සංචාරක කර්මාන්තයේ අලුත් දොරටු | දිනමිණ

සංචාරක කර්මාන්තයේ අලුත් දොරටු

සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන නව වැඩසටහන් කීපයක් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හඳුන්වාදීමටද ශ්‍රී ලංකාව සූදානම්ය. එයින් එක වැඩසටහනක් නම් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා වෙළෙඳ පොළක් පැවැත්වීමයි. ලෝක රැකියාලාභීන් අතරින් සියයට 10 ක ප්‍රමාණයක් අයත්වන්නේ සංචාරක කර්මාන්තයට යැයි සංචාරක රැකියා වාර්තා කියයි. මේ ක්ෂේත්‍රයේ විවිධ වූ රැකියා අවස්ථා නිර්මාණ වෙමින් තිබේ.

මේ අවුරුද්දේ ලෝක සංචාරක දිනය තව දෙසතියකින් එනම් මේ මස 27 වැනි දින පැවැත්වේ. ශ්‍රී ලංකාව ද ඒ සඳහා 27 – 28 දෙදින වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වූ ලෝක සංචාරක සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ සත්කාරක රට ඉන්දියාවයි. ලෝක සංචාරක කර්මාන්තය ආර්ථික, සමාජික සහ සංස්කෘතික වර්ධනයට විශාල මෙහෙයක් ඉටු කරයි. එම නිසා ලෝක සංචාරක දිනයක් ලොව පුරා පවත්වා සංචාරක කර්මාන්තයේ වැදගත්කම ලොවට විදහා දැක්විය යුතුය යනුවෙන් ගත් තීරණය ක්‍රියාත්මක කරමින් ලෝක සංචාරක දිනයක් ප්‍රථමවරට පවත්වන ලද්දේ 1980 දීය. එදා සිට අද දක්වා සැම වසරකම සැප්තැම්බර් 27 දා සංචාරක දිනය ලෙස සලකමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

1980 ආරම්භක සංචාරක දිනයේ තේමාව වූයේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම සාමය සහ අවබෝධය වර්ධනයට සංචාරක කර්මාන්තයේ දායකත්වය යන්නයි.

විවිධ තේමා

1987 වනවිට ආර්ථික සංවර්ධනයේදී සංචාරක කර්මාන්තයේ දායකත්වය සහ වැදගත්කම ලෝකයටම පසක්ව තිබුණි. එහෙයින් 1987 සංචාරක දින තේමාව වූයේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය යන්නයි. නැවත වරක් 1992 දී ද තේමාව කර ගත්තේ ආර්ථික සහයෝගිතාවයි. 1997 තේමාව තුළින් රැකියා උත්පාදනයේදී සංචාරක කර්මාන්තයේ දායකත්වය විදහා දක්වනු ලැබීය. 2003 දී දිළිඳු බව තුරන් කිරීමේදී සංචාරක කර්මාන්තයේ අගය තේමාව කර ගන්නා ලදී. මෙවර 2019 තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ රැකියා; සියල්ලන්ටම අගනා අවස්ථා යන්න යි.

ලෝක සංචාරක දිනයක් ප්‍රකාශයට පත්කරමින් ආර්ථික සංවර්ධනය ප්‍රමුඛ සෙසු වටිනාකම් අවබෝධකර ගැනීමට ලෝක සංචාරක සංවිධානය 1980 දක්වා ප්‍රමාද වූ නමුත් ආර්ථික සංවර්ධනයේ ඉලක්ක කරා ළඟාවීමට සංචාරක කර්මාන්තය තුළ ඇති ශක්‍යතාව මුලින්ම අවබෝධ කරගත් රටක් වූයේ ශ්‍රී ලංකාවයි.

1965 – 1970 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන ඇමැතිවරයා මෙරට සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමේ පුරෝගාමි වූ දේශපාලනඥයායි. 1966 අංක 10 දරන පනත් මගින් ලංකා සංචාරක මණ්ඩලයත්, 1966 ලංකා හෝටල් සංස්ථා පනතත් 1968 සංචාරක සංවර්ධන පනතක් මගින් ලංකාවේ සංචාරක කර්මාන්තයේ හැඩරුව සකස් කරන ලද්දේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි. මීට පෙර තිබුණේ සංචාරක බියුරෝවක් පමණි.

