යුද්ධයේ දී ආබාධිත වූ හා මරණයට පත්වූ සිවිල් ආරක්ෂක භටයන්ට විශ්‍රාම වැටුප් | දිනමිණ

යුද්ධයේ දී ආබාධිත වූ හා මරණයට පත්වූ සිවිල් ආරක්ෂක භටයන්ට විශ්‍රාම වැටුප්

යුද්ධයේ දී ආබාධිත වූ හා මරණයට පත්වූ සිවිල් ආරක්ෂක බළකායේ භටයන් සඳහා වයස අවුරුදු 55 පිරීමෙන් පසු විශ්‍රාම වැටප් හිමිකම ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හා ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා මිහින්තලේ දී ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 13 වන දිනට යෙදෙන සිවිල් ආරක්ෂක බළකා දිනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පස්වන සංවත්සර සැමරුම් උළෙල වෙනුවෙන් අනුරාධපුර හා මිහින්තලේ දී වැඩසටහන් රාශියක් සංවිධාන කර තිබුණි. රට වෙනුවෙන් දිවි පිදූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් වෙනුවෙන් මිහින්තලේ රණවිරු ස්මාරකය අබියස දී එදින පුෂ්පෝපාහාර පිදීමට එක්වෙමින් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ බව පැවසුවේ ය.

වත්මන් රජය සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් රට වෙනුවෙන් කළ කැපවීම උදෙසා ඔවුන්ගේ පවුල්වල ස්ථාවරභාවය සඳහා පියවර රැසක් ගෙන ඇති බවද ඒ මහතා එහි දී අවධාරණය කළේ ය.

‘‘2019 දි ජනාධිපති තුමා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙනවා යුද්ධයේ දී මිය ගිය සියලු සිවිල් ආරක්ෂක භටයන් වෙනුවෙන් මෙන්ම ආබාධිත වූ භටයන් සම්බන්ධයෙන්. ඒ අය අවුරුදු පනස්පහෙන් පසුව විශ්‍රාම වැටුප් සහිත තත්ත්වයට පත් කරන්න කියලා.පසුගිය මැයි මාසේ 4 වැනි දින මොරටුවේ අපේ සිවිල් ආරක්ෂක බළකා නිවහන විවෘතකළ අවස්ථාවේදී ජනාධිපති තුමා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව මේ කටයුතු ඉදිරියේ දී සිද්ධ වෙනවා.‘‘ යනුවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් දිවිපිදූ සිවිල් ආරක්ෂක බළකා කාන්තාවන් 545 දෙනා වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීම මුලින්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අතින් සිදු විය.එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා මියගිය සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ ඉන් අනතුරුව ස්මාරකය අබියස මල් කළඹ පුදකළහ. විවිධ පළාත්වල මියගිය සාමාජිකයන් 52 දෙනෙකුගේ පවුල් වල ඥාතීන් එක්වූ එම පුෂ්පෝපහාර පිදිමේ උළෙල ඉතා අභිමානවත්ව පැවැත්විණි.අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙනුවෙන් උත්මාචාර පෙළපාළියක් ද සංවිධාන කර තිබිණි.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ඩී.සී. ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරීහු ද එක්වූහ.

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම

නව අදහස දක්වන්න