මිහින්තලා රාජමහා විහාරය ජාතික උරුමයක් කිරීමට සැලසුම් | දිනමිණ

මිහින්තලා රාජමහා විහාරය ජාතික උරුමයක් කිරීමට සැලසුම්

චමීර ඇල්ලදෙණිය

අනුරාධුපර මිහින්තලා රාජමහා විහාරය ජාතික උරුමයක් බවට පත්කිරිමට රජය සැලසුම් කර තිබේ. මිහිදු මහාරහතන්වහන්සේගේ පරිනිර්වාණය වෙනුවෙන් පවත්වන පෙරහර ජාතික උත්සවයක් බවට පත් කිරිම හා එදිනට ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට ද රජය සැලසුම් කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කෙටුම්පත් සකස් කර ඇති අතර, එය ලබන මස 04 වැනි දිනට ප්‍රථම නිකුත් කිරීමට නියමිතය.

මිහින්තලා රාජමහා විහාරයේ සංවර්ධන කටයුතු හා මිහිදු පෙරහර සම්බන්ධයෙන් අගමැති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථා‍නයේ සංවර්ධන කටයුතු මැයියෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මස 10 දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමි වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ මිහින්තලා රාජමහා විහාරයේ විහාරාධිපති වළවහැංගුණවැවේ ධම්මරතන හිමියෝ,

මිහින්තලා රජමහා විහාරයේ රජ දවසේ සිට මිහිදු මහාරහතන් වහන්සේගේ පිරිණිවන් පෙරහැරපැවැත්වුවා. නමුත් නිදහසින් පසු අප එය පවත්වා නැහැ. මෙවර අප මිහිදු මහ රහතන්වහන්සේගේ පරිනිර්වාණ පෙරහර පවත්වන්න යොදාගෙන තිබෙනවා. එය සිදුවන්නේ රජ දවසෙන් පසුවයි. මිහිදු මහා රහතන් වහන්සේ පිරිණිවන් පෑයේ ඔක්තෝබර් මාසයේ අටවක දිනයකයි. ඒ ගැන සෙල්ලිපි වල සදහන් වෙනවා. මිහින්තලා විහාරය ජාතික උරුමයක් කිරිමත් මිහිදු මහා රහතන් වහන්සේගේ පිරිණිවන් දිනය නිවාඩු දිනයක් බවට පත් කිරිමත් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ ගැන අද සාකච්ඡා පවත්වනවා. ලබන මාසයේ 04 වැනිදා මේ උත්සව මාලාව පැවැත්වෙනවා. 04 වැනිදා පෙරහර මංගල්‍ය තිබෙනවා. 05 වැනිදා ධාතු ප්‍රදර්හනය පවත්වා 06 වැනිදා මිහින්තලා රාජ මහාවිහාරය ජාතික උරුමයක් බවට පත් කරනවා.

ලේක් හවුස් ආයතනය 1962 සිට මිහින්තලා ආලෝක පුජාව කරනවා. ලේක් හවුස් ආයතනය මිහින්තලා විහාරය සංවර්ධනයට දායක වෙලා තිබෙනවා. ඒ අය කරන ආලෝක පූජාවට මැති ඇමැතිවරු ඇවිත් ස්විච් දාලා යනවා. ඉන් පසුව කිසිකෙනක් පන්සල පැත්ත පළාතෙ එන්නේ නැහැ. මේ වෙලාවේ පෙරහර වැඩවලට පෙර සිදු කළ යුතු සියළු කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. මෙවර පෙරහර ගැන පොස්ටර් මුද්‍රණය කර දෙන්නෙ ලේක් හවුස් ආයතනයයි. ශබ්ද යන්ත්‍ර, බෞද්ධ කොඩි ලබාදෙන්නේත් ලේක් හවුස් ආයතනයයි. මේ නිසා පෙරහර කමිටුවට ලේක් හවුස් ආයතනයත් එකතු කර ගන්න ඕන.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා

අපි ලබන 28 වැනිදාට පෙර මිහින්තලා රජ මහා විහාරයේ විදුලියෙන් ආලෝක සිදු කිරිමට කටයුතු කරනවා. ඒ සඳහා නව සැලසැමක් අපි සකස් කර තිබෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ සියළු විදුලි බුබුළු ජර්මනියෙන් ආනයනය කළ ඒවායි. මේවාට වසර පහළවක පමණ වගකීමක් තිබෙනවා.

මිහිදු මහා පෙරහැර පැවැත්වීම, මිහිදු මහා රහතන් වහන්සේ පිරිණිවන් පෑ දිනය නිවාඩු දිනයක් කිරීම හා මිහින්තලා රජ මහා විහරය ජාතික උරුමයක් බවට පත්කිරීමට අදාළ කටයුතු කරන ලෙස අගමැති ලේකම් අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නේය.පූජා භූමි සීමාවේ සිටින අනවසර පදිංචිකරුවන් දිගු කාලීන සැලසුමකට අනුව අදියර වශයෙන් පූජා භූමි සිමාවෙන් ඉවත් කිරීම,මිහින්තලය පූජා භූමියේ මාර්ග සංවර්ධනය,මිහින්තලා පූජා භූමි පොලිස් මුරපොලේ අවශ්‍යතා සම්පූර්ණ කිරිම,පූජා භූමියේ නිවාඩු නිකේතනයක් ඉඳි කිරීමට ඉඩමක් ලබා දිම,මිහින්තලේ පො‍සොන් පෙරහැර සඳහා රුපියල් මිලියන පහක සීමාවකට යටත්ව වාර්ෂිකව ප්‍රතිපාදන ලබා දීම සිදු කිරීමට නියමිතය.

පෙරහර පැවැත්වෙන දිනවල රාජ්‍ය ආයතනවලින් සිදු කෙරෙන සියලුම කටයුතු නිසි ආකාරයෙන් කර දෙන ලෙසද සියලුම රාජ්‍ය ආයතනවලට අගමැති ලේකම් සමන් ඒකනායක උපදෙස් ලබාදුන්නේය.

ලේක් හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුඵ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න