වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද..? | දිනමිණ

වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද..?

ෆවුස් මොහොමඩ්
පසුගිය වසරේ සම්මාන දිනු හසිත බෝයගොඩ

ශ්‍රී ලංකාවේ නොම්මර එකේ ජාතික සති අන්ත ඉංග්‍රීසි පුවත්පත ‘සන්ඩේ ඔබ්සර්වර්’ සමග මෙරට නොම්මර එකේ ජංගම දුරකතන ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් එකමුතුවෙන් පාසල් ක්‍රිකට් තරග බිමේ නොම්මර එකේ ක්‍රිකට් තරු තෝරන ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා‘ සම්මාන උළෙලේ 41 වැනි පියවර මේ මස 20 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉමහත් උනන්දුවෙන් හා ආසාවෙන් යුතුව බලා සිටින මේ සම්මාන උළෙල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරටුවට තට්ටු කිරීමට ලැබෙන කදිම අවස්ථාවකි. දශක 4ක් පුරා ජාතික කණ්ඩායමට කුසලතා සපිරි ක්‍රීඩකයන් හඳුන්වා දෙන ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙලට මෙවරත් මොබිටෙල් දායකත්වය ලැබෙන්නේ අඛණ්ඩව 12 වැනි වරටය.

වසර 1978/79 වකවානුවේ ආරම්භ කළ පළමු හා ගෞරවාන්විත ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල එදා මෙදා තුර බිහිකළ විශිෂ්ට තරු මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගෙන හමාරය. ඉන් ඇතැම් ක්‍රීඩකයන් වර්තමානයේදිත් ක්‍රිකට් පිටිය දීප්තිමත් කරමින් සිටී.

ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මංගල කුසලානය අතට ගත් රන්ජන් මඩුගල්ලේ වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තීරක වරයා ලෙස ජාත්‍යන්තර කීර්තිය දිනා සිටින්නේ වසර ගණනාවක් ජාතික පිලේ විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසුවය. අවසන් වරට පසුගිය වසරේදී ‘සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ත්‍රිත්ව විදුහලේ හසිත බෝයගොඩය.

එදා මෙදා තුර මේ උත්කර්ෂවත් සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයන් අතරින් දෙවතාවක්ම ඊට හිමිකම් කීමට සමත්වු විරල ක්‍රීඩකයෝ ද වෙති. පළමු වරට එවැනි භාග්‍යයක් ලැබුවේ 1996 එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංගය. අනතුරුව රොෂාන් මහනාම, තිලාන් සමරවීර, ළහිරු පීරිස්, භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක එම වාසනාව උදාකර ගත්හ. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඔවුන් ඉහළට ඔසවා තැබීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) දශක 4ක් පුරා සිදුකරන මේ දැවැන්ත මෙහෙයුමට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම දායකත්වය ලබාදෙන්නේ ජාතික කර්ත්‍යවයක වටිනාකම නිවැරැදිව අවබෝධ කරගනිමිනි. මේ උදාර කාර්යභාරයට උරදෙන තවත් පිරිසක් වන්නේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයයි.

කවුරුත් බලා සිටින්නේ මෙවර සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන එම විශිෂ්ටතමයා කවුරුන්දැයි බලා ගැනීමටය. ඉදිරි අනාගතයේදී ජාතික ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට සමත් තවත් විශිෂ්ට ක්‍රීඩකයකු රටට දායාද කරමින් එම මහඟු කර්ත්‍යවයට ඔබ්සර්වර්- මොබිටෙල් අත්වැල් බැඳ සිටී.

 

නව අදහස දක්වන්න