එදා සිට වත්මන දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අඛණ්ඩව දියුණුවට පත්ව ඇත. රටට විදේශ විනිමය උත්පාදනයේදී එය ප්‍රධාන ආදායම් මාර්ගයකි. 2014 සිට 2018 දක්වා රජයේ ආදායම් සසඳා බලනවිට ඒ බව වඩාත් පැහැදිලි වේ. සිවිල් අරගල යුද ගැටුම් සමයේ සංචාරක පැමිණීම ඇතැම් වර්ෂයන්හි සියයට 43ක් තරම් දැවැන්ත පරිහානියට ලක්වුවද, 2014 දී 1, 527, 153 ක් වූ සංචාරක පැමිණීම 2018 දී 2,333796 දක්වා වැඩිව ඇත.

මෙවර සංචාරක දින තේමාව සංචාරක කර්මාන්තය සහ රැකියා අවස්ථා පිළිබඳවය. 2014 දී සංචාරක කර්මාන්තයේ ඍජු රැකියා අවස්ථා සංඛ්‍යාව 129790 ක් වුවත් 2018 දී එය 169,000 දක්වා වර්ධනයව තිබේ. වක්‍ර රැකියා ප්‍රමාණය 2014 දී 170000 ක් වුවත්, 2018 වනවිට වක්‍ර රැකියා ප්‍රමාණය 219484 ක් යැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

නවාතැන් පහසුකම් අතින් බලනවිට 2014 දී තිබුණේ ආයතන 2873 කි. මේ වනවිට එම සංඛ්‍යාව 3945 දක්වා වැඩි වී ඇත. 2014 දී වාර්තා වූ සංචාරක සාප්පු සංඛ්‍යාව 63 කි. 2018 දී එම සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගොස් ඇත. සංචාරක ප්‍රවාහන නියෝජිත සංඛ්‍යාව පසුගිය පස් වසර ඇතුළත 702 සිට 903 දක්වා වැඩිව තිබේ.

සංචාරකයන් ප්‍රධාන අරමුණු කීපයක් සඳහා සංචාරයේ යෙදේ. ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය වන්නේ ව්‍යාපාරික අරමුණු සඳහා කොපමණ සංඛ්‍යාවක් රට තුළට පැමිණියේද යන්නයි. ව්‍යාපාරික වශයෙන් පැමිණීම රටේ ව්‍යාපාරික සංවර්ධනයට හේතුවෙයි. 2015 වසරේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පැමිණි සංඛ්‍යාව 23323 කි. වසරින් වසර මේ සංඛ්‍යාව ඉහළ ගියේ ය. 2018 වනවිට සංචාරකයෝ 71,255 ක් ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණියහ.

තත්ත්වය මෙබඳු ලෙස ධනාත්මක වුවද, පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ආර්ථික තුවාල තවම හරිහැටි සුව වී නැත. ලොකුම තුවාලය සිදුවූයේ සංචාරක කර්මාන්තයටය.

2019 අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම 143587 කි. 2018 අගෝස්තු සංචාරක පැමිණීම 200559 කි. 2019 ජනවාරි අගෝස්තු කාල පරාසය තුළ සංචාරක පැමිණීම 1,267737 කි. එහෙත් 2018 ජනවාරි - ජූලි සංචාරක පැමිණීම 1582835 කි. පැමිණීමේ අඩුවීම මෙයින් පැහැදිලිය.

