ජනපති අපේක්ෂකගේ පුරවැසි ප්‍රශ්නය | දිනමිණ

ජනපති අපේක්ෂකගේ පුරවැසි ප්‍රශ්නය

රටේ සංවර්ධනය මුවාවෙන් සිදු වූ මහා පරිමාණ වංචා, දූෂණ ගැන කිසිවෙක් කිසිවක් කතා නොකළහ. ඒ සුදු වෑන්වලට තිබූ බිය නිසාය. රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන තම පරපුරේ බූදලයක් සේ සිතූ රාජපක්ෂවරු ඒවා සිත් සේ පාලනය කළහ. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නමට සීමා කළ ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි සියලුම අමාත්‍යාංශ පාලනය කළහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට කාලය එළඹෙමින් පවතී. ඒ සඳහා මේ වන විටත් අපේක්ෂකයන් තිදෙනකු නම්කර හමාරය. ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකු ශ්‍රී ලාංකික පුරවැසියකු නම්, වයස අවුරුදු තිහක් සම්පූර්ණ වී නම්, උසාවියක වරදකරුවකු වී නැත්නම් ඔහුට හෝ ඇයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකිය. එහෙත් ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂකයන් වෙනුවෙන් මේ වන විට ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව විශේෂ අවධානය යොමුකළ යුතුය.

2005 වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකා හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකි. මෙවර ජනාධිපති අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වන ඔහු ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගත් බව ප්‍රකාශ කළ ද ඒ සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර නැත. අමෙරිකාව වැනි රටක පුරවැසිභාවය ලබාගැනීමට මෙන් ම ඉවත් කර ගැනීමට ද පහසු නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ‍අමෙරිකාවේ නඩු කීපයක් ගොනු වී තිබෙන බැවින් පුරවැසිභාවය ඉවත්කර ගැනීමට තිබෙන ඉඩකඩ අවමය. එහෙත් ගෝඨාභය මහතා අමෙරිකා පුරවැසිභාවය ඉවත්කරගත්තා යැයි පවසන්නේ නම් ඊට අදාළ ලිඛිත සටහන් ඉදිරිපත් කළ යුතුය.

දීර්ඝ කාලයක් අමෙරිකාවේ පදිංචි වී සිටි ‍ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණියේ 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ ය. විදේශිකයකු ලෙස සංචාරක වීසා මත ලංකාවට පැමිණි ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රවර්ධන ක්‍රියාන්විතයේ නිරත වූයේය. සංචාරක වීසා මත ලංකාවට පැමිණි විදේශිකයකුට එ‍රටේ දේශපාලන ක්‍රියාවලියේ නිරතවීමේ හැකියාවක් ද නැත. එවැනි පුද්ගලයකුට තමා සංචාරය කරන රටේ දේශපාලන ක්‍රියාවලියේ යෙදීමට අවශ්‍ය නම්, ඒ සඳහා එරටේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් විශේෂ අවසරයක් ලබාගත යුතු ය. එහෙත් එවැනි අවසරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙතින් ලබාගෙන නැත. එවැනි තත්ත්වයක සිටියදී 2005 ජනාධිපතිවරණයේදී මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් තම බිරිඳ සමඟ ඡන්දය පාවිච්චි කළ ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස උල්ලංඝනය කර තිබේ.

ක්ෂණික පුරවැසිභාවය

විදෙස් සංචාරකයකු වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටේ ඡන්ද බලය හිමිවූයේ කෙසේද? එමෙන්ම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ විගසම කැබිනට් මණ්ඩලය පත්කිරීමටත් පෙර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණේ කෙසේද යන කරුණු ගැටලු සහගතය.

විදේශිකයකුට මෙරට පුරවැසිභාවය සතියකින් හෝ දෙකකින් ලබාගැනීමට නොහැකිය. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඇත. එහෙත් 2005 ජනාධිපති ජයග්‍රහණයෙන් පසු කැබිනට් මණ්ඩලය පත්කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහුගේ බලපෑම මත එම නීති විරෝධී කටයුතු සිදු වී තිබෙන බව පැහැදිලි ය.

