නායකයන්ගේ ආර්ථික දැක්ම | දිනමිණ

නායකයන්ගේ ආර්ථික දැක්ම

නූතන ලෝකයේ රාජ්‍යයන් මුහුණ දෙන බරපතළ අභියෝග කිහිපයක් තිබේ. ප්‍රමුඛතාව අනුව ගතහොත් ආර්ථික කළමනාකරණය හා සංවර්ධනය ඉන් පළමු තැනට වැටෙයි. දෙවන තැන ගන්නේ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම හා එය පවත්වාගෙන යෑම ය. තෙවන තැන හිමිවන්නේ ජාතීන් හා ආගමිකයන් අතර සාමය හා සංහිඳියාව පවත්වා ගැනීම ය. මේ අභියෝග එලෙසින් ම ශ්‍රී ලංකාව කෙරෙහි ද බලපායි. අභියෝගවලට මුහුණ දෙන ආකාරය හා ඒවා ජය ගැනීමට යොදන උපායමාර්ගවල ස්වාභාවයට අනුව මෙකී රටවල්වල අනාගතය තීරණය වනු ඇතැ’යි නිගමනයකට පැමිණිය හැකි ය. ඉහත කී උපාය මාර්ග පිළිබඳ තීන්දු ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගවීම ඇත්තේ පාලකයන් ළඟ ය.

ආර්ථික කළමනාකරණය හා සංවර්ධනය යන්නෙන් අපේක්ෂා කරන්නේ ර‍ටේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම ය. මේ සඳහා නායකයන්ට හා රජයට ආර්ථික දැක්මක් තිබිය යුතුය. ප්‍රායෝගික වැඩසටහන් තිබිය යුතුය. ඒවා මහ පොළොව තුළ යථාර්ථයන් බවට පත් කිරීමේ හැකියාව ද පැවැතිය යුතුය. නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑවකටත් ටිකක් වැඩි කාලය තුළ අපේ නායකයන් විවිධ ආර්ථික වැඩසටහන් අත්හදා ඇත. ඒවා මුළුමනින් ම අසාර්ථක යැයි තර්ක කළ නොහැකි’මුත් ඉලක්ක සපුරාගත නො හැකි වූ ඒවා ලෙස හැඳින්විය හැකි ය. එහි අර්ථය වන්නේ අතීත අත්දැකීම් ද පාදක කරගෙන අනාගත සැලැසුම් ඉදිරිපත් විය යුතු බව ය.

නූතන ලෝක ආර්ථික සන්දර්භය දෙස බලන විට පෙනී යන සත්‍යයක් වන්නේ ගෝලීය ආර්ථික තත්ත්ව නොසලකා හැර රටක ආර්ථිකය ශක්තිමත් කළ නො හැකි බව ය. ඉතිහාසය ගත්ත ද එය සත්‍යයක් බව පෙනී යයි. යුරෝපීය රාජ්‍යයන් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තේ පහළොස්වන සියවසේ පටන් ගෙන ගිය ලෝක වෙළෙඳාම නිසා ය. ඒ සඳහා ඔවුන් යොදාගත් එක් වැදගත් සාධකයක් වූයේ නාවුක ගමනාගමනය හා වරායවල් ශක්තිමත් කිරීම ය. අපේ පුරාණ රජවරු යුරෝපීය ජාතිකයන්ට පෙර ලෝක වෙ‍ළෙඳාම කෙරෙහි නැඹුරු වූහ. රට වටා පැවැති වරාය පද්ධතිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. අපනයනය හා මූල්‍ය ගනුදෙනු මෙහිලා වැදගත් තවත් සාධක දෙකකි.

මේ මොහොතේ රටේ ජනතාවගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව විශ්වාසවන්ත ලෙස ගොඩනැඟිය හැකි නායකයා කවරෙක් ද? එම වැඩපිළිවෙළ කුමක් ද? යන්නය. අවාසනාවකට මෙන් රටේ දේශපාලකයන්ගෙන් බහුතරය ආර්ථිකය ගැන කතා කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ සංවාදවල ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේ ආගම, ජාතිය හා ජාතියේ ආරක්ෂාව ආදිය යි. ජනතාවට හඳුනාගත හැකි පැහැදිලි ආර්ථික වැඩසටහනක් ගැන කතා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණි. එය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ ලෙස හැඳින්විය හැකි ය. එජාපයෙන් බලයට පත්වන ඕනෑම කෙනකු එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරනු ඇතැ’යි සිතිය හැකි ය.

