ආංශික අධීක්ෂණ කාරක සභා ආවරණය මාධ්‍යයට ලබාදිය යුතුයි | දිනමිණ

ආංශික අධීක්ෂණ කාරක සභා ආවරණය මාධ්‍යයට ලබාදිය යුතුයි

කමනි අල්විස්

ආංශික කාරක සභා දහසයම ආවරණය කිරීමට මාධ්‍යයට අවසර ලබාදෙන ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලබන දහහත්වැනිදා ගායක ගායිකාවන්ගේ කර්තෘභාගය ලබාදීම පිළිබඳව අධ්‍යාපන මානව සම්පත් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

ඒ හරහා අණ පනත් ගැන සාකච්ඡා කරන මන්ත්‍රීවරුන් කවුරුන්දැයි හා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයේ ඝන පූර්ණය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලැබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා විසිදෙනකුගෙන් හෙබි කාරක සභාවේ ඇතැම් විට ඝනපූර්ණය වන්නේ මන්ත්‍රීවරුන් ‍තිදෙනකු පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු තේරීම් කමිටුව සහ කෝප්, කෝපා කමිටු මාධ්‍යයට වාර්තා කිරීමට ඉඩ ලබාදී තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ ආකාරයට ආංශික අධීක්ෂණ කාරක සභා ආවරණය මාධ්‍යයට ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසීය.

විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමට තවමත් ප්‍රමාද නැත. කැබිනට් පත්‍රිකාවක් හරහා මේ සඳහා එකඟතාවය පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට හැකිය. අවංක දේශපාලනඥයන් සිටිනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට අපහසු නැත.

ජනතා විමුක්ති පෙරමුණ විසිවැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමට ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත්කර ගැනීමෙන් මෙවැනි තත්ත්ව ඇති නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කවුරුන් පත්වුවද එසේ පත්වන්නාගෙන් එක හඬින් ඉල්ලා සිටින්නේ ජනාධිපති ධුරයට පත්ව මාස හයක් ගතවීමට පෙරාතුව විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමට පියවර ගත යුතුයි.

විධායක ජනාධිපති ධුරයේ අනිසි බලතල විවිධ ප්‍රශ්න පැන නඟිනවා. ඔක්තෝබර් 26 සිදුවුන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය, රූපවාහිනිය පවරාගැනීම එම අනිසි බලතලවල ප්‍රතිඵලයක්.

වසර 2015දී අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ ප්‍රාර්ථනය වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසිකර පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුවක්.

ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිධුර අපේක්ෂකත්වයට පත්වන්නේ පදනමක් ඇතිවයි. සමහරු අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේ ජනාධිපති ධුරයේ පවතින අනිසි බලතල ගැන මෙනෙහි කරමින් අනාගත සිහින දකින්නන් ලෙසිනුයි.

රූපවාහිනිය පවරාගැනීම දැඩි ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව ඇමැති රුවන් විජයවර්ධන මහතා දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසිපස්දෙනාම වත්කම් බැරකම් ප්‍රකාශන පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබාදිය යුතුයි. මෙසේ ලබාදෙන සීල් තැබූ කවර මහජනතාවගේ දැනගැනීමට විවෘත විය යුතුයි. මා ඇතුළු මන්ත්‍රීවරු දහයක් පමණ දැනටමත් වත්කම් බැරකම් ලබාදී තිබෙනවා. මාගේ වත්කම් බැරකම් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් දැන ගැනීමට පුළුවනි.

පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත්කරගැනීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ආණ්ඩුවක් සෑදීමට පුළුවනි. විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම, ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම හැර ආණ්ඩුව ජනතාවට ලබාදුන් සෙසු සියලුම පොරොන්දු ඉටුකළා. වසර 2015 ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කළේ පෙර රජය දායාද කර තිබුණ විශාල ණය කන්දක් තබාගෙනයි. ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකළා. පෙරේදා රාත්‍රියෙත් ඉන්ධන මිල අඩු කළා.

මාධ්‍යවේදීන් මෙහිදී නැඟූ ප්‍රශ්න සහ මන්ත්‍රීවරයා ලබාදුන් පිළිතුරු.

ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකයා කවුද?

පිළිතුර - රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා යනුවෙන් සිවුදෙනකු සිටිනවා. මේ අයගෙන් අයකු පත්කර ගැනීමට සුහද සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා.

ප්‍රශ්නය - වඩාත් සුදුසු අපේක්ෂකයා තරගයක් දියහැකි අපේක්ෂකයා නම් කළොත්.

පිළිතුර - අපේක්ෂකයන් සිවුදෙනාම එක හා සමානව දක්ෂයි. ජනාධිපති ධුරයට සුදුසුයි. මේ සිවුදෙනාටම එක හා සමානව සටනක් දීමට පිළිවන.

ප්‍රශ්නය - සුදුසුම අපේක්ෂකයා පත්කිරීමට ප්‍රමාදය, පත්කිරීම සිදුවන්නේ කවදාද?

පිළිතුර - වසර 2015 ‍පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල ජනාධිපතිතුමා තරග කරන බව අප දැනගත්තේ කලින් දවසේ. අපි මැතිවරණයෙන් ලද ප්‍රතිඵලය සුබවාදියි. අපේක්ෂකයා කලින් පත්කිරීමද එසේ නැත්නම් ප්‍රමාදවී පත්කිරීමද සාර්ථක කියා ඉදිරියේදී දැනගැනීමට පිළිවන්.

ප්‍රශ්නය - අගමැතිවරයා අපේක්ෂකයා ලෙස පැමිණීමේ සක්‍යතාවය.

පිළිතුර - එය තීරණය වන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන්. සැවොම එකඟත්වයෙන් තීරණයක් ලබාදුන් පසු පක්ෂය තීරණය කරන අපේක්ෂකයාට සහාය ලබාදී ඔහු දිනවීමේ සටනට දායකත්වය ලබා දෙනවා.

ප්‍රශ්නය - කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සංයුතිය වෙනස් ‍කරනවාද?

පිළිතුර - මම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු නොවෙයි. එහෙම දෙයක් පිළිබඳව දැනගැනීමට ලැබුණේ නෑ. එවන් දෙයක් කථා කිරීමට මා සුදුස්සකු නොවෙයි.

ප්‍රශ්නය - පො‍දුජන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයෙන් සීයට හැටක් පමණ නිමාවෙලා, එතකොට ඔබලා.

පිළිතුර - කල්තියා සූදානමද අදාළ අවස්ථාවේ සූදානමද වඩාත් නිවැරැදි කියා ඔබලාට පසුව අවබෝධ වෙනවා.

ප්‍රශ්නය - අගමැතිතුමා සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා කෙබඳුද?

පිළිතුර - එම සාකච්ඡා පිළිබඳව මම නොදනිමි.

ඡායාරූපය - විපුල අමරසිංහ

නව අදහස දක්වන්න