දේශපාලකයන් ජනතාව එක්ක සෙල්ලම් කරනවා | දිනමිණ

දේශපාලකයන් ජනතාව එක්ක සෙල්ලම් කරනවා

අන්තරය පෙරටුගාමි ශාඛාවක් නෙමෙයි
ප්‍රශ්නවලට උත්තරය සමාජවාදය
ලංකාවේ ආණ්ඩු ප්‍රතිකාර කළේ රෝග ලක්ෂණවලට
විරැකියාව ශ්‍රම කොල්ලයට භාවිත කරනව
ලෝකය සමාජවාදයට හැරෙමින් තියෙනවා
ජනපතිවරණයේදී සැබෑ ජනතා ප්‍රශ්න මතුකරනවා

දුමින්ද නාගමුව
ජනාධිපති අපේක්ෂක-පෙරටුගාමී සමාජවාදී පක්ෂය

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පසුගියදා දුමින්ද නාගමුව නම් කරනු ලැබුණි. ඉදිරි ජනාධිපතිවරණයේදී සාකච්ඡා විය යුතු සහ ජනතාවගේත් දේශපාලනඥයන්ගේත් කඩිනම් අවධානයට යොමු විය යුතු කරුණු මොනවාද? අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ ජනාධිපති ධූර අපේක්ෂකයන්ගෙන් පෙරටුගාමී පක්ෂයත් එහි අපේක්ෂකයාත් වෙනස් වන්නේ කෙසේද? රටේ පවතින ප්‍රශ්නවලට පෙරටුගාමින් යෝජනාකරන විසඳුම් මොනවාද? ආදිය එහා ඉවුරට එක්වෙමින් ඔහු මෙසේ පැහැදිලි කරයි.

* තීරණාත්මක ජනාධිපතිවරණයකට සමාජවාදය ඉදිරිපත් කළ, ඔ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඔබ. සමාජවාදය ක්‍රමයෙන් බැහැරවන වන අවස්ථාවක ඔබ පක්ෂයේ මතවාදයත් එක්ක ඉස්සරහට යන්න ප්‍රළුවන් ද?

පළමුවෙන් ම මම කියන්නේ ඔබගේ නිරීක්ෂණය වැරැදියි කියලයි. සමාජවාදය ගොඩනැඟීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක් උත්සාහ කළා. ඒ ආකාරයට ම ශ්‍රී ලංකාවෙත් උත්සාහයක් තිබුණා. 20 වැනි සියවස අවසානයේ සෝවියට් රුසියා සමූහ ආණ්ඩුවේ බිඳ වැටීමත් එක්ක පොදුවේ සමාජවාදයේ රාජ්‍ය ආධිපත්තිය බිඳ වැටුණා. නමුත් 2008 ඇමෙරිකාවෙන් මතුවුණ ආර්ථික අර්බුදය ලෝකය පුරාම පැතිරිලා ගියා. එතැනින් පස්සේ, නැවත වාමාංශික දේශපාලනයට, සමාජවාදී මතවාදයට ඉඩක් දෙමින් ඒ සඳහා වූ සංවිධානවලට ජනතා කැමැත්තක් ඇති වෙලා තියෙනවා. දැන් ලෝකය නැවත වතාවක් සමාජවාදය පැත්තට හැරෙමින් තිබෙනවා. ඊට හේතුව තමයි නව ලිබරල් ධනවාදයෙන් එහාට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් හඳුනාගන්නට නොහැකි වීමයි. ශ්‍රී ලංකාවේ නව ලිබරල් ධනවාදයට කුමක් හෝ ආර්ථික ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කරන්නේ 1977 අවුරුද්දේ. එතැනින් පස්සේ කිසිම ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න බැරි වෙලා තියෙනවා.

* සමාජවාදය ගැන කතා කරන වමේ පක්ෂ බොහොමයක් ශ්‍රී ලංකාවේ තිබුණත්, වසර 71ක් ගතවෙලත් රජයක් බිහි කරගන්න බැරිවුණේ ඇයි?

