‘නිදහස් අධ්‍යාපනයේ පියා’ යන වචනය කාටවත් සොරා ගන්න බැරි හින්දා තවම තියනවා | දිනමිණ

‘නිදහස් අධ්‍යාපනයේ පියා’ යන වචනය කාටවත් සොරා ගන්න බැරි හින්දා තවම තියනවා

සොරාගන්න බැරි එකම දේ අධ්‍යාපනයයි කියලා මතයක් තියනවා. ඒකත් සොරකම් කරන්න පුළුවන් වුණා නම් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ බලවතුන් නිදහස් අධ්‍යාපනයේ පියා යන වචනයත් සොරකම් කරනවායැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඇමැති වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ, “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ ගාල්ල නගරයේ පාසල් හතරක නව ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා (09) එක්වෙමිනි.

මහින්ද විද්‍යාලයේ රුපියල් මිලියන 32.5ක වියදමින් ඉදි කළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ රුපියල් මිලියන 35ක වියදමකින් ඉදි කළ නව සිවුමහල් පන්ති කාමර ගොඩනැගිල්ල, රිපන් බාලිකා විද්‍යාලයේ රුපියල් මිලියන 30ක වියදමකින් ඉදි කළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ සහිරා විද්‍යාලයේ රුපියල් මිලියන 16.5ක වියදමකින් ඉදි කළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල මෙහිදී සිසු අයිතියට පත් කළ ගොඩනැගිලි අතර වෙයි.

මෙහිදී වැඩිදුරටත්ඇමැතිවරයා මෙසේද කීය.

“සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය පිළිබඳව දැක්වූ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සටහන් වෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව තමයි ගෝල් ෆේස් පිට්ටනියේ හදන්න ඕනෑ කියලා. මම එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී කිව්වා.තරහට නෙමෙයි කිව්වේ. මේ රටේ දේශපාලන බලවතුන් සොරාගත හැකි සියල්ල සොරාගෙන තිබෙනවා. සොරා ගන්න බැරි එකම දේ අධ්‍යාපනයයි. කන්නන්ගර මහතා ජාතියට දායාද කළ නිදහස් අධ්‍යපනය, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි මහා පෙරළියක් ඇති කරනවා. උගත්කමට, දක්ෂකමට සමානතාව හදල දෙනවා. එතුමා තරග විභාග ක්‍රමය ඇති කරනවා. විද්‍යා පීඨ ඇති කරනවා. දක්ෂ විදුහල්පතිවරු ඇති කරන ක්‍රමවේදය ඇති කරනවා.

දකුණේ අගනුවර ගාල්ල. සිලෝන් ගෝල්. සිලෝන් ගෝල් අපි උගස් තියලා ගොඩක් කල් දැන්. සිලෝන් ගෝල් අපි හම්බන්තොටට උගස් කර තියෙනවා. ඒක තමයි යථාර්ථය. දකුණු පළාතේ වැඩිම ජනගහනය ගාල්ලේ. දකුණු පළාතේ ප්‍රධාන කාර්යාල අපට අහිමි වෙලා. දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය ඉකුත්දා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කළා. තක්සේරු කාර්යාලයක් ගාල්ලේදී ළඟදීම විවෘත කරනවා. දකුණු පළාත් පාස්පෝට් කාර්යාලයත් ගාල්ලට ළඟදීම ගෙන ඒමට කටයුතු කරනවා. එය දිසාපති කාර්යාලයේ බිම් මහලේ ආරම්භ කරනවා. දකුණු පළාතේ වැඩියෙන්ම රට ගිහිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. මේ අපරාධයෙන් ගාල්ල අනාථ කර ඉවරයි. තවදුරටත් එහෙම කරන්න එපා.

මේ කාර්යාල මෙයට පෙර ගාල්ලට ආවා නම් ගාල්ලට අනාගතයක් තියෙනවා. ඇයි? වැඩිම ජනගහනයක් ඉන්න තැන. ලෝකයේ පොත්පත්වල සිලෝන් ගෝල් ගැන ලියවෙනවා. සිලෝන් ගෝල්වලින් තමයි තේ පටවන්නේ. සිලෝන් ගෝල්වලින් තමයි රබර් පටවන්නේ. දැන් බලන්න සිලෝන් ගෝල් අනාථයි. මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. සම්මන්ත්‍රණ ශාලාවට රුපියල් කෝටි 500ක් වියදම් කරනවා. මේ එකක් විතරයි. තව විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ගාල්ලේ අනාගතයේ අඳුර නැති කර ගන්න තිබෙනවා. මට දුන් වරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සඳහාම නව ගොඩනැගිලි ඉදි කරනවා. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉතිහාසයේ කිසිඳු රජයක් සිදු නොකළ සංවර්ධනයක් අපි සිදු කරනවායැයි කීය.

නව අදහස දක්වන්න