හව්ති ප්‍රහාරය! | දිනමිණ

හව්ති ප්‍රහාරය!

සෞදි අරාබියේ තෙල් පරිශ්‍ර දෙකකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇත. ගිනි ගෙන දැවෙන තෙල් පරිශ්‍රයෙහි සංචිතවල තෙල් ධාරිතාව ලෝක තෙල් අවශ්‍යතාවෙන් සියයට එකක් ලෙස සැලකේ. සෞදිය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකරුවා වන අතර තෙල් සංචිතවල වැඩිම හිමිකරුවා ද වන්නේ ය. සෞදියේ තෙල් නිෂ්පාදනයට අදාළ තීන්දු හා තීරණ ලෝකයේ තෙල් වෙළෙඳාම කෙරෙහි ද, තෙල් මිල කෙරෙහි ද සෘජු ලෙස බලපායි. මේ අනුව තීරණය කළ හැක්කේ උක්ත ප්‍රහාරය නිත්‍ය ලෙසම තෙල් මිල කෙරෙහි ද, ගෝලීය ආර්ථිකය කෙරෙහි ද යම් බලපෑමක් සිදුකරනු ඇති බව ය.

තත්ත්වය පාලනය කර ඇති බවක් සෞදි රජය ප්‍රකාශ කරන අතර ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති යේමනයේ හව්ති බෙදුම්වාදී සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා දහයක් යොදාගත් බව ය. සෞදිය වෙත මීට පෙර ද ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති මුත් ඒවා මෙතරම් බලපෑම්කාරී වූයේ නැත. තෙල් සංචිතවලට පහරදීම සෞදි අරාබියට පමණක් නො ව; සමස්ත ලෝකයටම එල්ල කළ ප්‍රහාරයක් සේ සැලැකිය හැකි ය. බොරතෙල් යනු ආර්ථික දේහයේ හදගැස්ම යැයි කියනු ලැබේ. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ජීවත්ව සිටි කාලයේ ද සෞදියේ තෙල් පරිශ්‍රවලට ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රයත්න දැරිණි. එහෙත් කුමන හෝ දුර්වලතාවක් නිසා ප්‍රහාරය අසාර්ථක විය.

ශ්‍රී ලංකාවට මෙය දෙආකාරයකින් බලපාන්නට පුළුවන. පළමු ආකාරය වන්නේ තෙල් සැපයුම අඩුවීම නිසා බොරතෙල් බැරලයක මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම ය. තෙල් මිල අපේ ආර්ථිකයේ ද ප්‍රධාන සාධකයකි. එහි මිල ඉහළ ගියහොත්; භාණ්ඩ හා සේවාවල මිලද ඉහළ ගොස් ජනතාවගේ ජීවන බර තවත් වැඩිවන්නට පුළුවන. සංවර්ධනය අඩාළ වන්නටත් පුළුවන. දෙවන ආකාරය වන්නේ සෞදි තෙල් සමාගම්වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා පිළිබඳ අවදානමක් මේ ඔස්සේ ඇතිවන්නට ඉඩ තිබීමය. ඒ අනුව අපේ ශ්‍රමිකයන්ගේ රැකියාවල සුරක්ෂිතතාව අභියෝගයට ලක්වනු ඇත. එහි ප්‍රතිඵලය විය හැක්කේ අපේ විදේශ විනිමය ඉපැයීම් අර්බුදයට යෑම ය.

විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් සෞදියෙහි රැකියාවල නිරත වෙති. පිරිසක් තෙල් පරිශ්‍රවල වැඩ කරති. පිරිසක් ඊට අදාළ සමාගම්වල පරිපාලන, ගණකාධිකරණ, කළමනාකරණ, කාර්මික ආදී ක්ෂේත්‍රවල වැඩ කරති. තවත් පිරිසක් ගෘහ සේවිකාවෝ ලෙස සේවයේ යෙදෙති. මේ සෑම ශ්‍රමිකයකු හා වෘත්තිකයකු වෙත ම මුදල් කාන්දු වන්නේ තෙල් නිෂ්පාදනය ඔස්සේ ය. තෙල් ආදායමේ ඕනෑම චලනයක් ඉහත කී ක්ෂේත්‍ර කෙරෙහි බලපායි. සෞදියේ තෙල් සමාගම්වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සේම වෙනත් ක්ෂේත්‍රවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්ද අපට විශාල විදේශ විනිමයක් ලැබේ. එය අහිමි වුවහොත් අර්බුද ගණනාවකට මුහුණදීමට සිදු වනු ඇත.

