රටට වැඩදායී සිසු පරපුරක් තනන රත්නපුර ධර්මපාල මහා විද්‍යාලය | දිනමිණ

රටට වැඩදායී සිසු පරපුරක් තනන රත්නපුර ධර්මපාල මහා විද්‍යාලය

රත්නපුර දිස්ත්‍රික්කයේ බොදු බැතිමතුන් අතළොස්සකගේ අනුග්‍රහයෙන් 1935.09.05 වැනි දින බෞද්ධ විද්‍යාලයක් ලෙස සිසු සිසුවියන් 76 දෙනකුගෙන් සහ ගුරුවරුන් දෙදෙනකුගෙන් මේ බෞද්ධ විදුහල ආරම්භය සිදුවුවත් ර/ ධර්මපාල මහා විද්‍යාලය 1935.09.17 වැනි දින නිල වශයෙන් ආරම්භ විය. එසේ ආරම්භ සනිටුහන් වූ මේ පාසල මේ මස 17 වැනි දින සිය 84 වැනි උපන් දිනය සමරයි.

ශ්‍රී ලංකාව පුරා නිදා සිටි බෞද්ධයන් අවධි කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ උපන් දිනය වන 1935 සැප්තැම්බර් 17 වැනින දින විධිමත් ලෙස මේ පාසලේ කටයුතු නීතිඥ රිචඩ් පීරිස් මහතා ඇතුළු බෞද්ධ විද්වත් පිරිසක් විසින් ආරම්භ කරන ලදී. රත්නපුර ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට ආරම්භ වූ මේ විද්‍යාලය පුරා වසර 23ක කාලයක් බාලාංශ පාසලක් වශයෙන් ක්‍රියාත්මක විය. එහි නියමුවන් ලෙස 1935-1936 දක්වා බී. ඒ. පීරිස් මහතා ද, 1936-1937 දක්වා බී. වී. අතුකෝරල මහතා ද, 1937-1958 දක්වා ඩී. ඊ. පී. සමරසේකර මහතා ද විදුහල්පතිවරුන් ලෙස කටයුතු කර ඇත. 1958 දී ධර්මපාල විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කෙරිණි. මහා විද්‍යාලයක් බවට පත් කළ ධර්මපාල මහා විද්‍යාල‍යේ ශ්‍රී ගුණපාල මහතා විදුහල්පති ධුරයට 1958 දී පත් වු අතර 1960 දී සමාගම් පාලනයක් යටතේ පාලනය වු මේ විද්‍යාලය සමාගම් පාලනයෙන් ඉවත් කර රජයේ පාසලක් බවට පත් කෙරිණි. 1961.12.05 වැනි දින ධර්මපාල විද්‍යාල ඉතිහාස‍යේ සුවිශේෂ සිද්ධියක් සිදු විය.

ඒ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර උසස් පෙළ කලා අංශයෙන් ආරම්භවීමයි. 1961-1962 දක්වා ආර්. බුලත්සිංහල , 1962.01.01-1965.06.04 දක්වා පී. කේ. රත්නසේකර, 1965-1968 දක්වා එම්. පී. එම්. මාන්නප්පෙරුම, 1968 දී විමලදාස රණතුංග, 1971-1976 දක්වා ඒ. පී. වික්‍රමසිංහ, 1976.05.01-1989 දක්වා දක්වා ජේ. ජයසිංහ, 1989.05.01-2004.03.03 දක්වා ඩී. එම්. ගුණරත්න මහත්වරු විදුහල්පති ධුරයට පත් වුහ. ඒ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 560කි. මේ කාලයේ පාසලේ නව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. 1989.11.17 වැනි දින ධර්මපාල මහා විද්‍යාල ඉතිහාසයේ සුවිශේෂ සිදුවීමකි. එනම් විද්‍යාලයට අනන්‍ය වු නව පාසල් ගීතයක් නිර්මාණයවීමයි. මේ පාසල් ගීතය නිර්මාණය කර ඇත්තේ මේ විද්‍යාලයේ ම ගුරුවරයකු වු නිමල් කුමාරවංශ මහතාය. 2004.03.03-2004.10.25 දක්වා පී. ඩබ්ලිව්. ගුණපාල මහතා වැඩ බලන විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ අතර 2004.10.25- 2011.11.10 දක්වා ලුතිනන් කර්නල් එන්. එස්. එස්. සිරිවර්ධන, 2011.11.11 සිට මේ දක්වා පී. පී. පී. කලුබෝවිල මහත්වරුන් විදුහල්පතිවරු වශයෙන් කටයුතු කරති.

