පිටි මිල! | දිනමිණ

පිටි මිල!

ජාතික ආහාර වේල ගැන කුමන විග්‍රහ - විවරණ - යෝජනා ඉදිරිපත් කළ ද; තිරිගු පිටි නැතිව අපට අපේ ජීවිත පවත්වාගෙන යා නො හැකි ය. පාන්, රොටී, කොත්තු, පිට්ටු පමණක් නො ව; බනිස් පවා ජන ජීවිතයේ කොටසක් බවට පත් වී ඇත. වතුකරයේ කම්කරුවන්ගේ ප්‍රධාන ආහාරය රොටී යැයි කීම නිවැරැදි ය. නාගරික දිළිඳු ජනතාවගේ ප්‍රධාන ආහාරය පාන් යැයි කීම නිවැරැදි ය. මේ හැරෙන්නට සෙසු ජනයාගේ ආහාර වේල් තුනෙන් එකක්වත් පිටි ආශ්‍රිත නිෂ්පාදනයක් වන බව රහසක් නො වේ. මේ කතාවේ අර්ථය වන්නේ තිරිඟු පිටි අපේ ජීවිතවලට බලපෑමක් එල්ල කරන සාධකයක් බව ය.

මීට දින තුනකට ඉහත දී ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දැම්මේ ය. ඒ රුපියල් පහයි ශත පනහකින් ය. පිටි මිල පැවැතියේ රුපියල් අසූහතක් ලෙස ය. එනම්; තිරිඟු පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් අසූහතකි. එය පහයි පනහකින් වැඩි වූ විට කිලෝවක මිල රුපියල් අනූ දෙකයි ශත පනහක් ලෙස ඉහළට ගමන් කරයි. බුලත්විටක් කෑමට, බීඩියක් බීමට, අමාරුවෙන් කීයක් හෝ ඉතිරි කරගන්නා කම්කරුවකුට රුපියල් පහයි ශත පනහක් යනු සැලකිය යුතු ගණනකි. ප්‍රීමා සමාගම කියා සිටින්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල ගණන්වලට අනුව මිල ඉහළ දැමීම සිදු කළ බව ය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල හිටිහැටියේ ඉහළ දැමිය හැකි ද? පාරිභෝගික භාණ්ඩවල මිල හා ගුණාත්මකභාවය අධීක්ෂණය කරන රාජ්‍ය ආයතන ගණනාවක් තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියට යටත්ව ය. එහෙත් මිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ කිසිදු ආයතනයක අනුමැතියකින් තොරව බව පැහැදිලි ය. ප්‍රීමා සමාගමට අවශ්‍ය පරිදි පිටි මිල තීරණය වන බවක් පෙනෙන්නට තිබේ. දැනට පවතින තත්ත්වයට අනුව සමාගම මිල පහළට නො දමන බවක් කියන අතර වැඩි මිලට පිටි විකුණන වෙළෙඳුන්ට නඩු දමන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. ප්‍රතිඵලය වී ඇත්තේ සිල්ලර වෙළෙඳ පොළ තුළින් පිටි අතුරුදන් වීම ය.

පාරිභෝගික සේවා අධිකාරිය හා සමාගම අතර සාකච්ඡාවක් තිබූ බව කියති. අමාත්‍යවරයා හා සමාගම අතර සාකච්ඡාවක් වූ බව ද කියති. අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී පිටි මිල පහත දැමීමට සමාගම පොරොන්දු වූ බව ද කියති. එහෙත් පිටි මිල අඩු වී නැත. එකිනෙක වෙළෙඳ සල් එකිනෙක මිල ගණන්වලට පිටි අලෙවි කරන අතර ඇතැම් වෙළෙඳ සල් පිටි අලෙවියෙන් ඉවත් වී ඇත. පාන් - බනිස් - මාළු පාන් - ජෑම් පාන් විකුණන ජංගම රථ පවා එකිනෙක ගණන්වලට ඒවා අලෙවි කරන තත්ත්වයක් උදා වී ඇත. සියල්ලෙන් ම පීඩනයට පත් වී ඇත්තේ අසරණ පාරිභෝගිකයා යැයි කිව හැකි ය. පාරිභෝගිකයාට සිදු වී ඇත්තේ කියන මිලකට පාන් - බනිස් මිලට ගැනීමට ය. ලෝක වෙළෙඳ පොළෙහි පිටි මිල පහත වැටෙන විට කරබාගෙන සිටින සමාගම් මිල ඉහළ යන විට වහා ක්‍රියාත්මක වෙයි.

