වේග සීමාව පනහ කළොත් වටිනවා | දිනමිණ

වේග සීමාව පනහ කළොත් වටිනවා

බුත්තල බස්නැවතුම් පොළ ත්‍රි රෝද රථ එකතුව

ශ්‍රි ලංකාවේ ජාතික ආගමික සංස්කෘතික හා සාමාජීය ඉතිහාසය පිළිබඳ කරුණු ගවේෂණයේ දී ඌව පළාතට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අනුරාධපුරයට වඩා පැරැණි යටගියාවක් මෙන්ම විජයාවතරණයට එහා ගිය පුරාවෘත්තයක් ඌව පළාත සතුය. මහාවංශයේ සඳහන් වන පරිදි ක්‍රිස්තුවර්ෂ පළමුවන සියවස වන විටදී ඌව පළාත හඳුන්වා දී ඇත්තේ හුවාව යනුවෙනි.

රුහුණ හා රජරට සම්බන්ධ කළ පැරැණි මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් පැවත ඇත්තේ එදා ගුත්තාහල යනුවෙන් හැඳින් වූ වර්තමානයේ බුත්තල යනුවෙන් හඳුන්වනු ලබන ඓතිහාසික ප්‍රදේශයේ ය.

පෙර රජදවස උතුරට ගිය එම යුද මාර්ගයේ වැදගත් නැවතුම්පළක් ව පැවති මෙහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සඳහා නිරතුරුව ක්‍රියාත්මක වූ දන්දුන් බත්හලක් පැවති බව ඉතිහාස පොතපතෙහි සඳහන් වේ. වර්තමානයේ දී අක්කර දහස් ගණනක් වූ වෙල්යායක් දක්නට ඇත්තේ අතීතයේ තතුවිත්තිවලට මනා සාක්ෂී සපයමිනි.

ඒ නිසාම බත්හල-බුත්හල-බුත්තල වු බවට ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එවන් ඓතිහාසික ප්‍රදේශයක් කේන්ද්‍රස්තානය වූ බුත්තල සුවිශේෂී වන්නේ ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් මේ ප්‍රදේශය පුරා විසිරී පැතිරී ඇති නිසාය. ඓතිහාසික මාලිගාවිල බෝසත් හා දඹගොඩ පිළිම වහන්සේලා පිහිටි මාලිගාවිල, යුදගනා මහවෙහෙර, දෙමටමල් විහාරය, හැබ්බැස්ස විහාර සංකිර්ණය, බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනය, රහතන්කන්ද, ගල්ටැම්මණ්ඩිය, හත් පෝරුව, කටුගහල්ගේ විහාරය, කුඩුම්බාල රජමහා විහාරය, වලගම්බා විහාරය ඒ අතරින් කිහිපයකි.

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොටඨාස අතරින් සුවිශේෂී ස්ථානයක පිහිටි මෙම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වත්මන් ජනගහනය 65,962 කි. ග්‍රාම සේවා වසම් ගණන 29 කි. කෘෂීකර්මාන්තය පදනම් කරගත් 80%කට අධික පිරිසක් ජීවත්වන මෙම ප්‍රදේශයේ විශාල පිරිසකගේ යැපුම් භෝග වන්නේ උක් හා වි වගාවය.

මෙම ගම්මානවල ජනතාව නිරන්තරයෙන් ගනුදෙනු කිරීමට එන ප්‍රධාන මධ්‍යස්ථානය බුත්තල නගරයයි. සියලු රාජ්‍ය ආයතන හා බැංකු සියල්ල කේන්ද්‍ර වී ඇත්තේ මෙම නගරය වටාය. ප්‍රධාන ජාතික පාසල පිහිටා ඇත්තේ ද නගරයේය.

එවන් වටපිටාවක පිහිටි බුත්තල බස්නැවතුම් පොළ වටා ඇත්තේ ත්‍රීවිල් සහෝදරයන්ගේ රථ ගාල්ය. එකක් නොව තුනකි. අවට ගම්මානවලට බෙදා වෙන්කරගෙන ඇති මෙම රථගාල්වල සේවයේ නියුතු පිරිස පනහකට අධිකය.

