වෘත්තීය අධ්‍යාපනය හරහා රැකියා ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබෙනවා | දිනමිණ

වෘත්තීය අධ්‍යාපනය හරහා රැකියා ප්‍රශ්නයට පිළිතුරු ලැබී තිබෙනවා

මාධ්‍ය ඔස්සේ රැකියා විරහිත බව ඉස්මතු කරමින් උද්ඝෝෂණ ප්‍රදර්ශනය වුවද වෘත්තීය අධ්‍යාපනය හරහා රැකියා ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇති බවත් වෘත්තීය අධ්‍යාපනය ලබන නිපුණ ශිල්පීන්ට රැකියා අවස්ථා උදා වන බවත් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගියදා (09) පැවති රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාද සහභාගි විය.

එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

වෘත්තීය අධ්‍යාපනයට තරුණ තරුණියන් යොමුවීමේදී වෘත්තීය අධ්‍යාපන ආයතන පැවතියද ඒවායේ පහසුකම්වල විශාල දියුණුවක් ඇති කරන්න අප අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ යටතේ ජර්මානු රජයේ යුරෝ මිලියන 8.4 ක් ප්‍රදානයක් මගින් කිලිනොච්චියේ කාර්මික තාක්ෂණ ආයතනයත් ( ජර්මන් ටෙක්) ඉදිකරන්න කටයුතු කර තිබෙනවා. කටුබැද්ද ජර්මන් ටෙක් ආයතනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමටත් , ඒ හා සමාන වූ ආයතනයක් මාතර ඉදිකිරීමටත් මේ වනවිට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුව මේ ජර්මන් ටෙක් ආයතන 03ම එකතු කර පොදු පරිපාලන මණ්ඩලයක් යටතේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සකස් කරමින් සිටිනවා.

NSBM ආයතනය පසුගිය රජය යටතේ ආරම්භ කළද එහි වැඩ කටයුතු අවසන් කර සිසු අයිතියට පත් කිරීම 2016 දී අපේ රජය යටතේ සිදුවුණා. එහි සිවිල් ඉංජිනේරු පීඨයක් බිහි කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් පාඨලී චම්පික අැමැතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින ඉඩම් ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පහසුකම් සමඟ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් බවට පත්වී තිබෙනවා. ඒ හරහා මෙරට මෙන්ම විදේශීය සිසුන්ද අධ්‍යාපන අවස්ථාව ලබාදීමට හැකි ස්ථානයක් බවට පත් වෙනවා.

NIBM ආයතනයට අනුබද්ධව ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයක් නාරහේන්පිට ඉදිකිරීමට කටයුතු කරනවා. එය විදේශ විශ්ව විද්‍යාලයක්ද අනුබද්ධව සිදු කරනවා.

රුපියල් මිලියන 1539ක ආයෝජනයකින් මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ඉදිකරනවා. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගැනීම සඳහා මහඟු දායකත්වයක් දක්වන හෝටල් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පුහුණු කරන හෝටල් පාසලක් අහංගමදී ආරම්භ කළා.

කාර්මික අභ්‍යාස පුහුණු කිරීමේ දෙපාර්තමේන්තු සෑම ප්‍රදේශයකම විහිදී පවතිනවා. නමුත් මේවායේ නවීකරණ කටයුතු මධ්‍යම රජයේ සහ කොරියන් රජයේ ආධාර යටතේ සිදු කරනවා. මෙලෙස නවීකරණය කරන ලද ගම්පහ කාර්මික විද්‍යාලය පසුගියදා සිසු අයිතියට පවරා දුන්නා.

රුපියල් මිලියන 510ක වියදමින් ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදිවෙමින් පවතිනවා. රුපියල් මිලියන 4081 ක කොරියන් ආධාර යටතේ කොරියන් ටෙක් ආයතනයක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සම්බන්ධව විවෘත කළා. යුරෝ මිලියන 35ක් වෙන් කරමින් තව කොරියන් ටෙක් ආයතනයක් පොළොන්නරුවේදී ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුල්ගල තැබීමද සිදුකළා.