එම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූ නිලධාරීන් කවුද? යම් විදේශිකයකුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදීමේ දී ‍නෛතික ක්‍රමවේදයට පරිබාහිරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කළේ කෙ‍සේද? ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු රාශියක් මතු වී තිබේ. නීත්‍යානුකූලව මෙරට පුරවැසිභාවය නොලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් රජයේ තනතුරක් දැරීම ද නීතියට පටහැනිය. නීත්‍යානුකූලව ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මෙරට ඡන්දය හිමි නාමලේඛනයට ඇතුළත් වූයේ කෙසේ ද? එසේ කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි.

එවැනි වංචා රාශියක් සිදුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේදී ද වංචනිකව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලාංකිකයකු වශයෙන් ජාතික හැඳුනුම්පතක් ද ලබාගෙන තිබුණි. නීතියට කොටු නොවී මෙවැනි දේ සිදු වූ ආකාරය විශ්මයජනකය. මේවාට උපකාර කළ නිලධාරීන් කවුද? ගෝඨාභය රාජපක්ෂ මහතා පිටුපස තවමත් තිබෙන දේශපාලන හස්තය කුමක්ද? මේවා කඩිනමින් පරීක්ෂා කළ යුතුය. රටේ පවතින නීතියට පටහැනිව ක්‍රියා කළ නිලධාරීන් ඇතුළු නීති විරෝධීව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ද නීතිය හමුවට ගෙන ආ යුතුය. මෙලෙස නීති විරෝධීව කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කළ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකත්වය ලබාගැනීම වෙනුවෙන් පාරිශුද්ධ කැපවීමක් කළා යැයි පුරසාරම් ද දොඩයි. සත්‍ය වශයෙන් ම ඔහු කර තිබෙන්නේ පාරිශුද්ධ කැප කිරීමක් නොව හොර මගඩි ක්‍රියාවකි. රටේ අනාගතය භාර ගැනීමට නම් යමකු වංචාවලින් තොර පුද්ගලයකු විය යුතු ය.

විදෙස් ගමන් බලපත

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදීමේදී කිසිවකු වංචනිකව සකසාගත් ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් නැත. එම ලියකියවිලි ගැටලුකාරී ඒවා බවට කොමසාරිස්වරයාගේ අවධානයට යොමුකිරීමට නම්, අදාළ තැනැත්තාගේ පුරවැසිභාවය වෙනුවෙන් තිබෙන ගැටලුව, වංචනිකව සකසාගත් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත පිළිබඳ ප්‍රශ්නය මතුකරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගත යුතු ය. ඒ සඳහා නීති විශාරදයන්, දේශපාලන විද්වතුන් හා උගතුන් පෙළගැසී යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් එය රටේ ජනතාව වෙනුවෙන් කරනා මෙහෙවරක් වනු ඇත. මේ වන විටත් විවිධ පාර්ශ්ව ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිටිනු දැකීම සතුටකි.

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාගැනීමේදී ශ්‍රී ලාංකික පුරවැසියකු වන බව සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හා ශ්‍රී ලංකා රජය මඟින් නිකුත් කළ විදෙස් ගමන් බලපත්‍රය කදිම සාක්ෂියක් බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා කල්තියාම කූට උපක්‍රම යොදා ඒවා සකස්කරගත් බව පැහැදිලි වේ. මෙවැනි වංචාකරුවන්ට හා ඒවාට උපකාර කළ පුද්ගලයන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීම නීතියට ගරු කරන, ප්‍රජාතාන්ත්‍රික රජයක වගකීමකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් විය හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියකුට පමණි. ද්විත්ව පුරවැසියකු හෝ විදේශිකයකු යම් මැතිවරණයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ද ඔහුගේ හෝ ඇයගේ පුරවැසිභාවය සම්බන්ධව ගැටලු මතු වී පූර්ණ ශ්‍රී ලාංකිකයකු නොවන බව ඔප්පු වුවහොත් එම තනතුර අහෝසිකිරීමට හැකියාව තිබේ. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පූර්ණ ශ්‍රී ලාංකිකයකු නොවී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් පසුව තනතුර අහිමිකිරීම මෑත ඉතිහාසයෙන් ගත හැකි උදාහරණයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධව හා නැඟෙන අපරාධ චෝදනා වෙනුවෙන් වෙනත් පාර්ශ්ව මැදිහත් වී පරීක්ෂණ කරනවාට වඩා තමන්ට නැඟී තිබෙන චෝදනා ඔහුම නිවැරැදි කර ගැනීම වටී. එ‍ෙහත් ඔහු මේ වනතුරුත් ද්විත්ව පුරවැසිභාවයඅහෝසි කරගත් බවට අදාළ ලියකියවිලි කිසිවක් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හෝ ‍වගකිවයුතු වෙනත් රාජ්‍ය අංශවලට ලබා දී නැත.