පසුගිය සියවස දෙස බැලුවොත්, සමාජවාදය සම්බන්ධයෙන් තිබුණේ අසාර්ථක උත්සාහයක්. අසාර්ථක වුණ තැනුත් තියෙනවා. ඔබ වගේ අය තෝමස් අල්වා එඩිසන්ගෙන් අහනවා බල්බය සොයා ගැනීමට නවසිය වරක් අසාර්ථක වුණා නේද කියලා. එතකොට ඔහු කියනවා නැහැ, බල්බයක් නිෂ්පාදනය කළ හැකි එක ක්‍රමයකුත්, නිෂ්පාදනය කළ නොහැකි ක්‍රම 900කුත් සොයා ගෙන තියෙනවා කියලා.

දැන් මමත් අහන්නේ පළවෙනි ගුවන් යානය ම ගුවන් ගත වුණා ද? නැහැ. මුල් ම සොයා ගැනීම් යම් යම් ප්‍රමාණවලින් අසාර්ථක වෙලා තියෙනවා. අපේ උත්සාහයත් ඒ වගේ. පසුගිය සියවසේ සිදුවුණ අඩුපාඩු හඳුනාගෙන ඉදිරි සියවස ජය ගැනීමට තමයි අපි උත්සාහ කරන්නේ. මේ රටේ කම්කරු පන්තිය, වෘත්තීයවේදීන් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ, ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ නිසා කවුරු හෝ සමාජවාදය ගැන තර්ක කරන ආකාරයෙන් මෙය තේරුම් ගැනීමට උත්සාහ කිරීම වැරැදියි. ඇත්ත වාමාංශික ව්‍යාපාරය තේරුම් ගන්න නම් ඔවුන්ගේ ක්‍රියා කලාපය තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනෑ.

* ඔබ කියන්නේ මෙරට පාලකයන් කම්කරුවන්ගේ සහ අනෙකුත් වැඩ කරන ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර දෙන්න අසමත් වුණා කියල ද?

පැහැදිලිව ම, වසර 71ක ලංකාවේ ධනේෂ්වර පාලනය කියන්නේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් වගේ. ළමයින්ට කිරි වීදුරුවක් දෙනවා. නෝනට මහන මැෂිමක් දෙනවා. තව කට්ටියක් සිංහල ජාතිය බේරගන්න ඕනෑ කියනවා. ඒ අයගේ පාලනය ධනවාදය කියලාවත් ඒ අය කියන්න කැමැති නෑ. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න ගැන ඉදිරි ජනාධිපතිවරණයකදී මතු කරනවා ඒක තමයි අපේ අරමුණ. එහෙම නැත්නම් ඒ දැවෙන ප්‍රශ්න පැත්තකින් තියලා තනි ප්‍රශ්නයක් ඉස්සරහට ගේන්න අනෙක් කණ්ඩායම් උත්සාහ ගන්නවා.

ඒ අය පසුගිය ජනාධිපතිවරණයේ දී කිව්වේ, විධායක ජනාධිපතිවරණයත් එක්ක මාසයක්වත් රට ඉස්සරහට ගෙනියන්න බැහැ කියලයි. තව කට්ටියක් කිව්වා වංචා දූෂණ නැවැත්තුවොත් බිලියන ගණන් මුදල් ඉතිරි වෙනවා, එහෙම වුණොත් පොහොර නිකන් දෙනවා කියලා. අද වෙනකොට ඒ මොකවත් වෙලා නැහැ. ඒ අය කරන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරනවා. අනෙක් පැත්තෙන් එක ප්‍රශ්නයකට දෙකකට මුළු සමාජ ප්‍රශ්නයම පටු කරනවා. ඒ නිසා අපට අවශ්‍යයි ජනතාවටත් අමතක ජනතා ප්‍රශ්න අපේ වේදිකාවල ඔසවා තබන්න. ජනතාවට එහෙම වෙන්නෙත් මේ තියෙන සමාජ ක්‍රමය. ඒ නිසා ඒකට තියෙන උත්තරය සමාජවාදය කියලත් අපි දකිනවා.

* අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයට මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරන සංවිධානයක්. ඔබ පක්ෂය ගොඩනැඟෙන්නේ ඒ හරහා. දේශපාලනය වෙනුවෙන් තම සංගමය පෙනී ඉන්නේ නෑ කියා ඒ සංවිධානයේ හිටපු කැඳවුම්කරු කිව්වා. හේතුව මොකක් ද?

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය කියන්නේ, අපේ පක්ෂයේ ශාඛාවක් නෙවෙයි. ඒක ශිෂ්‍ය ව්‍යාපාරයක්. ඒ සංගමයට ගොඩනඟා ගෙන තිබෙන විප්ලවාදී ශිෂ්‍ය සංගමය කියන ආයතනයක් හරහා අපි දේශපාලනය කරනවා. අපි ම විතරක් නෙවෙයි මේ දේ තවත් අය කරනවා. මේක පොදු මධ්‍යස්ථානයක්. එතැනදී කවුරුත් මැදිහත් වෙනවා. සමහර වෙලාවට ගැටලු ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කවුරු හරි එතැන ඉඳලා මතයක් ඉදිරිපත් කරනවා නම් ඊට උත්තර දෙන්න අපි ලෑස්තියි.

* ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සංහිඳියාව, සාමය කියන කාරණා 2015 වසරේ බලයට ආව රජය කතා කළා. වසර පහකට ආසන්න කාලයක් ගෙවීයන තැන ඔබ ඒ කාරණා දකින්නේ කොහොම ද?

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පවතින රජයට විශාල චෝදනාවක් තියෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය සහ පහරදී පැහැර ගැනීම, මාධ්‍ය ආයතනවලට පහර දීම, ක්‍රීඩකයින් ඝාතනය කිරීම වැනි සිද්ධීන්වලට ඉටු කළ යුක්තිය, සාධාරණය මොකක් ද කියලා ආණ්ඩුවෙන් අහන්න ඕනෑ. යුද්ධය නිසා පීඩාවට පත්වුණ ජනතාවට ඉටු කළ සාධාරණය මොනවා ද? අතුරුදන් වූ අයට කළ සාධාරණය මොකක් ද? දැන් ආණ්ඩුව කියනවා, සුදු වෑන් ආවේ නෑ, මාධ්‍යවේදීන් මැරුවේ නෑ කියලා. ඇත්තට ම ආණ්ඩුවක පළවෙනි අවුරුදු පහ මර්දනයට යොමුවෙනවා අඩුයි. දෙවැනි අවුරුදු පහේ තමයි මර්දනය ක්‍රියාත්මක කිරීමයි. මේක ඔළු දෙකේ ආණ්ඩුවක්. ඒ නිසා කඳ හරියට හසුරුවා ගන්න බෑ. තනි ආණ්ඩුවක් වුණා නම්, මේ ආණ්ඩුවේ කාර්යයභාර්ය බලාගන්න තිබුණා. ඔළු දෙකේ ආණ්ඩුවක් වෙලත් ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනාවා. ඒකෙන් ම පේනවා හරි බලයක් ලැබුණා නම්, කොයි තරම් මර්දනයක් ගෙන එයි ද කියලා.

* තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි සාධනීය කාරණාවලට රජය නම්‍යශීලී වුණා?