වැඩිම ආදායම

2019 අගෝස්තු මාසයේ සංචාරක ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 269.5 කි. එහෙත් ඊට වඩා වැඩි ආදායමක් ලෙස ඇ.ඩොලර් දස ලක්ෂ 376.1 ක් 2018 වසරේදී උපයාගත් බව මහ බැංකු වාර්තාවන්හි සඳහන්වේ. තවදුරටත් එම වාර්තා පවසන අන්දමට 2018 ජනවාරි - අගෝස්තු කාල පරාසය තුළ ඇ.ඩොලර් දසලක්ෂ 2971 ක විදේශ ඉපැයීම් ලැබුණ ද, 2018 ට සාපේක්ෂව 2019 දී එම කාලපරාසය තුළ ලබා ඇත්තේ ඇ.ඩොලර් දසලක්ෂ 2379 ක ආදායමකි. මෙයින් පැහැදිලි වන්නේ සංචාරක අංශයේ ආර්ථික තුවාල තවම හරිහැටි සුව වී නැති අන්දමයි. එහෙත් තුවාල සඳහා ප්‍රතිකාර රාශියක් අනුගමනය කර ඇත.

සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන නව වැඩසටහන් කීපයක් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හඳුන්වාදීමටද ශ්‍රී ලංකාව සූදානම්ය. එයින් එක වැඩසටහනක් නම් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා වෙළෙඳ පොළක් පැවැත්වීමයි. ලෝක රැකියාව අතරින් සියයට 10 ක් රැකියාලාභින් අයත්වන්නේ සංචාරක කර්මාන්තයට යැයි සංචාරක රැකියා වාර්තා කියයි. මේ ක්ෂේත්‍රයේ විවිධ වූ රැකියා අවස්ථා නිර්මාණ වෙමින් තිබේ. රැකියා වෙළෙඳ පොළ එම අවස්ථා විවර කර රැකියාවක දොරක් ද විවර කර දෙයි.

සංචාරක කර්මාන්තයට අවශ්‍ය පුරප්පාඩු පිරවීම බරපතළ ගැටලුවක් යැයි ක්ෂේත්‍රය තුළ කතාබහක් තිබුණි. එම අඩුපාඩුව මේ රැකියා වෙළෙඳපොළ අවස්ථාවෙන් මැකී යයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හෝටල සහ කළමනාකරණ ආයතනය, සංචාරක අමාත්‍යංශය එක්ව පවත්වන ලෝක සංචාරක දින සමරුව 27 හා 28 දෙදින කොළඹදී සහ අරුගම්බේහිදී පැවැත්වේ. රැකියා වෙළෙඳ පොළ පැවැත්වෙන්නේ කොළඹදීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මෙහෙයවීමෙන් සංචාරක කර්මාන්තය සහ සංවර්ධනය මැයෙන් වන සම්මන්ත්‍රණයක්ද 28 වන දින පැවැත්වේ. එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) නියෝජිත පිරිසක්ද ශ්‍රී ලංකාවේ උත්සවයනට සමගාමීව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔවුහු ආපදා කළමනාකරණ වැඩමුළුවකටද සහභාගි වෙති.

අරුගම්බේහිදී පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන අංගයක් වන්නේ රටවල් 40 කින් තරගකරුවන් 100කට අධික පිරිසක් සහභාගි වන අන්තර්ජාතික ජල ක්‍රීඩා (SURFING) තරගයයි. තරගකරුවන්ගේ පවුල් සාමාජිකයන් හා හිතමිතුරන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගිවන නිසා සංචාරකයන් ශ්‍රී ලංකාව දෙස ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට මෙම තරගය ඉවහල් වනු ඇත. මේ අවස්ථා ආවරණය කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය රාශියකින් නියෝජිතයෝද එක් වෙති. මේ අවස්ථාව ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වීම ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට හේතුවන ඇත.

ළඟ එන සීත සමය (WINTER) සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තු තැබිය හැකිය. ඒ සඳහා සියලු අංශ පෙළගැසෙමින් සිටිති. 2019 වර්ෂයේදී සංචාරකයන් දසලක්ෂ 2.1 ක පැමිණීමද, ඇ.ඩොලර් බිලියන 3.5 ආදායමක්ද ශ්‍රී ලංකාවේ සංචාරක අංශයන්හි අපේක්ෂාවයි.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සියැසින් දැක ගැනීමේ අවස්ථාවක් ද පසුගියදා හිමිකර ගත්හ.