මේ විද්‍යාලයේ දැක්ම වන්නේ 'ගුණ නැණ බලෙන් හා මනා පෞර්ෂයකින් පිරිපුන්, රටට වැඩදායී ක්‍රියාශීලී නිපුණතා සපිරි දරුවන් බිහි කරන හොඳම පාසල බවට පත් කරමු යන්නයි. මෙහෙවර වන්නේ 'මනා විනය ගරුක මානව හිමිකම් සුරකින දැනුමෙන් සහ කුසලතාවෙන් පිරිපුන් අනුන් උදෙසා කැප වන දැයට වැඩදායී ක්‍රියාශීලී නිපුණතා සපිරි සිසු පරපුරක් බිහි කරමු' යන්නයි.

පාසලේ අරමුණු අතර එකමුතුකම හා සාමය ප්‍රවර්ධනය කිරීමෙන් ජාතිය ගොඩනැඟීමේ සංකල්පය උරදීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, යුතුකම් හා වගකීම් පිළිබඳ දැනුවත් යහපත් ගුණාංග ප්‍රවර්ධනය කිරීම, යහපත් මානසික හා ශාරිරික සුව සම්පතින් පිරි සිසු දරු පරපුරක් බිහි කිරීම, සාක්‍ෂරතාව අඩු දරුවන්ට ප්‍රතිපෝෂණ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් මනා පෞර්ෂයකින් යුතු දරුවන් බිහි කිරීම, අ.පො.ස (සා.‍පෙළ) විද්‍යා,වාණිජ, කලා, කෘෂිකර්ම විෂය ධාරාවලින් දක්‍ෂතා දක්වන සිසුන් ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ 2021 වන විට සම්පුර්ණ කිරීම, අධ්‍යාපන සංවර්ධනයේ දී අවශ්‍ය වන භෞතික සම්පත් ලබාදීමට සැලසුම් කිරීම, ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මවුපියන්ගේ අ‍පේක්‍ෂා ඉටු වන පරිදි දරුවන්ගේ සාධක මට්ටම් ඉහළ නංවන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂය සමගාමී ක්ෂේත්‍ර වර්ධනය කර 2024 වන විට සමස්ත ලංකා මට්ටමේ දරුවන් වැඩි ප්‍රතිශතයක් පාසලෙන් බිහි කිරීම ප්‍රධාන වේ.

එමෙන්ම පාසලේ ඉදිරි ඉලක්ක වන්නේ 2019 දී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80%ක් උසස් පෙළට සුදුසුකම් ලැබීම, 2019 ආ.පො.ස.(උසස් පෙළ) විභාගයට කලා සහ වාණිජ අංශවලින් ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 100%ක් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට මුලික සුදුසුකම් ලැබීම, 2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 100%ක් ලකුණු 100ට වඩා ලබාගැනීමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30ක් කඩ ඉම් ලකුණු ඉක්මවා යෑමත්, කොට්ඨාස-කලාප- -සමස්ත ලංකා මට්ටමේ ක්‍රීඩා සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි කරවීම සහ සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගැනීම, සමස්ත ලංකා සෞන්දර්ය තරගාවලියෙන් ජයග්‍රහණ ලබා ගැනීම, පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවම වශයෙන් එක් ක්‍රීඩාවකට හෝ විෂය සමගාමී ක්‍රියාකාරකම් 2කට හෝ සහභාගී කරවීම, පාසල කෙතරම් ගුණාත්මක 32/2014 චක්‍රලේඛය අනුව අභ්‍යන්තර ප්‍රමිති ඇගයීමට ලකුණු 90%ක් ලබා ගැනීම, සියලුම පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සෑම ගුරුවරයකුම වසරකට වරක් වත් විදුහල්පතිගේ අධීක්‍ෂණයට ලක් කිරීම සහ එම දත්ත පදනම් කරගෙන ගුරු සංවර්ධන වැඩසටහන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම, පාසලේ සියලුම පන්ති කාමර සඳහා interactiv data board ලබා ගැනීම සහ නව තාක්‍ෂණය භාවිත කිරීම, පාසලේ යහපත් ඉගැන්වීමේ පරිසරයක් ඇති කිරීම, සියලුම පන්ති භාර ගුරුවරුන් ශිෂ්‍ය උපදේශන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමෙන් ඵලදායී සේවයක් සිසුන්ට ලබාදීමආදියයි.