තොරතුරු දැන ගැනීමේ පනතේ පැහැදිලිව ම තොරතුරු ලබාදීමේ සීමා සලකුණු කරලා තියෙනවා. සමහර පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගැනීම අවහිර කරලා තියෙනවා. ඔය පනත තියෙද්දී තමයි සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ. ඒ ගිවිසුම අත්සන් කළ ආකාරය මොකක් ද කියලා කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. මේ පනතෙන් වෙලා තියෙන්නේ තොරතුරු ලබාදීමේ සීමාව සහ ලබා නොදෙන සීමාව ලකුණු කිරීමක්. කොමිෂන් සභා ගත්තොත්, ඒවායේ තියෙන ස්වාධීනත්වය බලන්න පුළුවන් පොලිසියේ ක්‍රියාකාරීත්වය දිහා බලලා. අපි 19 වැනි සංශෝධනයට විරුද්ධ වුණෙත් නැහැ පක්ෂ වුණෙත් නැහැ. එතැන ජනපතිවරයකුට තුන්වරක් ඉල්ලන්න බැරි බවට තියෙන සාධකයට අපි පක්ෂයි. නමුත් කියපු දේවල් බොහොමයක් එතැනින් ඉටු වෙලා නැහැ.

* රටේ රැකියා වියුක්තිය ඉහළ ගිහින්, විශ්වවිද්‍යාල ප්‍රජාවට ගැටලු රැසක් ඇතිවෙලා. 88, 89 න් පස්සේ තරුණ අසහන කමිටු දැම්මත් තරුණ ප්‍රශ්නය තවම තිබුණ තැනමයි මේ ප්‍රශ්න විසඳන්න පෙරටුගාමීන්ට පුළුවන්ද?

තරුණයින්ගේ ප්‍රශ්නය විසඳන්න මේ ආණ්ඩුවත් උත්සාහ කරලා නැහැ. සාමාන්‍යයෙන් අධ්‍යාපනයට ලබාදුන්න වියදම නැවත උරා ගන්න ආණ්ඩුව කල්පනා කරලා නැහැ. ඒකට වැඩපිළිවෙළක් නැහැ. රජය අහනවා රජයේ රස්සාම ද ඉල්ලන්නේ කියලා. එහෙ ම ඉල්ලන්නත් හේතුවක් තියෙනවා. රජයේ රස්සාවල තියෙන සුරක්ෂාව පෞද්ගලික අංශයේ තියෙනවා නම්, තරුණයින් රජයේ රස්සාවලට පොර කන්නේ නැහැ. විරැකියාව තියෙනකොට අඩු මිලට මිනිස්සු රස්සාවලට ගන්න රජයටත් පුළුවන්. ඔබ ඔබගේ ආයතනයේ අඩු වැටුපකට තියාගෙන ඉන්නේ ඔබ වගේ ම හැකියාවන් තියෙන අය එළියේ ඉන්න නිසයි.

එතකොට මේ විරැකියාව ශ්‍රමය කොල්ලකෑමට පාවිච්චි කරනවා. අපේ රටේ තරුණ පරම්පරාවට දැක්මක් ඇති කරන්න ප්‍රගතිශීලී සංස්කෘතික ප්‍රවාහයක් අවශ්‍යයි. පසුගාමී සමාජ ආකල්පවලින් අපේ තරුණයින්ගේ ඔළු පිරිලා. ජාතිවාදය කියන්නේ ඒ වගේ දෙයක්. මේ දේවලින් ඔළු පුරුවන්න පාලකයන් සමත් වෙලා. ඒ වගේම යුරෝපය දිහා බලා, ඒවට ආවඩන පිරිසක් තව පැත්තකින් ගොඩනඟනවා. නමුත් අපේ රටේ ඉතිහාසය සාධනීය ලෙස උරා ගන්න සංස්කෘතියක් ගොඩනඟන්නේ නැහැ. ඒ දේට තරුණ පරම්පරාවට මඟ පෙන්වීමක් නැහැ. අපි පක්ෂයක් විදිහට පැරැණි දේ උරා ගන්නත්, ධනවාදයෙන් ආපු සාධනීය දේවල් උරාගන්නත් උත්සාහ ගන්නවා.

