ඉන්දි­යානු ණය ආධාර යටතේ පොලො­න්න­රු­වට නව දුම්රි­යක් | දිනමිණ

ඉන්දි­යානු ණය ආධාර යටතේ පොලො­න්න­රු­වට නව දුම්රි­යක්

 
 
 ඉන්දි­යා­වෙන් පසු­ගිය මාස 10ට දුම්රිය 5ක්-එංජින් 4ක්-වැගන් 15ක්
 
 
 

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ප්‍රවාහන සහ සිවිල් ගුවන් ඇමැති අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව දක්වා ධාවනය වන ‘පුලතිසි” ශීඝ්‍රගාමී දුම්රිය පසුගිය දා (11) සමාරම්භ කෙරිණ. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා සහ RITES Ltd හි අධ්‍යක්ෂ (තාක්ෂණ) මුකේෂ් රාතෝර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.

ඉන්දියානු ණය ආධාර ය‍ටතේ M/s RITES Ltd ආයතනය විසින් මේ දුම්රිය ශ්‍රී ලංකාවට ලබා දී ඇත. වායු සමීකරණය කළ මැදිරිවල සම්පූර්ණයෙන්ම කරකැවිය හැකි ආසන, ගමන අතරතුර රසාස්වාද පද්ධතියක් සහ නවීන ඇතුළත උපාංග වැනි ඉහළම තත්ත්වයේ මගී සුවපහසුකම් රැසක් මේ දුම්රියේ ඇතුළත් වේ.

පසුගිය මාස 10 තුළ, ඉන්දියාව දුම්රිය 5ක් (DMU), දුම්රිය එංජින් 4ක් සහ වැගන් 15ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. තවත් අමතර දුම්රියක්, දුම්රිය එංජින් 6ක් සහ වැගන් 35ක් ඉදිරි මාස 3 තුළ දී සහනදායී ණය ආධාර යටතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.

2017 මාර්තු මාසයේ දී, DMU 6ක් සහ දුම්රිය එංජින් 10ක් සැපයීම සඳහා M/s RITES Ltd ආයතනය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනා ගිවිසුමකට අත්සන් තැබිණ. පළමු දුම්රිය (DMU) සැලසුම් කළ කාලයටත් පෙර 2018 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ළඟා විය. DMU 5ක් සහ දුම්රිය එංජින් 4ක් දැනටමත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

මෙයට අමතරව, වැගන් 50ක් ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දෙනු ඇත. වැගන් 15ක් දැනටමත් භාර දී ඇත.

2017 ජූනි මාසයේ දී, ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය නඟා සිටුවීමට ණය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318ක් ලබා දීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීය. මේ ණය ආධාර ගිවිසුම යටතේ මගී දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීම (RITES Ltd ආයතනය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර අමෙරිකානු ඩොලර් මිලියන 83ක පමණ ගිවිසුමක් 2018 සැප්තැම්බර් මාසයේ දී අත්සන් කරන ලදි. මහව සිට ඕමන්ත දක්වා කිලෝ මීටර 130ක පමණ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම (IRCON Ltd සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර අමෙරිකානු ඩොලර් මිලියන 91ක පමණ ගිවිසුමක් 2019 ජූලි මස මැදදී අත්සන් කරන ලදි. මහව සිට අනුරාධපුරය දක්වා සංඥා සහ විදුලි සන්දේශ පද්ධතිය වැඩි දියුණු කිරීම සහ රත්මලාන දුම්රිය වැඩපොළක් ඉදිකිරීම යනාදී විවිධ ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

ඉන්දියාව මේ දක්වා ශ්‍රී ලංකා දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වටිනා ණය ආධාර ලබා දී ඇත. දශක කිහිපයක් පුරා පැවැති යුදමය වාතාවරණයෙන් අනතුරුව උතුර හා දකුණ යා කරමින් ප්‍රධාන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් දක්ෂිණ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලද්දේ ද ඉන්දියානු ණය ආධාර යටතේය. එසේම, ඉන්දියාව ශ්‍රී ලංකාවට දුම්රිය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ කුසලතා වර්ධනයට ද දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවන්ට අනුව දිවයින තුළ ජනතා කේන්ද්‍රීය සම්බන්ධීතා ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීමට ඉන්දියාව තව දුරටත් කැපවී සිටියි.

 

නව අදහස දක්වන්න