තමන්ට ඉඩකඩ ලැබෙන ආකාරයට එම රථගාලේ ඉඩකඩ වෙන් කර ගන්නා ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටු කරනු ලබන සේවය සැබවින්ම අගය කළ යුතුය.

දහසක් ප්‍රශ්න ගැටලු මැද රැකියාව කරන රියැදුරන්ගේ කතා බොහෝවිට දුක්බර ප්‍රශ්නාවලියකි. මෙවර මගතොට මිතුරෝ පිටුව වෙන්වන්නේ ඔවුන්ගේ හඬටයි.

අබේසිංහ මහතා

මේක තමයි අපේ ප්‍රධාන රස්සාව. දුක් ගැටලු රැසක් මැදයි අපි ජීවත්වෙන්නේ. බීමත් රියැදුරන්ට දඩ ගහනවට අපිත් සතුටුයි. ඒවට ලොකු දඩ මුදලක් නියම කිරීම සාධාරණයි. අපිට තියෙන එකම ගැටලුව තමයි පොලිසියෙන් ලියන එක. නීතිය කාටත් පොදුයි. ඒ වුණාට අපේ පොඩි වැරැද්දටත් ලියනවා. වේග සීමා නැති තැන්වලත් වාහන ලියනවා. නීතිය ගැන කතා කළාම අපිට ප්‍රශ්න.

ලොකු වාහනවලට ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා අඩුයි. මාර්ග සංවර්ධන අධිකාරිය මේ පාරවල්වල ගැටි හදන්නේ නෑ. වැටෙනටා අනතුරු සිද්ධවෙනවා.

පසුගිය කාලයේ මේ පාරවල්වල විශාල පිරිසක් මියගියේ මේ ගැටි හදලා නැති නිසා. අපිට දැන් වාහනයක් අයින් කරන්න බැහැ.

කුමාර මහතා

ඒ දවස්වල තෙල් ලීටරයක් 117යි. හයර් එක රුපියල් 50යි. අද තෙල් ලීටරයක් රුපියල් 138යි. අදත් හයර් එක රුපියල් 50ට තමයි දුවන්න වෙලා තියෙන්නේ. අප 60යි කිව්වට ඒක දෙන්නේ නෑ. වාහනවල හැම කෑල්ලකම මිල වැඩිවෙලා. දැන් හයර් ඇත්තෙත් නෑ. නගරයට මිනිස්සු එනවත් අඩුයි. මිනිස්සුන්ගෙ අතේ සල්ලි නෑ. ඒක නිසා මේ රස්සාව කරන්න වෙලා තියෙන්නේ බොහොම අමාරුවෙන්.

දුමින්ද මහතා

මම දැන් අවුරුදු අටක් විතර වෙනවා මේ රස්සාව කරන්න පටන් අරගෙන. හරියට අපේ රස්සාවත් පොලිස් නිලධාරියෙක්ගේ වගේ. කොච්චර හොඳ කළත් හොඳක් අහන්න බෑ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා අපේ රස්සාව සමහරු ගණන් ගන්නේ නැහැ. හයර් බෙදිලා තියෙන්නෙත් ඒ වගේ හොඳ නරක අනුව තමයි. අපිට නම් ගැටලුවක් නෑ. සමහරුන්ට නම් ප්‍රශ්න තමයි. රස්සාව හොඳ වුණාට වැඩක් නෑ හයර් යන්න මිනිස්සු අතේ සල්ලි නෑ.

සුරේෂ් ගයාන් මහතා

මාතර වැලිගම හිටියා අවුරුදු හයක්. දැන් මම බුත්තලට ඇවිත් අවුරුදු හතක් වෙනවා. උදේ අටේ ඉඳලා හවස අට විතර වෙනකම් පාක් එකේ ඉන්නවා. අපිට විදේශිකයන්ගේ ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ අය අපිව අගය කරනවා. යන මුදලට වඩා වැඩිපුර ගණනක් දෙන අවස්ථා තිබෙනවා. අපේ සේවය ගැන ප්‍රශංසාවෙන් කතාකරනවා. අපේ අය නම් කරන්නේ ඒ අයගේ අවශ්‍යතාවය විතරයි. සමහර වෙලාවට සල්ලි දෙන්නෙත් අඩුවෙන්. නමුත් විදේශිකයෝ එහෙම නෑ. අපේ අය අතර සියයට එකක් දෙකක් විතර මේ රස්සාව තේරුම් අරගෙන නෙවෙයි කරන්නේ. සමහර අය වයස මට්ටමෙන් අඩු නිසා විවිධ නරක ක්‍රියාවන්ට පෙලඹෙනවා. ඒ දේවල් නිසා අපේ නමත් කැතවෙන වෙලාවල් තියෙනවා. ඒක අපිට ලෙකු අවාසියක්.