* තිස් වසරක යුද්ධයක් පසුකරපු ශ්‍රී ලංකාවේ ඇති විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, ඔබේ පක්ෂය අනුගමනයකරන ක්‍රියා පිළිවෙත කුමක්ද?

අපි විශේෂයෙන් ම, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පොදු ස්ථාවරයක ඉන්නවා. අපි ජාතිවාදයට විරුද්ධයි. තිස් අවුරුදු යුද්ධයට මුහුණ දුන්නේ ජාතිවාදී දේශපාලනය අවුස්සපු දේශපාලකයෝ යි. අපි ජාතික පීඩනයට විරුද්ධයි. මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාවට විරුද්ධව එල්ල කරන පීඩාවට අපි කැමැති නැහැ. මේක කරන්නේ දේශපාලකයෝ . සාමාන්‍ය සිංහල, දෙමළ, මුසුලම් මිනිස්සුන්ට ජාතිවාදී වෙන්න ඕනෑ නැහැ. මෙතැනදී දේශපාලකයෝ තම දේශපාලනය ගොඩනඟා ගන්නේ ජාතිවාදය අවුස්සලා. මේක ජාතිවාදය කියලා බොහොම පැහැදිලියි . මේ රටේ පීඩිත සිංහල ජනතාවට ජාතිවාදය නවත්වන්න ඕනෑ නම්, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනෑ. බහුතර සිංහල පීඩිත ජනතාව කෙරේ විශ්වාසය තබලා මේ ප්‍රශ්නයට පිළියම් හොයන්න ඕනෑ කියලා මේ ජන කොටස්වලට අපි කියනවා. අපි මේ කාරණයට මැදිහත් වෙමින් ඉන්නවා. සමානාත්මතාවය මූලික කරගත් පාලනයකින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

* සමාජ ආර්ථික ප්‍රතිපත්ති බිඳ වැටිලා, ජාතීන් අතර සමඟිය නැති වෙලා, ජාතිවාදය කරළියට ඇවිල්ලා ආගම්වාදයත් මතුවෙලා කියලා බොහෝ වේදිකාවල කියැවෙනවා . එහෙම වෙලා නම් මහා සමාජය ඉන් ගලවා ගන්න තියෙන ක්‍රමය මොකක් ද?

අපි සමාජයක් විදිහට ආර්ථික ගැටලුවලට මුහුණ දෙනවා. ජාතික ආර්ථිකය වර්ධනය කරනවා කිව්වට, එහෙම වැඩි කරන්න අවශ්‍ය නැහැ. ජාතික ආර්ථිකය, ධනය වර්ධනය කරනවා කියන්නේ මොකක් ද? පවුල් 400ක් පමණ වර්ධනය කරන එක තමයි ඒ කරන්නේ. ඒ ආර්ථික ප්‍රශ්නය දැනෙන එක වහගන්න ජාතිවාදය අවුස්සනවා. මේ රට සිංහලයාගේ කියලා තියෙන ප්‍රතිලාභය මොකක් ද? අපි ඇත්ත ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ගොවියෝ නිසා සහ රස්සාවක් කරලා මුහුණ දෙන නිසා. අපිට තියෙන ඇත්ත ප්‍රශ්නය අමතක කරලා දේශපාලකයෝ ආගම්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඔය කොයි කවුරු ආණ්ඩු කරපු කාලෙත් රට ගිනිගත්තා. ඒ ගිනි ඇවිලුණාම ඡන්ද බෙදෙන විදිහක් තියෙනවා. ඒ ඡන්ද ටික ගන්න තමයි මේ වරත් ගිනිගත්තේ. මේ රටේ ජනතාවත් එක්ක මේ දේශපාලකයෝ සෙල්ලම් කරනවා. ජනතාවට ගිනි තියලා සංහිඳියාව කියලා වේදිකාවේ කෑ ගහනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලනය.

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න