ඒකාධිපතියෙක් ඕනෑ ද? | දිනමිණ

ඒකාධිපතියෙක් ඕනෑ ද?

රටක් ගොඩනැංවීම සඳහා ඒකාධිපති බලයක් හෝ අර්ධ - ඒකාධිපති බලයක් හෝ අවශ්‍ය නැතැ’යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මේ අදහසෙහි වැදගත්කම පෙනී යන්නේ රටේ මුල්බැසගෙන ඇති දේශපාලන මිථ්‍යාවක් දෙස අවධානය යොමුකරන විට ය. එම දේශපාලන මිථ්‍යාව වන්නේ අසීමිත බලයක් ඇති සැර - පරුෂ නායකයකු නොමැතිව ශ්‍රී ලංකාව වැනි රටක් ගොඩනැඟිය නොහැකිය යන්න ය. රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව හා සංවර්ධනය ගොඩනැඟීමට බලය අසීමිත ලෙස පැවැතිය යුතු බවත්; එම බලය මුළුමනින් ම භාවිත කළ යුතු බවත් ඉන් කියැවෙයි.

රොබට් මුගාබේ අවසන් ගමන් ගොස් වැඩි කාලයක් නැත. ඔහු රාජ්‍ය බලය අතට ගන්නේ විප්ලවවාදියකු ලෙස ය. එවකට ඔහු සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් නො ව; ලෝකයේ සමස්ත කළු ජාතික ප්‍රජාවට ම වීරයකු විය. එහෙත් දීර්ඝ කාලයක් ඒ රට නායකයා වූ මුගාබේ කෙමෙන් ඒකාධිපතියකු බවට පත් විය. පවුල්වාදය, වර්ගවාදය, ආගම්වාදය පැතිර ගියේ ය. හොරකම, දූෂණය, වංචාව හා ප්‍රචණ්ඩත්වය ඉහ - වහා ගියේ ය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාලකයා උදුරාගත් අතර සංවර්ධනය බිංදුවට ම පහළ බැස්සේ ය. මුගාබේ පාලනය අවසන් වූයේ ජනතා විරෝධතා මැද ය. අද වන විට සිම්බාබ්වේ රාජ්‍යය උද්ධමනයෙන් ලෝක වාර්තාවක් තබා ඇති රටකි. රොබට් මුගාබේගේ ඒකාධිපති හා දූෂිත පාලනයෙන් රට නැත්තට ම නැති විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රට ගොඩනැංවීම නිය ම සංවර්ධනය බව ය. සංවර්ධනය විග්‍රහ කරන විචාරකයෝ මිනිස් නිදහස, ශීලාචාර සමාජය හා නීතියේ ආධිපත්‍යය යන සාධක ද ඊට එකතු කරති. දියුණු ම රාජ්‍යවල පුද්ගල නිදහස තහවුරු වී ඇත. නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක වෙයි. රටේ ආර්ථික පහසුකම් පොදු වේ සියලු දෙනාට ම භුක්ති විඳිය හැකි තත්ත්වයක් පවතී. ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුත්තේ ද පවුලකට, පන්තියකට හා ජාතියකට වැඩි වාසි සැලසෙන ආකාරයෙන් නොවේ. රට තුළ පමණක් නොව; රටේ දේශපාලන ව්‍යාපාර තුළ පවා ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ සමෘද්ධි නිලධාරීන් පන්දහසකට ස්ථිර පත්වීම් ලබාදුන් උත්සවයකදී ය. ආණ්ඩුව ජනතා සහන ලබාදීමේ දී කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කර තිබේ. අලුතින් ලක්ෂ හයකට සමෘද්ධි දීමනා ලබාදීමට පියවර ගැනීම ඒ අතර පවතින විශේෂ කාර්යයකි. සමෘද්ධිලාභීන් තෝරාගැනීමේ දී කිසිදු දේශපාලන භේදයක් නොසලකා සිටීම තවත් විශේෂයකි. සමෘද්ධිලාභීන් දේශපාලන ක්‍රියා සඳහා යොදවාගැනීම මුළුමනින්ම පාහේ නැවතී ඇත. එය යහපත් තත්ත්වයකි. සමෘද්ධි නිලධාරීන්ගේ රැකියාවල ස්ථිරභාවය පිළිබඳ ගැටලුවක් සැලැකිය යුතු කාලයක් තිස්සේ පැවැතිණි. පසුගිය ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දී තිබුණ ද ඒවා නිත්‍යානුකූල නොවන බව ප්‍රකාශ විය. මෙවර නිත්‍යානුකූල ස්ථිර පත්වීම් ලබා දී ඇති අතර ඒ මගින් සමෘද්ධි ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇතැ’යි විශ්වාස කළ හැකිය.

