නෙළුම් කුලුන! | දිනමිණ

නෙළුම් කුලුන!

නෙළුම් කුලුන විවෘත විය. එය ශ්‍රීලංකා ආර්ථිකයේ සුවිශේෂී කඩඉමක් සේ සැලැකිය හැකි ය. දකුණු ආසියාවේ ඇති උසම කුලුන ලෙස ද එය හැඳින් වේ. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති මේ ස්ථානය ආදායම් ගලා එන සාධකයක් බවට පරිවර්තනය කරගත යුතුව තිබේ. රටේ සන්නිවේදන ක්ෂේත්‍රයට ද නෙළුම් කුලුන ඔස්සේ අලුත් ගැම්මක් ලැබෙනු ඇත. රටක් ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා අලුත් පහසුකම් හා අලුත් අංගෝපාංග එකතුකරගත යුතු ය. එය නවීකරණය ලෙස හැඳින් වේ. රටේ ප්‍රධාන වෙළෙඳ නගරය තුළ දකුණු ආසියාවේ කැපී පෙනෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හැකිවීම අපේ ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙළුම් කුලුන ජනතා අයිතියට පවරමින් කළ කතාව කෙරෙහි කාගේත් අවධානය යොමු වී ඇත. එම කතාවේ හරය ගතහොත්; කුලුන සුන්දර ය. එහෙත් එය පවත්වාගෙන යෑම අභියෝගාත්මක ය. ජනාධිපතිවරයාගේ කතාවට අනුව කුලුනට අදාළ ඉතිරි වැඩකොටස් සම්පූර්ණ කිරීම සඳහා තවත් රුපියල් කෝටි තුන්සියයක් වැය කළ යුතුය. ඒ හැරෙන්නට වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය හතළිහ ගණනේ ණය ගෙවිය යුතුය. ඉදිරි වසර දහයක කාලය තුළ එලෙස ණය ගෙවීම සිදුවිය යුතුව තිබේ. තවත් වි‍ශේෂ කාරණයක් වන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ගෙවීම් සිදුකිරීමේදී රුපියල් කෝටි දෙසීයක වංචාවක් සිදුවී තිබීමය.

නෙළුම් කුලුනෙහි ඉදිකිරිම්වල මූලික කටයුතු පටන් ගත්තේ 2012 දීය. එවකට ජනතාව අතර ප්‍රචාරය වූ අදහසක් වූයේ චීන ආධාර මත කුලුන ඉදිවන බව ය. මේ ප්‍රචාරයෙහි ඉලක්කය වන්නට ඇත්තේ චීනය හා මහින්ද රාජපක්ෂ පාලනය අතර පවත්නා මිත්‍රත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීම විය හැකි ය. එහෙත් චීනයෙන් ලබා දී ඇත්තේ පොලී සහිත ණය මුදලකි. මුළු ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන දහනමයක් වන අතර රුපියල් බිලියන දොළහක් මේ වන විට ලබා දී ඇත. ඉතිරි ණය මුදල අත්හිටුවා ඇත්තේ මේ ක්‍රියාවලිය තුළ සිදු වී ඇති අක්‍රමිකතාවක් නිසා බව සඳහන් වී ඇත. පසුගිය ආණ්ඩුවේ බලධරයන් ඉහත අක්‍රමිකතාවට වගකිවයුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

චීනයේ එක්සිම් බැංකුව ණය මුදල නිකුත් කර ඇති අතර ඉදිකිරීම් සඳහා පාර්ශ්ව තුනක ගිවිසුමක් අස්සන් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ විදුලි සන්දේශ නියාමන කොමිසම හා චීනයේ ආයතන දෙකකි. මේ ආයතන දෙකෙන් එකක් මේ වනවිට අතුරුදන් වී ඇත. ආයතනයේ ලිපිනය පවා ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළිදරව් වී ඇත. රුපියල් කෝටි දෙසීයක් අතුරුදන් වන්නේ ඉහත කී ව්‍යාජ සමාගම නිසා ය. සුනාමි ආධාර සම්බන්ධයෙන් ද මෙබඳුම සිද්ධියක් පිළිබඳ විවේචන ඉදිරිපත් විය. ඊට ද වගකිව යුත්තේ පැවැති ආණ්ඩුවේ බලධරයන් බව කිවයුතු ය. එක අතෙකින් මහා පරිමාණ ඉදිකිරීම් සිදුවන අතර තව අතෙකින් මහා පරිමාණ දූෂණ සිදු වෙයි. මේ අනුව රටක් ගොඩනැඟීම සිදුවන්නේ කෙසේ ද?

