැටලුව මැනවින් පෙනෙනවා. අතීතයේ දෙමළ භාෂා යතුරුලියන පවා දිසාපති කාර්යාලවල තිබුණ බවට සාක්ෂි තිබෙනවා.සංහිඳියාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ හඬක් නඟන මනෝ ගනේෂන් ඇමැතිවරයා ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්. අගමැතිතුමා මෙහිදී ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ඉහළම දායකත්වයක් සංහිඳියාව ඇති කිරීමට ලබාදෙනවා. සියලුම ජාතින් එකට එකතුව ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කිරීමේ ශක්තිය අපගේ ආණ්ඩුව ලබා දෙනවා.

ඇමැති රවී කරුණානායක මහතා-

ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරමින් එකමුතුකම සනාථ කෙරෙන රටක් ඇති කිරීමට ඇමැති මනෝ ගනේෂන් මහතා ඉටු කරන්නේ විශාල කර්තව්‍යයක්. භාෂාව තුළින් එකමුතුකම ඇති වෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කිරීමට අතීතයේ දේශපාලන පොර පිටියේ කතා බහ කළාට එය සැබෑවක් වූයේ නෑ. අපේ ආණ්ඩුව පත්වුණ පසු අගමැතිතුමා මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට දායක වෙමින් විෂමතා ඉවත් කිරීමට ගත් පියවර අභිමානයෙන් සඳහන් කරනවා. අපි සැවොම ගැටලු පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරමු. එකම රටක සහෝදරත්වයෙන් සැවොම විසිය යුතුයි. එවිට අපිට ආර්ථික සමාජයිය සෑම අංශයකින්ම ඉහළට යාමට පුළුවන්. සමඟිකම පිළිබඳව අගමැතිතුමා නිර්භීතව ඇති කළ සටනේ සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. එය සංහිඳියාවයි.

මෙහිදී අගමැතිවරයාගේ සුරතින් භාෂා පුහුණුවීම් සඳහා කැඳවීම් ලිපි සංකේතාත්මකව ලබාදුන්නේ දිස්ත්‍රික්ක අතුරින් ඉහළම ලකුණු ලබාගත් පිරිසටයි.

ඔවුන් මෙසේය. වී. නිමේකා වව්නියාව,ඩී.එච්.එම්.සී.කේ. දමිතා මන්නාරම, ටී. ගයා ශ්‍රී කොළඹ, අංජනාලංකානි කොළඹ, ඩබ්ලිව්.ජේ.වී. විජේකෝන් නුවර, රුවන් පතිරණ මාතර, ඒ.එච්.රවීන්ද්‍ර පුත්තලම, පී.ජේ. අයේෂා දිල්රුක්ෂි රත්නපුර, එස්.කේ.ඒ.එන්. මුණසිංහ පොළොන්නරුව, එන්. නිදර්ශනා පොළොන්නරුව, අයි.එම්. ගුණතිලක කෑගල්ල, එස්. රසිකා රත්නපුර,

ජාතික භාෂා අධ්‍යාපන ආයතනයේ සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතාද සභාව ඇමතීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලකරාජ්, අරවින්ද කුමාර් මහත්වරුන්, කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියානි ගුණරත්න, අමාත්‍යාංශයේ ලේකම්වරිය ඒ.බී.එම්.එස්. මහානාම මහත්මිය ඇතුළුව ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාත් ආර්. හේරත්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය එස්. සන්දරසේකරම් මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න