මීට පෙර නීති විරෝධී කටයුතු සිදුකර, නැවතත් එවැනිම වංචා හා විෂමතා සිදුකරමින් ඒවාට චෝදනා ලබා නඩු විභාග වන පුද්ගලයකු ඒවායින් නිර්දෝෂී නොවී ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන්නේ කවර සදාචාරයකින් ද යන්න පුදුම සහගතය. ඔහු විසින් සිදුකළ බව කියැවෙන ඇතැම් අපරාධ වෙනුවෙන් කැඳවූ නඩු වෙනුවෙන් පෙනී නොසිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවා ක්‍රියාත්මක කළ නිලධාරීන්ට ද තර්ජනය කරමින් මඟහැර ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයකුට වසර පහක ධුර කාලයක් හිමිවන අතර එම ධුරයට පත්වන තැනැත්තා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, රටේ නීතියට අවනත වන පුද්ගලයකු විය යුතුය. නීතිය, යුක්තිය, සාධාරණය පසෙකලා ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් තිබෙන ආඥාදායකයකු විධායක ජනාධිපති ධුරයට පත් වුවහොත් එය රටේත්, ජනතාව‍ගේත් අවාසනාවක් වනු ඇත. වසර පහක කාලයකට රටේත්, ජනතාවගේත් අනාගතය භාර දෙන නායකයා තෝරාපත්කර ගැනීමේදී මහජනතාවට සුවිශාල වගකීමක් තිබේ. මක්නිසාදයත් ජනාධිපතිවරයකු තෝරාපත්කර ගන්නේ මහජන ඡන්දයෙන් නිසාය.

රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගන්නා තැනැත්තා දේශපාලන වශයෙන් පළපුරුද්දක් ඇති අයකු වීම අතිශය වැදගත්ය. යම් දේශපාලන ව්‍යුහයක කටයුතු කළ තැනැත්තකුට ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් ලැබෙන අතර ජනතා අපේක්ෂා අවබෝධකර ගැනීමට ඔහුට එය උපකාරී වනු ඇත. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ගරු කරන, වාද විවාදවලට එකඟ වන, අන් අයගේ මතවලට සවන් දෙන හා ඒවා සම්බන්ධව අවධානය යොමුකරන අයකු වනවා පමණක් නොවේ, තමාට හිමි නිලය, බලය යොදා විරුද්ධවාදීන් මර්දනය නොකරන, රටේ ජනකොටස් වර්ගීකරණය නොකොට සැවොම එකම රටක පුරවැසියන් ලෙස සිතා කටයුතු කරන, අවංක, ආදර්ශවත් පුද්ගලයකු ද විය යුතුය. රටක කෙතරම් නීති-රීති තිබුණද රටේ නායකයා ඒවා කඩකර තම හිතුමතයට රට පාලනය කරයි නම්, එරටේ ජනතාව ද තම නායකයා අනුගමනය කරනු ඇත. එසේ වුවහොත් නීතිය බිඳ වැටී අසාධාරණය, අයුක්තිය රටේ රජයනු ඇත.