අප්‍රිකාවේ දුප්පත් රටවල් ගණනාවක සාගතය වැළැක්වීම සඳහා ලෝක සංවිධාන ගණනාවක් ආධාර ලබා දුන්නේ ය. කලාකරුවන් සංදර්ශන පවත්වා ඒවායින් ලැබුණු මුදල් අප්‍රිකානු රටවලට ලබා දුන් අවස්ථා ද තිබිණි. එහෙත් වසර ගණනාවකට පසු කරන ලද විපරම්වලදී හෙළිදරව් වූයේ එකී ආධාර මුදල් නිසි අයුරින් භාවිත කර නැති බව ය. ඇතැම් නායකයන් තමන්ගේ මන්දිර හා උද්‍යාන ඉදිකිරීම සඳහා ඉහත කී ආධාර මුදල් යොදාගෙන තිබිණි. ආධාර මුදල් ගසාකෑමටත් වැඩි බරපතළ තත්වයක් ලෙස ණය මුදල් ගසාකෑම හැඳින්විය හැකි ය. එලෙස ගසා කන මුදල් නැවත ජනතා මුදලින් ආපසු ගෙවිය යුතුව තිබේ. ඒ පොලියත් සමඟය. ඇතැම් දේශපාලකයන් කතාවෙන් සුන්දර ලෝකයක් ජනතාව හමුවේ මවන අතර ක්‍රියාවෙන් ජනතාව අපායට තල්ලු කරන බව පෙනී යයි.

රටක් සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතා ලැයිස්තුවක් තිබිය යුතු ය. අලුත් වරායවල්, අලුත් ගුවන්තොටුපොළවල් පමණක් නො ව; අධිවේගී මාර්ග පවා ඉදිවිය යුත්තේ රටක ආර්ථික ක්‍රියාවලියේ අවශ්‍යතාවලට අනුව ය. භාවිතයට ගත නොහැකි ක්‍රිකට් පිටි, භාවිතයට නොගන්නා සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් ජනතාවට ලැබෙන දෙයක් නැත. දේශපාලකයන්ගේ ප්‍රතිරූප නැංවීම සඳහා රුපියල් කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කිරීම ජාතික අපරාධයකි. එබඳු ජාතික අපරාධයක් නෙළුම් කුලුන ඉදිකිරීමේ දී ද සිදුවී ඇති බව පැහැදිලිය. මේවා පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කළ යුතුව තිබේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඉහත කී මගඩිය සම්බන්ධයෙන් වහා ම පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතු බව ය. වංචා කර ඇති බිලියන දෙකක මුදල දෙස බලන විට රටේ සමස්ත ජනතාව එය ගෙවීම සඳහා තමන් උපයන මුදලින් රුපියල් දහස බැගින් වෙන් කළ යුතු බව ද අමාත්‍යවරයා කියා සිටී. රටේ සංවර්ධන ක්‍රියාවලිය, විදේශ ණය හා කොන්ත්‍රාත් අතර සිදුවී ඇති බරපතළ වංචා හා දූෂණ ගැන දේශපාලකයන් ගණාවකට චෝදනා එල්ල වී ඇත. කෙනකුට නඩු පවරා ඇතත්; නඩු විභාග මන්දගාමී ය. ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පරිපූර්ණ නැති බැවින් නඩු පැවරීම කල්යයි. හොරු ඇල්ලීමත්, හොරුන්ට දඬුවම් දීමත් සිදුවන්නේ වේදිකා තුළ පමණි.

නෙළුම් කුලුන සුන්දර යි; එලෙසම අභියෝගාත්මකයි! ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කෙරෙහි කාගේත් අවධානය යොමු කිරීම වටී. කුලුනෙහි ඉදිරි වැඩකටයුතු සම්පූර්ණ කළ යුතු ය. එය ආදායම් උපදවන ස්ථානයක් බවටද පරිවර්තනය කර ගත යුතු ය. නෙළුම් කුලුනෙහි අවට ප්‍රදේශය දෙස බලන විට පෙනීයන්නේ සංචාරක ආකර්ෂණය සඳහා ඒ අවට ප්‍රදේශය ද නැවත සකස් කළ යුතු බව ය. මීට අදාළ කළමනාකරණය රාජ්‍ය සමාගමක් පිහිටුවා ඊට භාර කිරීමට යන බව ද වාර්තා වී ඇත. එය බුද්ධිමත් තීරණයක් වන්නා සේම ඊට සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ද අභියෝගයක් වනු ඇත. මක්නිසාද යත්; තවත් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් මේ ඔස්සේ බිහිවිය හැකි බැවිනි.

 

නව අදහස දක්වන්න