ලෝන්ලි ප්ලැනට් ඉන්දියා, ටයිම්ස් ඔෆ් ඉන්දියා, ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්, නැෂනල් ජියොග්‍රැෆික් ඉන්ඩියා 1, මුම්බායි මැසෙන්ජර් නිව්ස් පේපර්, ඉන්ඩියන් එක්ස්ප්‍රස්, මහා රාෂ්ට්‍ර ටයිම්ස් ඔන්ලයින් සහ ලෝක්මාට් මීඩියා යන ඉන්දියා මාධ්‍ය ආයතන නියෝජිතයෝ ද ඒ අතර වූහ.

ලෝන්ලි ප්ලැනට් LONELY PLANET නියෝජිතයා ශ්‍රී ලංකාව ගැන පවසා ඇත්තේ සංචාරකයන්ට මෙතරම් ප්‍රියංකර කඳුකරයක් සහ මුහුදු වෙරළක් තවත් නැති බවයි. ලෝක සංචාරකයන්ට සිය චාරිකා සඳහා තෝරාගැනීමට සුදුසුම රට යැයි ශ්‍රී ලංකාවට වටිනා සහතිකයක් ප්‍රදානය කෙළේද ලෝන්ලි ප්ලැනට් සඟරාවේ ලිපියකි. පාස්කු ප්‍රහාරයෙන් පසුවද එම සඟරාව ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය යැයි ප්‍රකාශ කළාය.

සංචාරක කලාප

සංචාරක කර්මාන්තයට එරෙහිව ප්‍රකාශ කෙරෙන අදහස් ද ලොව පුරා පැතිරෙමින් තිබේ. සංචාරක කර්මාන්තය ඩිජිටල්කරණයට ලක්වෙමින් තිබෙන නිසා දිළිඳු හා තාක්ෂණික වශයෙන් පහත් මට්ටමක ඇති රටවල් ක්‍රමයෙන් කොන්වී යනු ඇතැයි තර්ක කරන්නෝ සිටිති. එසේම සංචාරක කර්මාන්තයට අනාගතයක් නැතැයි කියන්නෝද වෙති.

එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක සංවිධානය මේ මතවාද බැහැර කරයි. අනාගතයේ සංචාරක කර්මාන්තය තවතවත් දියුණුවන බව පවසන එම සංවිධානය තවදුරටත් පවසන්නේ 2030 වනතුරු වාර්ෂිකව සියයට 3.3 වේගයකින් එම කර්මාන්තය දියුණුවන බවයි. එසේම 2030 වනවිට එම වසරේ සංචාරයනට එක්වන පිරිස බිලියන 1.8 ක ජනකායකැයි කියයි.

ලොව සැම කලාපයකම සංචාරක කලාප දියුණුවන නමුත් ආසියා. අප්‍රිකා හා මැදපෙරදිග පිබිදෙන ආර්ථිකයන් සහිත රටවල සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණුවන බවද එම සංවිධානයේ අදහසයි. 2027 වනවිට ලෝක සංචාරක කර්මාන්තයේ වාර්ෂික අගය ඇ.ඩොලර් ට්‍රිලියන 11ක් ලෙස “තක්සේරු කරන” ලෝක සංචාරක සංවිධානය ආසියා පැසිපික් කලාපීය ගුවන් සේවාවනට ගුවන් මගී වෙළෙඳ පොළෙන් සියයට 35ක කොටසක් හිමිවන බව කියයි. යුරෝපීය ගුවන් සමාගම්වලට හිමිවන්නේ සියයට 26 ක ගුවන් මගී වෙළෙඳ පොළකි. අප්‍රිකානු ගුවන් සේවාවනට සියයට 2 කි.

2036 වනවිට වැඩියෙන්ම සංචාරය සඳහා උනන්දුවන්නේ චීන ජනතාවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය බිලියන 1.4 ත් බිලියන 1.6 අතරය. දෙවැනි ස්ථානය අමෙරිකා එක්සත් ජනපදයයි. තෙවන ස්ථානය ඉන්දියාවයි.

