විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අලුතින් විදුලිය ලබාදීමේදී ප්‍රමුඛත්වයක් | දිනමිණ

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අලුතින් විදුලිය ලබාදීමේදී ප්‍රමුඛත්වයක්

චමීර ඇල්ලදෙණිය

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත නව විදුලි සබඳතා ලබාදීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කළ බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ මේ බව පැවසුවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

අපේ රටේ ජීවත්වන විශේෂ අවස්ථා ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම් සහ ඔවුන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර හැකි උපරිමයෙන් මේ පුද්ගලයන් සඳහා සහන සැලසීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිවැරදි ලෙස හඳුනාගනිමින්, සමාජසේවා අමාත්‍යාංශයේ හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, විශේෂ ප්‍රමුඛතාවක් ලබාදෙමින් නව විදුලි සබඳතා ලබාදීම, ඔවුන්ගේ විදුලි බිල්පත් වෙනුවෙන් වන ගෙවීම් ලබාගැනීම සඳහා පහසු ක්‍රමවේදයක් සකසාදීම වැනි ක්‍රියාමාර්ගවලින් සහන සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ලක්ෂ 16ක් පමණ මේ රටේ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදුවේ බලපා ඇති විවිධ බාධා සහ දුෂ්කරතා සම්බන්ධයෙන් මෙහිදී ඇමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්විණි. මේ පුද්ගලයන්ට ආදායම් උත්පාදන මාර්ග, රැකියා අවස්ථා මෙන්ම අධ්‍යාපන අවස්ථාවන්ද බොහෝවිට මඟහැරෙන අතරම, සමාජයෙන්ද කොන්වී සිටීමට සිදුවී ඇති බව මේ සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. මීට අමතරව මේ විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් වෙත විදුලිබල අමාත්‍යාංශය හරහා සිදුවන සේවා සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු පිළිබඳවද ඇමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

මේ කරුණු ගැන සිය විශේෂ අවධානය යොමුකළ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැතිවරයා මොවුන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඔවුන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගතහැකි වන පරිදි පනත් සම්මත කරදීමට කටයුතු කරන බවත්, සංඥා භාෂා පනත, බිහිරි පුද්ගලයන් වෙත රියැදුරු බලපත් ලබාදීම ආදි කටයුතු රාශියක් සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කර මේ පුද්ගලයන් වෙත සහන සලසාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවත් පැවසීය.

නව අදහස දක්වන්න