කොළඹ සිට පොළොන්නරුවට නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් | දිනමිණ

කොළඹ සිට පොළොන්නරුවට නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්

මහින්ද අලුත්ගෙදර
පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ(11) කොළඹ කොටුවෙන් මංගල ගමන් ඇරඹීය. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන ස්ථානය දක්වා දුම්රිය ගමන් කරනු ලබන අවස්ථාවට ඉන්දියානු මහා කොමසාරිවයා සහ ඇමැති අර්ජුන රණතුංග මහත්වරු ද එක්වූහ. ඡායාරූපය - සුදත් මලවීර

කොළඹ සිට පොළොන්නරුව දක්වා ගමන් කරන මගී අවශ්‍යතා ඉටුකරමින් දිනපතා කොළඹ - පොළොන්නරුව නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම දුම්රියේ මංගල ගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (11) ආරම්භ විය. පස්වරු 3.05 පොළොන්නරුව බලා ධාවනය කෙරුණු මේ "පුලතිසි" නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පස්වරු 7.47 ට පමණ පොළොන්නරුවට ළඟාවිය.

මේ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා පස්වරු 2.55 ට පමණ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව දුම්රිය ස්ථානයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. එයින් අනතුරුව පස්වරු 3.00 ට පමණ පීත්ත පටිය කපා නව දුම්රිය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 3.05 ට පමණ පොළොන්නරුව බලා ගමන් ආරම්භ කරන ලද දුම්රියෙන් මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද එස්. 13 බලවේග දුම්රියක් මේ සඳහා යොදවා තිබෙන අතර වායු සමනය කරන ලද දුම්රිය මැදිරියක් ද දෙවැනි පන්තියේ දුම්රිය මැදිරියක් සහ තුන්වැනි පන්තියේ දුම්රිය මැදිරියක් සමඟ දුම්රිය මැදිරි 7කින් මේ දුම්රිය සමන්විත වෙයි.

මේ දුම්රියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ආසන කලින් වෙන්කර ගැනීමේ පහසුකම සලසා තිබෙන අතර මේ දුම්රිය පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හබරණ සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානවල නතර කරයි. පස්වරු 3.05 ට කොළඹ, කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා මේ දුම්රිය පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් අලුයම 3.45 ට පිටත් වී පෙරවරු 9.08 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතය.

කොළඹ සිට පොළොන්නරුව බලා ගමන් ආරම්භ කරන ලද මේ නව දුම්රියෙන් පොළොන්නරුව බලා විශාල මගීන් පිරිසක් ගමන් කිරීම ද විශේෂත්වයකි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න