රත්නපුර කලාපයේ පාසල් අතර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව මේ විද්‍යාලය ඉදිරියෙන් සිටින අතර අ. පො. ස සාමාන්‍ය පෙළ, අ. පො. ස උසස් පෙළ විභාගවලින්ද උසස් ප්‍රතිඵල පෙන්වා ඇත. විද්‍යාලීය චිත්‍ර උපදේශක ඩබ්ලිව්. ජී. ගිහාන් ක්‍රිෂාන්ත ධර්මපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය, කලාප, දිස්ත්‍රික්ක, පළාත්, ජාතික, ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර තරගවලට සහභාගි වී ඇත. රාජ්‍ය ළමා තරගාවලියේ දී 2012, 2013, 2017 සහ 2019දී දිස්ත්‍රික් ජයග්‍රහණ ද, සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ දී 2014 -2018 වර්ෂවල දී විශිෂ්ට කුසලතා ද දිනාගෙන ඇත. 2013 ජාතික සාහිත්‍ය චිත්‍ර වයස අවුරුදු 06-09 කාණ්ඩයේ තෙවන ස්ථානය, 2016 ජාතික සාහිත්‍ය තරගාවලියේ 10-12 වයස් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ,වයස අවුරුදු 07-08 කාණ්ඩයෙන් දෙවන ස්ථානය, රූ සිත්තම් චිත්‍ර තරගාවලියේ 2017 වයස අවුරුදු 10-12 කාණ්ඩයේ දෙවන ස්ථානය, 2018 මිට්ෂුබිසී ආසියානු චිත්‍ර තරගාවලියේ ජාතික මට්ටමේ සම්මානය, 2019 වර්ෂයේ 'මා දකිනා චීන සිතුවම්' තරගයේ දී සම්මාන සහතිකය, 2016 දහම් පාසල් චිත්‍ර තරගයේ දී ප්‍රථම ස්ථානය සහ සිව් වන ස්ථානය, 2019 ජාත්‍යන්තර තත්ත්වකව වැඩසටහනේ කොලෙජ් අංශයෙන් සම්මාන සහතිකය ලබාගැනීම මේ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබු ජයග්‍රහණ අතර වේ.

පුරා වසර 7ක කාලයක් (මේ දක්වා) ර/ ධර්මපාල මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් පී. පී. පී. කලුබෝවිල , නියෝජ්‍ය විදුහල්පතිනී ටී. ඒච්. ඩී. චන්දිනා, සහකාර විදුහල්පති ඩබ්ලිව්. ජී. ජී. ධර්මපාල මහත්ම මහත්මීන් ඇතුළු ගුරු භවතුන්ද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් සංවර්ධන සමිතිය සහ මවුපියන්ගේ සහාය ඇතිව නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැම දෙනාගේ පැසසුමට ලක්ව ඇත. රත්නපුර නගරයේ කුඩා ඉඩමක පිහිටා ඇති ර/ධර්මපාල විද්‍යාලයේ වර්තමානශිෂ්‍ය, ශිෂ්‍යාවන් සංඛ්‍යාව 1562 දක්වා වර්ධනය වී තිබේ. ගුරු මහත්ම මත්මීන් 72 දෙනකු සේවය කරති. ධර්මපාල මහ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාත්‍යන්තර තත්ත්ව කව තරගාවලියට සහභාගි කරවන ලදි. තොරතුරු තාක්‍ෂණ ඒකකය, ගෘහ විද්‍යා අංශය, ශිෂ්‍ය උපදේශන ඒකකය ආරම්භ කිරීම, ස්මාට් පන්ති කාමර ආරම්භ කිරීම විශේෂ වැඩසටහන් වේ.


රත්නපුර විශේෂ 
එන්.පී. රාජදොරේ

නව අදහස දක්වන්න