රුපියල් මිලියන 9.5ක වියදමින් ඉදිවන කටුනායක ඉංජිනේරු අභ්‍යාස ආයතනය 2020 වන විට අවසන් වෙනවා. ඒ හරහා උපාධි මට්ටම දක්වා වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා. රත්මලාන වෘත්තීය පුහුණු ආයතන වැඩිදියුණු කිරීමටද මුදල් වෙන් කර තිබෙනවා.

ඉංජිනේරු තාක්ෂණය , ඉදිකිරීමේ ක්ෂේත්‍රය , පරිගණක ක්ෂේත්‍රවල පාඨමාලා සහ ව්‍යවසායක උපදෙස් ලබාදීමට ආංශික සභා පිහිටවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සාගර ආර්ථික දියුණු කිරීම සඳහා සාගර විද්‍යාව සම්බන්ධව වෘත්තිකයන් බිහිකිරීමට සාගර විශ්ව විද්‍යාලයට අනුයුක්ත ගොඩනැගිල්ලක් නාරා අභ්‍යාස ආයතනය පිහිටා ඇති ස්ථානයේ ඉදිකරන්න කටයුතු කරමින් සිටිනවා. සාගර විශ්ව විද්‍යාලයට සම්බන්ධ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් බිහිකිරීමට කටයුතු කරනවා.ඒ වගේම වෘත්තීය පුහුණුව සම්බන්ධව විද්වත් පර්යේෂණයන්ද මේ වනවිට සිදු කරමින් පවතිනවා.

රැකියා ප්‍රශ්නය මේ වනවිට විශාල වශයෙන් විසඳී තිබෙනවා. නමුත් අපිට රැකියා ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ උද්ඝෝෂණ කරන සහ දේශපාලනඥයන් පසුපස යන අයයි. නමුත් මේ වෘත්තීය අධ්‍යාපනය ලබා පිටවන අය නිසා රැකියා ප්‍රශ්නය බොහෝ දුරට විසඳී තිබෙනවා. නමුත් එය නිහඬයි. වෘත්තීය පුහුණු ආයතනවලින් පිටවන ළමයින් මෙරට මෙන්ම විදේශීය රටවල රැකියාවල නිරත වෙනවා. ඔවුන් ආර්ථිකයට දායක වෙනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඒ මහතා මෙසේද අදහස් පළ කළේය.

වෘත්තීය අධ්‍යාපනයෙන් පිටවන ළමයින් රජයේ සේවයට බඳවාගන්න අවශ්‍යයි කියා වැඩපිළිවෙළක් අවශ්‍ය නැහැ. වෘත්තීය පුහුණුව හදාරන අය සිදු කරන්නේ ආර්ථිකයට දායකවීමයි. අපේ ඉලක්කය වන්නේ විදේශ රැකියා වෙළෙඳපොළයි. රාජ්‍ය සේවකයාවත් නඩත්තු කළ හැකි දියුණු නිපුණ ශිල්පීන් බිහිකිරීමයි. ලෝක ශ්‍රම වෙළෙඳපොළ අපෙන් බිහිවන නිපුණ ශිල්පීන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

වෘත්තීය අධ්‍යාපනය සඳහා මේ වනවිට රාජ්‍ය අංශයේ අපේ වෘත්තීය පුහුණු ආයතනවලට ලක්ෂයක පමණ ප්‍රමාණයක් වසරකට බඳවා ගන්නවා. පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන සඳහා ඒ තරම් ප්‍රමාණයක් බඳවා ගැනීම සිදු කරන්නේ නැහැ. මොකද රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු ආයතනවල පහසුකම් සහ සම්පත් ප්‍රමාණය පෞද්ගලික අංශයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. රාජ්‍ය අංශය ඉදිරියෙන් සිටිනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිපුණතා සංවර්ධන නිලධාරියෙක් පත්කර තිබෙනවා. ඒ හරහා ප්‍රදේශයේ ළමයින් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කිරීමට අදාළ සියලු කටයුතු සිදු කරනවා. අපි පෞද්ගලික වෘත්තීය අධ්‍යාපනය දිරිගන්වනවා. පෞද්ගලික වෘත්තීය අධ්‍යාපන පුහුණු ආයතන අවශ්‍යයි. ඒවා නියාමනය කිරීම අපි සිදු කරනවා. ඒ සඳහා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ එම නියාමන කටයුතු සිදු කරනවා.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූප - කැලුම් ලියනගේ

නව අදහස දක්වන්න