මේ ආර්ථික ක්‍රියාදාමයෙහි කැපී පෙනෙන ලක්ෂණ තුනක් පවතී. එක; අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම ය. අපනයනය දියුණු නොකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපහසු ය. අපනයනය පුළුල් කළ විට රුපියලේ අගය පිළිබඳ ගැටලුවට ද විසැඳුමක් ලැබෙනු ඇත. දෙක; ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම ය. රටේ භූගෝලීය පිහිටීම අනුව ද අපට ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ස්ථාපනය වීමේ හැකියාව ඇත. තෙවන ලක්ෂණය වන්නේ සාගර ආර්ථිකයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීම ය. ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඔසොවා තැබීමට නම්; අවට සාගරයෙන් ආදායම් උපදවාගත යුතු බව ය. එය ඇත්තකි. ජපානය දෙස බලන විට එය තවදුරටත් සනාථ වෙයි.

මේ ආර්ථික දැක්ම හා වැඩසටහන ඉදිරියට ගෙන යෑමේ දී එල්ලවන බාධක ගැන ද අවධානය යොමුවිය යුතුව තිබේ. ජාත්‍යන්තර සහයෝගය යන කාරණයේ දී එල්ලවන්නේ ප්‍රබල බාධාවන් ය. ආර්ථික වශයෙන් ඉදිරියට යෑම සඳහා රටවල් කලාපීය වශයෙන් ද, ගෝලීය වශයෙන් ද සම්මුතිවලට එළැඹිය යුතු බව පිළිගත් කාරණයකි. එහෙත් ශ්‍රී ලංකාව ගිවිසුම්වලට එළැඹීම ගැන රට තුළ ඇත්තේ වැරදි වැටහීමකි. අමෙරිකාව ශ්‍රී ලංකාවේ ඉඩම් පවරා ගැනීමට යන බව ද, ශ්‍රී ලංකාව තුළ යුද කඳවුරක් ස්ථාපිත කිරීමට යන බව ද ප්‍රචාරය වී ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාව සූරාකෑමට යන බව ද ප්‍රචාරය වී ඇත. මේවා පිළිබඳ පැහැදිලි වැටහීමක් මහජනයා තුළ නැත.

ශ්‍රී ලංකාව කෘෂිකර්මයෙන් පමණක් දියුණු කළ හැකි යැයි අදහසක් ඇතැම් නායකයන් තුළ පවා ති‍බේ. ස්වයංපෝෂිත ආර්ථිකය යන්න මේ වන විට ලෝක ආර්ථික සංවාදයෙන් බැහැර වී ඇත. කිසිදු රාජ්‍යයකට තමන්ගේ සම්පත්වලින් පමණක් ආර්ථිකය ස්ථාවර කරගත නො හැකි බව පෙනී ගොස් තිබේ. ලෝක වෙළෙඳාමට අනුබද්ධ රටවල් ඉදිරියට යන අතර සංවෘත ආර්ථික ප්‍රතිපත්ති ගෙන යන රටවල් සිය ජාතික ආර්ථිකය තවදුරටත් අඩාල කරගනිමින් සිටිති. මේ තත්ත්වය නායකයන් පමණක් නො ව; ජනතාව ද වටහාගත යුතුව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාවට බලවත් වගකීමක් පැවරෙයි. එම වගකීම නිවැරැදි ලෙස ඉටුවුවහොත් රටේ අනාගතය සුබදායක වනු ඇත. මේ වගකීම වන්නේ නිවැරැදි ආර්ථික දර්ශනයක් ඇති නායකයා කවුරුන්දැ’යි තෝරාගැනීම ය. එම තෝරාගැනීම කළ යුත්තේ සාර්ථක අධ්‍යයනයකින් පසුව යැයි අපට සිතේ.

නව අදහස දක්වන්න