2020 ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන ගෝඨාභය මහතා ජනාධිපති හෝ අගමැති පදවිය නොමැතිව පසුගිය රජය සමයේ ක්‍රියාකළ ආකාරය සුළුකොට තැකිය නොහැකිය. යුද්ධයෙන් පසු යුද හමුදා නිලධාරීන්ට ඔහු සැලකූ ආකාරය නින්දිතය. කොළඹ නගර සංවර්ධනය භාරව කටයුතු කළ ගෝඨාභය මහතා ඒකාධිපතියකු‍ මෙන් හමුදා සෙබළුන් කම්කරු කාර්යයේ යෙදවූ ආකාරය පිළිකුල් සහගතය. ජාතියේ මුර දේවතාවුන් යන නමින් රටේ ජනතාවගේ අභිමානයට ලක්වූ රණවිරුවන් කොළඹ මංමාවත් හා කානු පිරිසිදු කිරීමටත්, උද්‍යාන පවිත්‍ර කිරීමටත්, කුණු ගඳ ගසන ඇළ මාර්ග පිරිසුදු කිරීමටත් යොදාගත් ආකාරය හෙළාදැකිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සිටියදී කළ ආකාරය ඒවාට මුහුණදුන් රණවිරුවන්ට තවමත් මතකය.

ඔහුගේ විධානයට එරෙහි වන්නට හෝ විවේචනය කරන්නට එකල කිසිවෙක් ඉදිරිපත් නොවූහ. යමෙක් එසේ කළේ නම්, ඔහු ඊට පසු දිනම අතුරුදහන් වෙනවාට කිසිදු සැකයක් නැත. ඔහුට හෝ ඔහුගේ පරපුරට විරුද්ධව කතා කරන හෝ ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකු රැගෙන යාමට සුදු වෑන් පැමිණෙනු ඇත.

ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසා බීමට වතුර ලබාදෙන ලෙස ඉල්ලා සිටි රතුපස්වල නිරායුධ ජනතාවට මැර කණ්ඩායම් යොදා පහර දී ඝාතන කළ ගෝඨාභය රාජපක්ෂ මහතා, හලාවත ධීවර ජනතාවට පහර දී එක් අයකු මරණයට පත් කිරීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. උද්ඝෝෂණයක නිරත වූ වැලිකඩ සිරකරුවන්ට වෙඩි තැබීමට අණ දුන්නේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ අද කිඹුල් කඳුළු හෙළන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉහත සිද්ධීන් තුනේදීම පහර දී මිනිස් ඝාතන සිදුකරන ලද්දේ උද්ඝෝෂණ කිරීම්වලදී බව අද අමතකය.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූයේ කොළඹ දැඩි ආරක්ෂක කලාපයකදී ය. එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටියේ ද ගෝඨාභය මහතාය. මාධ්‍යවේදී ශිවරාම් ඝාතනය කර පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට අමානුෂික ප්‍රහාර එල්ල කිරීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ මහතා සිටි බවට සැකයක් තිබේ. එපමණක් නොව මාධ්‍යවේදී එක්නැලිගොඩ තවමත් අතුරුදහන්ය. සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසක් දිවි බේරාගැනීමට රට හැර ගොසිනි. මේ සියලු මාධ්‍යවේදීන් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කළ අය වෙති. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම හා මත පළකිරීමේ අයිතිය ද උදුරාගත් රාජපක්ෂවරු එවැනි පුද්ගලයන් මර්දනය කිරීමට දෙවරක් සිතුවේ නැත. ඉහත අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට එදවස කිසිවකු ඉදිරිපත් නොවූයේ රාජපක්ෂවරුන්ට තිබූ භීතිය නිසාය.

