ජාතික රූපවාහිනිය පවරා ගැනීම මාධ්‍ය නිදහසට හානියක් | දිනමිණ

ජාතික රූපවාහිනිය පවරා ගැනීම මාධ්‍ය නිදහසට හානියක්

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික රූපවාහිනි සංස්ථාව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම තරයේ හෙළා දකින බව ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.

මේ පවරා ගැනීමෙන් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට හානියක් වන්නේ යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (11) ප්‍රකාශ කළේය.

දේශපාලනික වශයෙන් ජනාධිපතිවරයා සමඟ ගැටලුවක් නොමැති බවත් මේ පවරාගැනීම නිසා ප්‍රතිපත්තිමය ගැටලුවක් තමා හට තිබෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය. රූපවාහිනි සංස්ථාව කඩා වැටීම නිසා ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා. මෙරට තිබෙන වෙනත් රූපවාහිනි ආයතනත් සමඟ සංසන්දනය කර බලන විට ජාතික රූපවාහිනිය ඒ ආයතනවලට වඩා විශාල කඩා වැටීමට ලක්ව තිබෙනවා. නිසි පරිපාලනයක් නොමැති වීම එයට හේතුව. එහි වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා තිබෙනවා. එය රටේ ජනතාවට බරක්. රුපියල් මිලියන 450 ක් පසුගිය මාර්තු මාසයේදි ඉල්ලා සිටියා. ඊට පෙරද මිලියන 330 ක ඉල්ලීමක් කළා. මංගල සමරවීර ඇමැතිතුමා මේ ඉල්ලීම කරන විට කියා සිටියේ හැමදාම මේ ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම සිදු කළ නොහැකි බව. ආයතනයේ කිසියම් ප්‍රගතියක් තිබෙන්නේ නම් සලකා බලන්න පුළුවන් කියලත් එතුමා කීවා. වසර 2014 සිට මේ ආයතනය කඩා වැටීමට ලක් වුණා. විශාල වශයෙන් කඩා වැටීමක් සිදු වුණේ 2018 වසරේදි. ආයතනයේ කඩා වැටීම වැළැක්වීම සඳහා ආයතනයේ වෙනසක් කළ යුතු බවට මම පැවැසුවා. ඒ අනුව අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව මම පැවසුවා. අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පළමුවෙන්ම සුදර්ශන ගුණවර්ධන මහතා පත් කළ යුතු බවට මම යෝජනා කළා. ශාන් විජේතුංග, සංජීව ගුණවර්ධන, පාලිත මහීරත්න මහත්වරුවන්ගේ නම් ද මම ඉදිරිපත් කළා. මේ විදියට ආයතනයට සුදුසු සභාපතිවරුන් හතරදෙනකු ගැන මම පැවැසුවා. නමුත් මේ කිසිදු පත් කිරීමකට ජනාධිපතිවරයා එකඟතාවක් පළ කළේ නැහැ. ගැසට් එක අනුව මෙහි පත් කිරීමේ බලය මා වෙත පැවැතියත් එම බලතල භාවිත කිරීමට ජනාධිපතිවරයා මට ඉඩ දුන්නේ නැහැ.

මේ පවරා ගැනීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. නමුත් රජයේ මාධ්‍ය ආයතනයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කඩා ගෙන ආරක්ෂක අමාත්‍යාංශයට දාන එකට ප්‍රතිපත්තිමය වශයෙන් මම විරුද්ධයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විදුලි සංදේශ නියාමන කොමිෂම තිබෙනවා. රූපවාහිනි ආයතනයත් ඒ යටතට පවරා ගන්නා විට රූපවාහිනි පනතත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට යනවා. පනත අනුව තමයි පෞද්ගලික නාලිකා ඇතුළු සියලු නාලිකාවලටත්, වෙනත් ජනමාධ්‍ය ආයතනවලටත් මාධ්‍ය ආයතන අලුත් කිරීමට හෝ නව ආයතනයක් ආරම්භ කිරීමට අවසරය ලබාදීම සිදු කරන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි ඉදිරි කාලයේදි ජනමාධ්‍ය ආයතනවලට අවසරය ලබා ගැනීමට සිදු වන්නේ. මේ දේට තමයි මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වන්නේ. මෙරට ඉතිහාසයේ පළමු වතාවට තමයි ජනාධිපතිවරයකු රජයේ මාධ්‍ය ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදු කර තිබෙන්නේ. මේ රටේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය කාලයේදිවත් හිටපු ජනාධිපතිවරුන් මාධ්‍ය ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගත්තේ නැහැ. මෙහෙම කළේ ඇයි කියලා අපි සිතිය යුතුයි. විශේෂයෙන්ම හෙට අනිද්දා වෙනකොට මැතිවරණයක් පවත්වනවා. මැතිවරණයට මුහුණ දීමට මේ පවරා ගැනීම වාසියක් කර ගන්න හිතනවාද එහෙමත් නැත්නම් වෙනත් අරමුණක් හේතුවෙන් පවරා ගැනීම සිදුකළාද කියලා අපි සිතිය යුතුයි. මෙහි බරපතළකම ගැන ජනාධිපතිවරයාත් හිතාබලා විසඳුමක් දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා. නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට කැඳවීමක් කළොත් ඒ සඳහා මම සහභාගි වෙනවා. රූපවාහිනි ආයතනයේ වැඩ කරන සේවකයන් මට නිතරම කතා කරලා ඔවුන්ගේ ගැටලු පවසනවා. පෙබරවාරි මාසයේ සිට මට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිකම ලබාදී තිබුණත් බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලබාදුන්නේ නැහැ. මට එසේ කළත් නීතිගරුකව සියලු කටයුතු සිදු කරන්නට මම වග බලා ගත්තා. රූපවාහිනි ආයතනයට පසුගිය දිනවල මම මැරයන් එව්වා කියලා ආරංචියක් පැතිර ගියා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් වුණාද කියලා ආයතනයේ සේවකයන්ගෙන් විමසා දැන ගත හැකියි. රූපවාහිනි ආයතනය බංකොළොත් විය යුතු ආයතනයක් නොවෙයි. ඉන් ඉතා සාර්ථක ලෙස ලාභ ඉපැයීමට පුළුවන්. නිසි කළමනාකාරිත්වයක් ඒ සඳහා පත් කළ යුතුයි. එවිට ආයතනය සාර්ථකව ගොඩනැඟිය හැකි බව මගේ විශ්වාසයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්, රූපවාහිනි ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය සමන්ත වීරසිංහ

නව අදහස දක්වන්න