තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයා 18දා දක්වා රිමාන්ඩ් | දිනමිණ

තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයා 18දා දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

කිංග්ස්බරි හෝටලය ඇතුළු හෝටල්වලට මෙන්ම කතෝලික දේවස්ථානවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව එම බෝම්බ ප්‍රහාරය අයි එස් අයි එස් බෝම්බ ප්‍රහාරයක් බවට ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සන්නිවේදන කටයුතු සිදු කළ තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (11) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි කාතන්කුඩි පදිංචි තව්හිද් අහම්මදු මොහම්මදු අර්ෂාද් යන ජාතික තව්හිද් ජමාත් සංවිධානයයේ ක්‍රියාකාරි ලෙස කටයුතු කළ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ සැකකරු විවිධ සන්නිවේදන ක්‍රම මගින් වෙනත් අයට සවන් දිය නොහැකි ලෙස ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කටයුතු කර එම ප්‍රහාර මෙහෙයවා ඇති බවටත් ඔහු සැබවින්ම අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ යන්න විමර්ශනය කරමින් සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

හෝටල්වලට සහ කතෝලික දේවස්ථානවලට සිදු කළ ප්‍රහාරය අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස එම ප්‍රකාශය සිදු කළ මේ වන විට රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින මාතලේ පදිංචි මොහොමඩ් සහරාන් ෆස්රුල් රහුමාන් යන අයට දැනුම් දී ඇත්තේ මේ සැකකරු බවත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනාවරණය කළ බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

වට්ස්ඇප් වයිබර් ටෙලිග්‍රාෆ් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ මේ විමර්ශන සිදු කළ කරුණු අනාවරණය කර ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයකු බව කියන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ ස්වයං ඝාතක බෝම්බකරුවකු වන සහරාන් හෂීම් නැමැත්තා ඇතුළු අනෙකුත් ස්වයං ඝාතක බෝම්බ කරුවන් සමඟ මොහු කටයුතු කර ඇති බවටත් සහරාන් සමඟ සිකුරාදා දින පල්ලිවල පවත්වා ඇති දේශන වලට මොහු සම්බන්ධ වී ඇති බවටත් විමර්ශන තහවුරු කර ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව සිදු කළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයා හමුවේ මේ බව කියා සිටි අතර විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන නොවැම්බර් මස 13 වැනිදා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නව අදහස දක්වන්න