රටේ සංවර්ධනය මුවාවෙන් සිදු වූ මහා පරිමාණ වංචා, දූෂණ වෙනුවෙන් කිසිවෙක් කිසිවක් කතා නොකළහ. ඒ සුදු වෑන්වලට තිබූ බිය නිසාය. රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන තම පරපුරේ බූදලයක් සේ සිතූ රාජපක්ෂවරු ඒවා සිත් සේ පාලනය කළහ. අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නමට සීමා කළ ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි සියලුම අමාත්‍යාංශ පාලනය කළහ. උසස්වීම්, රැකියා, රජයේ කොන්ත්‍රාත් ආදිය තමන්ට අවශ්‍ය පුද්ගලයන්ට පමණක් ලබාදුන් ඔවුහු රටේ පැවති සියලු පරිපාලන නීති උල්ලංඝනය කරමින් ඒකාධිපති පාලනයක් ගෙන ගියහ. ශ්‍රී ලංකාව පරම්පරා උරුමයක් ලෙස සැලකූ රාජපක්ෂවරු ‘රජ පෙළපත්’ නාම ආරූඪ කරගත්හ. එවන් මානසිකත්වයක හිඳ රට පාලනය කළ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණය, නීතිය අමතක කළහ. තමන්ට වාසි වන ආකාරයට නඩු තීන්දු ක්‍රියාත්මක නොකළ විනිසුරුවරුන් ඉවත් කළහ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එක් උදාහරණයකි.

හීනෙන් අවදිවීම

එවන් අතීතයක් හිමි රාජපක්ෂවරු අද හීනෙන් අවදිවූවන් සේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, යුක්තිය, සාධාරණය ගැන කතා කරති. රාජපක්ෂවරුන්ට වන්දිබට්ටකම් කරන සුළු පිරිසක් හැර අ‍නිකුත් සියලු දෙනාටම ඔවුන් කවුරුන්දැයි හොඳට මතකය.

මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති ධුරයට පත්විය නොහැකි තැන තම බලය ලබාගැනීමේ මෙහෙවරක යෙදෙන ඇතැම් පරපෝෂිත දේශපාලනඥයන් ගෝඨාභය දේශපාලන කරළියට කැන්දාගෙන ආහ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යාමට සිහින මවති. තමන් ඉදිරිපත් කරන නායකයා ගැන ඔවුන් කතා කරද්දී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, නීතිය, යුක්තිය රජකරවන, රටේ ආර්ථිකය සවිමත් කරන විශ්වකර්මයකු ලෙස හඳුන්වා දෙති. පරාජිත දේශපාලන වන්දිබට්ටයන් විසින් කිරෙන් නාවා, තෙලෙන් බදින කොබෙයියා රටේ සියලු නීති උල්ලංඝනය කළ වංචනික අයකු බව අමතක වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ වැනි අයකුගේ අතීත භූමිකාව නායකත්වයට සුදුසු නැත. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද සමයේ යුද හමුදා නිලධාරියකු සතු යුතුකම් හා වගකීම් පැහැර හැර තම දිවි බේරාගැනීමට හමුදාවෙන් ඉවත්ව අමෙරිකාවට පලා ගිය ගෝඨාභය මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 2005 වසරේදීය. යුද ක්‍රියාන්විතයේ රාජකාරි කිරීමට බිය වූ ඒ මහතා සහෝදරයාගේ ආණ්ඩුවේ කොළඹ සීත කාමරයකට වී යුද්ධයට අණ දුන්නේය.

එවන් පසුබිමක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රටේත්, ජනතාවගේත් ආරක්ෂාව අපේක්ෂා කළ හැකිද? ජනතාවගේ වගකීම් බාරගැනීමට ඔහු සුදුස්සකු නොවන බව අතීත ක්‍රියාකාරකම්වලින් පෙනී යන අතර 2005 වසරේ සිට සිදුකර තිබෙන වංචනික ක්‍රියා හා අපරාධ, දූෂණ සැලකිල්ලට ගත්කල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයකු වීමට සුදුස්සකු නොවනු ඇත.

බලය නැති දා උපාසකයකු සේ හැසිරෙන ‍ගෝඨාභය බලය තිබූ සමයේ ඔහු ක්‍රියාකළ ආකාරය යළි ආවර්ජනය කළ යුතුය. විධායක බලතල සහිත ජනාධිපතිවරයකුගේ සහෝදරයකු වී සියලු දේ තම අණසකට යටත්කරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විධායක බලතල තමා අතට පැමිණියහොත් සිදුවන දේ උපකල්පනය කිරීමටවත් අසීරුය.

සටහන-නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න