අධ්‍යාත්මික බලයෙන් රෝගීන් සුව කරන පූජා නතර කළ යුතුයි | දිනමිණ

අධ්‍යාත්මික බලයෙන් රෝගීන් සුව කරන පූජා නතර කළ යුතුයි

සමන්මලී ප්‍රියශාන්ති

අධ්‍යාත්මික බලයෙන් රෝගීන් සුවපත් කරන බව පවසමින් පවත්වනු ලබන පූජාවන් නතර කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය හා ආගමික නායකයන් සමඟ ද සාකච්ඡා කරන බවත් ඒ මහතා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාවට නංවන බුදු පුත් මවුපිය සුරක්ෂා වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැති අතර, එහි දී ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

හොරොව්පතානේ පැවැත්වෙන මෙවැනි වැඩසටහනක් සම්බන්ධයෙන් එහි කණ්ඩායමක් පැමිණ අමාත්‍යාංශයේ දී තමා මුණ ගැසුණු බවත්, මේ අය දුප්පත් ජනතාව අතරට විවිධ ආකාරයෙන් පැමිණ ආර්ථිකමය ලෙස උපකාර කර ආගම්වලට හැරවීම් පවා සිදු කරනු ලබනවා. ඒ වගේම ආගම් පතුරවනු ලබනවා. මේ දේවල් තව දුරටත් ක්‍රියාත්මක වෙන්න බැහැ. අන්තවාදය ඇතිවීමේ මුල් බීජ ඉවත් කළ යුතුයි. ඒවා වැළැක්වීමට අදාළ වැඩසටහන් ගැන අපි ස්වාමීන් වහන්සේලා සමඟ ද සාකච්ඡා කරනවා.

ඒ වගේම සමාජ ජාලවල හුවමාරු වූ වීඩියෝවක් ඔස්සේ පරීක්ෂණ කරමින් සාමනේර දෙනමකට පහර දුන් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් මා දැනුවත් වූ වහාම සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා. ඒ අනුව සිද්ධිය කුමක් වුවත් සාමනේර නමකට පහර දීමට ගිහියකුට අයිතියක් නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසිය කටයුතු කළ යුතුයි.

බුදු පුත් මවුපිය සුරක්ෂා වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ භික්ෂූන් වහන්සේලාගේ මවුපියන් වෙනුවෙන් නිවාසයක් ලබා දීම සඳහායි. අද පැවිදි බවට පත් ස්වාමීන් වහන්සේලාගෙන් බොහෝ ප්‍රමාණයක් කෙටි කලකින් උපැවිදි බවට පත් වෙනවා. ඊට බලපානු ලබන හේතු රැසක් තිබෙනවා. බොහෝ විට වත්කම් අඩු පවුල්වල දරුවන් තමයි පැවිදි වන්නේ. එම භික්ෂූන් වහන්සේගේ පවුලේ දිළිඳුකම, මවුපියන්ට ජීවත්වීමට මාර්ගයක් හෝ නිවෙසක් නොමැතිකම මේ උපැවිදිවීමට බලපානු ලබනවා. මේ නිසා සසුනට දරුවකු පූජා කළ මවුපියන් වෙනුවෙන් මේ වැඩසටහන දියත් කරනු ලබනවා. මේ වැඩසටහන අමාත්‍යාංශය යටතේ වන තෙවැදෑරුම් වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවෙනවා. එය බුදු පුත් සුරක්ෂා, බුදු පුත් දෙමාපිය සුරක්ෂා සහ බොදු අරම සුරක්ෂා ලෙස මේ වැඩසටහන් ත්‍රිත්වය ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී රජය විශාල පිරිවැයක් දරන අතර, සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සහ තවත් ආයතන රැසක් ද සහාය දක්වනවා. යැයි කීවේය.

මේ අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමි, අමාත්‍යාංශ උපදේශක චන්ද්‍ර ප්‍රේම ගමගේ, වැඩබලන ලේකම් රේණුකා අමරසිංහ, උපදේශක, නිමල් සිල්වා සහ සුනිල් සමරසිංහ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

 

නව අදහස දක්වන්න