මෙසේ සංචරණය වැඩිවීමට එක් හේතුවක් වන්නේ ආදායම් මට්ටම උසස්වීමයි. රූපවාහිනිය, සමාජ මාධ්‍ය, ඔන්ලයින් ප්‍රචාරණය, ඔන්ලයින් පහසුකම් වැඩිවීමද මෙයට තවත් හේතුවකි. එසේම උපන් රටින් වෙන්ව වෙනත් රටක දිවිගෙවීමද සංචරණය වැඩිවීමට තවත් හේතුවකි.

වැඩිවන සංචාරක හෝටල්, ගමනාගමනය දියුණුවීම, රජයයන් විසින් ගෙනයන ප්‍රවර්ධන වැඩිවීම, යන කරුණු ද තවත් හේතුන් යැයි ලෝක සංචාරක සංවිධානය කියයි.

ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරුවීමද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හේතුවකි. ගුවන් ගමන්හි යෙදීම අද වනවිට ඉතා ආරක්ෂාකාරි ගමනාගමනයකි. දිනපතා ගුවන්ගමන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලොව පුරා ක්‍රියාත්මකය. අද වනවිට ගුවන් ගමන් අනාරක්ෂිත වන්නේ කලාතුරකින් යැයි ඉකොනොමිස්ට් මාධ්‍යය ජාලය පවසයි. අන්තර් ජාතික ගුවන් ගමන් සංවිධානය (IATA) 2018 ජනවාරියේදී මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, සිංගප්පූරුව , මලයාසියාව සහ තායිලන්තය යන රටවල් සසඳන විට තව තවත් සංචාරකයන් ආකර්ෂණය කරගත යුතුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාවද ඒ බව සඳහන් කරයි. එසේම වියට්නාමය, මියන්මාරය, ඉන්දුනිසියාව යන නවතම තරගකරුවන් පිරිසක්ද දැන තරග බිමට පිවිස සිටිති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ

වෙළෙඳ පොළ ගනුදෙනු දවස් හතරකට සීමා විය. සැප්තැම්බර් 06 වන සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5798 කි. එහෙත් සැප්තැම්බර් 12 වනදා ගනුදෙනු අවසන් වනවිට එම දර්ශකය ඒකක 5825 දක්වා වර්ධනය විය.

සතියේ පිරිවැටුමට වඩාත් දායක වූයේ ජේ.කේ.එච්., කෝල්ඩ් ස්ටොර්ස්, ඩයලොග් සහ එල්.ඕ.එල්.සී.(LOLC) සමාගම්ය. මෙතෙක් මිල ඉහළ යමින් තිබූ ඇක්සස් සහ BIL මිල සති අගදී පහළ වැටුණි. එයට හේතුව ලාභ ඉවත් කර ගැනීම සඳහා විකිණීම් වැඩිවීම ය. බ්‍රොකර් වාර්තා අවවාදය දීර්ඝ කාලීන ආයෝජනය සඳහා සුදුසු කොටස් සඳහා ය.

සැප්තැම්බර් 12 ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා වාර්තාවට අනුව සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 526 කි. පෙර සතියේ රුපියල් දසලක්ෂ 645 කි. වසරකට පෙර දසලක්ෂ 879 කි.

කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට වැඩසටහන යටතේ තිස්සමහරාමයේදී පවත්වන ලද ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක වී යැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ කියයි.

ප්‍රවර්ධන වැඩසටහනට ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් 200ක් පමණ සහභාගි වී ඇත. මීට පෙර මාතර, අනුරාධපුර , ඇඹිලිපිටිය, යාපනය, කුරුණෑගල සහ මඩකළපුවේදි පවත්වන ලද ප්‍රවර්ධන වැඩසටහන්ද සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.

මීළඟ ප්‍රවර්ධන වැඩසටහන පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය. විවිධ දේශනා, සාකච්ඡා සහ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මේ වැඩසටහන මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳ අධ්‍යාපනික වැදගත්කමකින්ද යුතු බැවින් උසස් අධ්‍යාපනය ලබන සිසුනටද ප්‍රයෝජනවත්ය.

 

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න