ඉස්ලාම් රටවල් අතර මතුවී ඇති දේශපාලන ගැටලුව ද බලවත් රටවල් ඊට මැදිහත් වී ඇති ආකාරයද සිදුවීම් ගණනාවක් ඔස්සේ පැහැදිලි වෙයි. මීට අදාළ ගැටුම්වලට ඉතිහාසයක් ද තිබේ. ලෝකයේ දෙවන තෙල් නිෂ්පාදකයා වූ ඉරාකය අරාජික කිරීම, ලිබියාව අරාජික කිරීම, සිරියාවේ ගැටුම් ඇතිකිරීම, යේමනය අරාජික කිරීම, ඉරානය හුදෙකලා කිරීම, ඔසාමා බින් ලාඩන් ඝාතනය, ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඝාතනය කිරීම, තෙල් නෞකා දෙකකට පහරදීමේ සිදුවීම්ද ඉහත ක්‍රියාවලියේ කැපී පෙනෙන සන්ධිස්ථාන ලෙස සැලැකිය හැකි ය. එක අතෙකින් ත්‍රස්තවාදයේ නැඟීමට සහයෝගය දක්වන බලවත් රටවල් තව අතෙකින් තෙල් රටවල් අඩපණ කරති.

ඉහත සඳහන් දේශපාලන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව වැනි රටවලට බලපෑම් ඇතිකරයි. ඒ ආර්ථික හා දේශපාලන වශයෙනි. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සාකච්ඡා, සම්මන්ත්‍රණ බහුලව පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ද ඒවාට සහභාගී වෙයි. තවද විවිධ සම්මුති අස්සන් කරයි. එහෙත් ත්‍රස්තවාදය අවසන් වී නැත. ත්‍රස්ත ප්‍රහාරවල සූක්ෂමභාවයක් ද, දැඩි භාවයක්ද දකින්නට ලැබේ. විශේෂයෙන් ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් ‍ලෝකයට බලපෑමක් එල්ල කිරීමට ත්‍රස්ත සංවිධාන වෑයම් කරති. ත්‍රස්ත සංවිධානවල නායකයන් ඝාතනය කළ ද ත්‍රස්තවාදය අවසන් වන්නේ නැත. ලෝකය සාමකාමී තැනක් බවට පත්කිරීම සඳහා ත්‍රස්තවාදයට අදාළ හේතු - සාධක අවසන් කළ යුතුව තිබේ.

සෞදියේ අරම්කෝ නම් තෙල් සමාගමට අයත් ප්‍රධාන තෙල් පරිශ්‍ර දෙකට ප්‍රහාරයක් එල්ල කළ හව්ති සංවිධානය යේමනයේ වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින කණ්ඩ‍ායමකි. ප්‍රහාරයෙන් පසු ලෝක ජනමාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරන ඔව්හු ප්‍රහාරය සාර්ථක බව ද ඒ සඳහා ඩ්‍රෝන යානා දහයක් ‍යොදාගත් බවද කියා සිටියහ. යේමනය මීට දසකයකට පෙර සෞභාග්‍යමත් රාජ්‍යයකි. එහෙත් අද එහි දරුවෝ හාමතේ මිය යති. ඒ අතර දිනපතා අවි ගැටුම් සිදුවෙයි. මනුෂ්‍ය ඝාතනවල කෙළවරක් නැත. සිරියාව, ඇෆ්ඝනිස්ථානය, යේමනය, ඉරාකය, ලිබියාව අරාජික තත්ත්වයේ පවතින රටවල් හැටියට සැලැකිය හැකි ය. මේ තත්ත්වය අනෙකුත් ඉස්ලාම් රටවල් කෙරෙහි ද ව්‍යාප්ත වුවහොත් සිදුවන්නේ බලවත්ම විනාශයකි.

ඉහත ප්‍රහාරය නිසා තෙල් මිලෙහි තාවකාලික ඉහළ යෑමක් සිදුවිය හැකියැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මුළුමනින්ම තෙල් ආනයනය කරන රටක් වන ශ්‍රී ලංකාවට එය තදින් ම බලපෑ හැකිය. නායකයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතුව තිබේ. ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ සෞදියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවල සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවයි. රජය ඒ සම්බන්ධයෙන් සෞදි රජය සමඟ සාකච්ඡා කිරීම ඉතා වැදගත් ය.

 

නව අදහස දක්වන්න