ඉන්දික ජගත් කුමාර මහතා

ගොඩාක් අයට තියෙන්නේ ඩීසල් ත්‍රීවීල්. හතරවෙනි ගියරයට දානකොට 40 සීමාව පනිනවා. ත්‍රීවීල්වල උපරිම වේග සීමාව 40යි. ඒ වේග සිමාවේ යනකොට යන මගියා කොට කොට යනවා කියලා අපිට බනිනවා. එක්කෝ බැහැලා යනවා. අපිට ඊට වැඩියෙන් යන්න බෑ. ගියොත් පොලිසියෙන් ලියනවා. ඒ අයට දොස් කියන්නත් බෑ, රටේ නීතියක් තියෙනවනේ. අඩුම තරමේ මේ වේග සීමාව 50 දක්වා වත් වැඩිකරලා දෙනවානම් ලොකු දෙයක්. එහෙම වුණොත් අපේ රස්සාව කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. මේ නිසා හැමදාම අපි දැඩි අසීරුතාවයන්ට පත්වෙනවා .

ජේ.එම්. චන්ද්‍රසේන මහතා

අවුරුදු 17ක 18ක විතර ඉඳන් මේක තමයි මගේ රස්සාව. දැන් හයර් ඒ තරම් ඇත්තෙත් නෑ. ඒ වගේම ත්‍රීවීල් විශාල ප්‍රමාණයක් පාක් එකට ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට යන මගියා සල්ලි නෑ කියලා බැහැලා යනවා. හයර් එකේ ගාණ සම්පුරණයෙන්ම දෙන්නෙත් නෑ. ඒ වගේ ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ.

ප්‍රදීප් ලක්මාල් මහතා

අවුරුදු 18ක් විතර මම මේ රස්සාව කරනවා. මේ රස්සාව ගැන සමාජයේ පිළිගැනීමක් නෑ. සල්ලි ප්‍රශ්න ගැන නම් කතා කරලා වැඩක් නෑ. මිනිස්සු තමයි අපිට හයර් එකේ ගාණ කියන්නේ. අපි කියන ගාණ දෙන්නේ නෑ. මීටරයක් හයිකරලා පෙන්නුවත් වැඩක් නෑ. රුපියල් සීයක දුරක් ගියාම පනහයි දෙන්නේ. මීටරයක් හඳුන්වලා දුන්නා. ඒක හරියට ක්‍රියාත්මක වුණා නම් මේ රස්සාවට වටිනාකමක් ඇතිවෙනවා. එතකොට අපිට ඒක පෙන්නලා හරියට අයකිරීමක් කරන්න පුළුවන්.

ඩී.එම්. ධර්මදාස මහතා

අවුරුදු 20ක් විතර වෙනවා ත්‍රීවීල් රැකියාවට ඇවිත්. කාටවත් කරදරයක් නැතුව වැඩ කරනවා. තෙල් වැඩිකරනවා ඒත් ඒකට හරියන හයර් එක වැඩිකරන්න බෑ. මම කලින් ගොවිතැන් කළේ. දැන් ගොවිතැන් කරන්න අමාරු නිසා මේ රස්සාව කරනවා. දවසට කොහොම හරි හයර් දෙක තුනක් වදිනවා. එදා ජීවත්වෙන්න ඒ ඇති. කොහේ හයර් ගියත් හවස හත අට වෙනකොට ගෙදර තමයි ඉතිං.

 

වැල්ලවාය විශේෂ 
ජී.අයි.ආර්. ගරුසිංහ

නව අදහස දක්වන්න