ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකම ගහේ දෙපැත්ත වගේ | දිනමිණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකම ගහේ දෙපැත්ත වගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දෙකක් නොව එකක්. එකම ගහේ දෙපැත්ත වගේ. මේක ගැටලූවක් කර ගන්න අවශ්‍ය නැහැ. යැයි වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවැසීය.

ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර පේෂල බණ්ඩාර මහතා මෙසේ ද කීය.

දැනුත් පොදුජන පෙරමුණේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දේශපාලන වශයෙන් කිසිදු අර්බුදයකින් තොරව ගමේ එකට ඉන්නවා. එ් වගේම දේශපාලනඥයන් එකට ඉන්නවා. මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති වාමවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ න්‍යායක්. එ් නිසා පක්ෂ දෙකම එකට එක් වෙන්නත් පුළුවන්. ඊට එහා ගිය පුළුල් කඳවුරක් හදලා මේ රටේ ජනවාර්ගික සමඟිය ඇති කරන ආගමික සමඟිය ඇති කරන, බෙදුම්වාදය පරාජය කරන, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟන පාලන ව්‍යුහයක් හැදීම රටට දැයට හිතකාමී දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අපෙත් බලාපොරොත්තුයි.

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකිය යුතු බලපෑමක් කරන්නපුළුවන් බලවත් පක්ෂයක් බවට පත් වී තිබෙනවා. හේතුව විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රතිශතය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. පුද්ගලයකු ජයග්‍රහණය කළ යුතු නිසා ආණ්ඩුව හදන විට ආණ්ඩුවටත් සාපේක්ෂව බහුතර ආසන සංඛ්‍යාවක් ලැබෙන හවුල්කාර දේශපාලන පක්ෂයක් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ නිසා පොදු ජන පෙරමුණටත් වෙනත් දේශපාලන කණ්ඩායම්වලටත් පුළුවන් අපිත් එක්ක එක් වී කුඩා කුඩා කණ්ඩායම් එක් කරගෙන පැහැදිලි ප්‍රතිපත්තියක් යටතේ ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදුම් පිළිවෙත ගෙන යන ශක්තිමත් පක්ෂයක්. අද රටේ පුරවැසි බලය කියන එක ශක්තිමත් වෙලා තිබෙනවා. ජනතාව දේශපාලනයේ තිබෙන විශ්වාසය නැති කරගෙන තිබෙනවා. ඉදිරියේ හදන ආණ්ඩුවේ විශ්වාසය ශක්තිමත් කරන්න අපට රාජ්‍ය නායකයෙක් අවශ්‍යයි. පාලකයන් මහජන නියෝජිතයන් අවශ්‍යයි. දේශපාලනයෙන් එහාට ගිය මානව හිතවාදී මහජන නියෝජිතයන් අවශ්‍ය වෙනවා. මෙතෙක් මේ රටේ තිබෙන වැරැදි මොනවාද කියලා ස්වයං විවේචනයක් කර එ් වැරැදි හදාගෙන යහපත් විද්‍යාත්මක ව්‍යුහයක ගමන් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ විද්‍යාත්මක පදනමක් මත වැඩපිළිවෙළක් හදන ශක්තිමත් පක්ෂයක්.

මාවතගම විශේෂ ආනන්ද විජේතිලක

නව අදහස දක්වන්න