වික්‍රමසිංහ මහතා සිය කතාවේ දී හෙළිකළ තවත් වැදගත් අදහසක් වන්නේ; ආණ්ඩුව හා ආණ්ඩුවේ නායකයන් විවේචනය කිරීමේ සම්පූර්ණ නිදහස දැන් පවතින බව ය. ඊට නිදසුනක් දැක් වූ අගමැතිවරයා පෙන්වා දුන්නේ ගෙවී ගිය පොහොය දිනයේ දී ද ජනමාධ්‍ය ඔස්සේ තමන්ට බැණ වැදුණු බව ය. එහෙත් විවේචකයන් පසු පස සුදු වෑන් හඹා එන්නේ නැති බව ද දුරකථන ඇමැතුමක් ලබා දුනහොත්; සුවසැරිය ගිලන් රිය ගෙන්වාගත හැකි බව ද වික්‍රමසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ය. අගමැතිවරයාගේ අදහස මුළුමනින් ම පිළිගත හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුව ලබා දී ඇත. එය පැහැදිලි වෙනසකි. මේ තත්ත්වය නිවැරැදිව වටහාගැනීමට නම්; 2015 ට පෙර ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට අසුබ කාලයක් උදා වී තිබිණි. මාධ්‍යවේදීන් ඝාතනය ගැන ද, ඔවුනට පහරදීම් ගැන ද ඔවුන් අතුරුදන් වීම ගැන ද වාර්තා පිටරටවල පළ විය. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඒ ගැන දිගින් - දිගටම ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය. ලසන්ත ඝාතනය, කීත් නොයාර් ට පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, පත්‍රකලා සංගමයේ ප්‍රධාන ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාට මාරක ප්‍රහාරයක් එල්ලකොට කාණුවකට දමා යෑම, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම මේ සිද්ධි අතර ප්‍රධාන වෙයි. අදටත් මීට අදාළ නඩු විභාග කාර්ක්ෂමව ඉදිරියට යන බවක් පෙනෙන්නට නැත.

ඒකාධිපති පාලන ක්‍රමය තුළ රටට හිමි වූයේ කුමක් ද? විශාල විදේශීය ණය කන්දක් ඉතිරි විය. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය. ජනමාධ්‍ය නිදහස අහෝසි විය. පුද්ගල නිදහස අහෝසි විය. රටේ සංවර්ධනය පිළිබඳ බොරු සංඛ්‍යා ලේඛන දිගින් - දිගටම ඉදිරිපත් විය. මහ බැංකුව පවා පාලකයන්ගේ ගොදුරක් බවට පත් වූ බව පෙනී යයි. ශ්‍රී ලංකාව නැවතත් එබඳු යුගයක් කරා යා යුතුදැ’යි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. ඒකාධිපති බලයක් නැති වුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රටට විශාල සංවර්ධනයක් ලබා දී ඇත. එය යථාර්ථවාදී සංවර්ධනයකි. මාර්ග දෙකක් ඇත. එක මාර්ගයක ගියහොත් පවුල්වාදය තර කළ හැකි ය. අනෙක් මාර්ගයේ ගියහොත් ජනතා සහන ලබාගත හැකිය. තීන්දුව ජනතාව අතේ පවතී.

 

නව අදහස දක්වන්න