ප්‍රීමා සමාගම වරින්-වර මේ ගැටලුව මතුකර තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ තිරිඟු පිටි පිළිබඳ ඒකාධිකාරය ඔවුන් සතුව පැවැතීම ය. කරුණු දෙකක් කෙරෙහි මෙහිදී සැලැකිල්ල යොමු කළ යුතුව තිබේ. එක; පිටි ඒකාධිකාරය බිඳ දැමීමය. දෙක; තිරිඟු පිටි සඳහා සාර්ථක ආදේශකයක් සපයා ගැනීමය. වරින්-වර මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් වී තිබුණ ද, මෙතෙක් කිසිදු යෝජනාවක් සාර්ථක ව ක්‍රියාත්මක වී නැත. තිරිඟු පිටි ආයාත භාණ්ඩයක් බැවින් වරින් වර විවිධ මිල වෙනස්වීම්වලට ලක්වෙයි. එක්කෝ සතොස වැනි ආයතනයක් වෙත තිරිඟු පිටි ආනයනයේ ඒකාධිකාරය පවරාගත යුතු ය. නැතහොත් තවත් සමාගම් කිහිපයක් ඒ සඳහා යොමුකළ යුතු ය.

පිටි වෙනුවට බත් ආහාරයට ගන්න යැයි උපදේශන සැපයුව ද එය සාර්ථක වන්නේ නැත. ශ්‍රී ලාංකිකයා අතීතයේ දී තුන් වේලට ම බත් ආහාරයට ගත්ත ද අද ඒ පුරුද්ද ගිලිහී ඇත. තුන් වේලට ම පාන් ආහාරයට ගන්නා පිරිස් ද අප අතර සිටිති. පිටි වෙනුවට බත් යන සටන් පාඨය සාර්ථක විසැඳුමක් නො වේ. රට තුළ නිෂ්පාදනය කළ හැකි වෙනත් පිටි වර්ගයක් හඳුනාගැනීම මීට ඇති එක් විසැඳුමකි. මඤ්ඤොක්කා පිටි හොඳ ආදේශකයකි. අප්‍රිකානු රටවල් ගණනාවක ප්‍රධාන ආහාර සැකසෙන්නේ මඤ්ඤොක්කා පිටිවලින් ය. මේ වගාවත් පිටි නිෂ්පාදනයත් ශ්‍රී ලංකාව තුළ පහසුවෙන් ම කළ හැකි ය. එහෙත් කිසිවකු ඒ සම්බන්ධයෙන් උනන්දු වන බවක් පෙනෙන්නට නැත.

මොන අතින් බැලුව ද සමාගම්වල ඉලක්කය වන්නේ අධික ලාභ ලැබීම ය. එය නැවැත්විය හැකි දෙයක් නො වේ. රජය කළ යුත්තේ එය සාධාරණ ලෙස පාලනය කිරීම ය. අධික ලාභ ලැබීමට නම්; වරින්-වර මිල ඉහළ දැමිය යුතු ය. කිසියම් භාණ්ඩයක් පිළිබඳ ඒකාධිකාරය පවත්වාගෙන යන සමාගමකට එය පහසුවෙන් ම කළ හැකි ය. රටේ පවත්නා වෙළෙඳ නීතියට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් ප්‍රීමා සමාගම පිටි මිල ඉහළ දමා ඇත්තේ අධිකාරියේ අනුමැතියකින් තොරව ය. එය වෙළෙඳ නීතිය උල්ලංඝනය කිරීමකි. සමාගමට එරෙහි ව වහා ම නඩු පැවරිය යුතු ය. එය ඉටුකරන බවක් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

රටේ පවතින ජීවන වියදම බෙහෙවින් ඉහළ ‍ගොස් ඇති බව ද දුප්පත් පාරිභෝගිකයා ඉතා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා බව ද අමුතුවෙන් කිව යුතු නැත. ධනේශ්වර ආර්ථික ක්‍රමය මිනිසාගේ අවශ්‍යතා පුළුල් කරන අතර ඒවා සපුරාගත හැකි මාර්ගයට තරගකාරීත්වයක් ආරෝපණය කර තිබේ. මුළුමහත් ලෝකය ම මේ ගැටලුවට මුහුණ දී සිටිති. එහෙත් එය යම් තරමකින් හෝ පාලනය කිරීමේ බලය රජයකට තිබේ.

 

නව අදහස දක්වන්න