ගමන නිවැරැදි නම් ක්‍රීඩාව සල්ලි උල්පතක් | දිනමිණ

ගමන නිවැරැදි නම් ක්‍රීඩාව සල්ලි උල්පතක්

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩාවෙන් මානසික හා කායික ශක්තිය ඉහළ නංවන උසස් පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයකු බිහිකරන්නා සේම, එය නිවැරදිව වෘත්තිය මට්ටමට ඔසවා තබාගත හැකි නම් එක දිගට ගලා එන මහා ධන උල්පතක් බවට පරිවර්තනයවීම කිසිවෙකුට හෝ වළක්වන්නට නොහැකිය. ඒ සඳහා විශාල කැපවීමක් කළ යුතු අතර දැඩි ප්‍රතිපත්තියක් හා විනයවත් පසුබිමක පිහිටා ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය වේ. එවැනි ගමන් මගකින් පසුව වෘත්තීය මට්ටමට පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාජයේ ඉහළ ගෞරවයක් ලබන පුද්ගලයන්වන අතර මුලු ජීවිත කාලයටම ඇති තරම් මහා ධනවතකු බවට පත්වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා 68ක් ලියාපදිංචිවී තිබුණද, කීර්තිය හා ධනය සොයා ගැනීමට නම් බොහෝ අය කල්පනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමය. ඒ සඳහා පාසල් කාලයේ සිට දරුවන් ඉහළට ඔසවා තැබීමට මවුපියන් මෙන්ම පුහුණුකරුවන්ද විශාල උනන්දුවකින් කටයුතු කරති. ක්‍රිකට්, රගර් හැර වෙනත් කිසිදු ක්‍රීඩාවකින් රැකියාවක් හෝ උසස් ජීවන තත්ත්වයක් ඇතිකර ගැනීමට නොහැකිය යන මතය සමාජයේ සෑම තැනකම පැතිර ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවේ දියුණුවට එය යම් බලපෑමක් ඇති කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ බහුතර මතය එය වුවද ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයන් අතර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉහළ ස්ථානයක් හිමිවී නොමැත. ලෝක ක්‍රීඩක ආදායම් පිළිබඳ දත්තයන් අනුව ලොව ඉහළම ධනවතුන් බිහිවී ඇත්තේ පාපන්දු, බොක්සිං, ටෙනිස් හා ගොල්ෆ් ආදී ක්‍රීඩාවලිනි.

එම ක්‍රීඩාවල අති දක්ෂයන් ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස හැඳින්වෙන අතර ඔවුහු ක්‍රීඩාවෙන් මුදල් උපයා සදාකාලික ධනවතුන් බවට පත්ව සිටිති. තරගකාරී ක්‍රීඩා රටාව හේතුවෙන් නියෝජනය කරන රටෙන් හෝ ක්‍රීඩා සමාජයෙන් ඉහළ දමා ගන්නා වැටුප්, තරග ජයග්‍රහණවලින් ලැබෙන තෑගි මුදල්, වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් මගින් උපයන ආදායම් හා රූපවාහිනී කොන්ත්‍රාත්තු මගින් ලැබෙන ආදායම් මේ ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සල්ලි මල්ලට වැටේ. ඒවා මිලියන, බිලියන තරමින් අහසට උසට නගින මුදල් කන්දරාවක්වීම මෙහි ඇති විශේෂත්වය වේ.

ලෝකයේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආදායම් තත්ත්වය ඉතා සූක්ෂම ලෙස සොයා බැලීම සම්බන්ධව අමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව ඉදිරියෙන්ම සිටී. ෆෝබ්ස් සඟරාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආදායම් තත්ත්වය පිළිබඳ හෙළිකළ ‘ඕපාදූපයක්’ බොහෝවිට අභියෝගයට ලක්ව නොමැති හෙයින් එහි විශ්වසනීයත්වය ලොව පුරා තහවුරුවී ඇත.

ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයා ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී වන අතර ඔහුගේ වාර්සික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 127කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 229.870ක් තරම් අති විශාල මුදල් කන්දරාවකි. මෙසී වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස මේ වසරේ වැටුප් හා ත්‍යාග මුදල් ලෙස පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 92ක් (රුපියල් බිලියන 166.520ක්) හා අනුග්‍රාහකත්ව ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 35ක් (රුපියල් මිලියන 633.50ක්) උපයා ගැනීමට සමත් වූවේය. ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ක්‍රීඩක මෙසී වසර 2009 සිට 2014 දක්වා කාලය තුළ අවස්ථා 5කදී ලොව වැඩිම ධනවත් ක්‍රීඩකයා බවට පත්විය. මෙසීගේ දක්ෂතාව හේතුවෙන් ‘ඇඩිඩාස්’ පාවාහන් ආයතනය වෙළෙඳ ප්‍රවර්ධන සම්මාන තානාපති ලෙස පත්කොට ගෙන වාර්ෂිකව විශාල මුදලක් ගෙවමින් සිටී. මේ වසරේ ලෝකයේ ධනවත්ම දෙවැනි ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේද පාපන්දු ක්‍රීඩකයෙකි. ඒ වාර්තා පිට වාර්තා තැබූ පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනල්ඩෝය. ස්පාඤ්ඤයේ රියල් මැඩ්රීඩ් කණ්ඩායමට හා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයකු වූ රොනල්ඩෝගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 109කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 197.290ක් වේ. මේ තරම් අති විශාල මුදල් කන්දරාවක් ලැබූ රොනල්ඩෝ මේ වසරේ වැටුප් හා ත්‍යාග මුදල් ලෙස පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 65ක් (රුපියල් බිලියන 117.650ක්) හා අනුග්‍රාහකත්ව ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 44ක් (රුපියල් බිලියන 79.640ක්) තම බැංකු ගිණුමට එක්කර ගත්තේය. වසර 2016 හා 2017 දී ලොව වැඩිම ධනවත් ක්‍රීඩකයා ලෙස සිටි රොනල්ඩෝ ‘ආමනී’ ඇඟලුම් ව්‍යාපාරය, කැස්ට්‍රොල්, ටග් හුයර්, කොකා කෝලා, කේ. එෆ්. සී, වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදක කොනාමී හා එමිරේට්ස් ගුවන් සමාගමේ අනුග්‍රාහක සන්නාම තානාපති ආදයම් උපයමින් සිටී.

ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩිකාව වන්නේ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකා එක්සත් ජනපදයේ සෙරීනා විලියම්ස්ය. 37 හැවිරිදි සෙරීනා උපයා ඇති වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 29.2 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 54.3ක් වේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 25ක් ම උපයා ඇත්තේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගිනි. ඔලිම්පික් රන් පදක්කම් දිනූ ඇය මේ වනවිට ජයගෙන ඇති ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ මුල්පෙළේ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාව විසිතුනකි. සෙරීනා මුල් කාලයේදීම ‘පූමා’ ආයතනය සමග අනුග්‍රාහක ගිවිසුමකට එළැඹි අතර ඉන් පසුව ‘නයිකි’ සමාගම සමග අමෙරිකානු ඩොලර් මිලියන 40ක ගිවිසුමකට එළැඹියාය. ඇය ඇනරෝස් නම් මොස්තර නිරූපණ ඇඟලුම් ආයතනයක් සමගද, අත් බෑග් හා ස්වර්ණාභරණ නිපදවන ආයතන කිහිපයක අනුග්‍රහාකත්වයෙන් විශාල මුදලක් ඉපැයීමට සමත් වූවාය.

පසුගිය වසරේදී අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දී සෙරීනා පරාජය කරමින් පෙරැළිකාර ජයක් ලැබූ ජපානයේ නයෝමි ඔසාකා වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඇයගේ මේ වසරේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 24. 3ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 43.99ක්) වන අතර එයට ත්‍යාග මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 8. 3ක් ඇතුලත් වේ. සෙරීනා පරාජය කිරීමෙන් පසුව ජපාන ක්‍රීඩිකා නයෝමී ඔසාකා පිළිබඳ වෙළෙඳ සමාගම් අතර ඉහළ අවධානයක් යොමුවීමෙන් ඇයගේ බැංකු ගිණුම තරවන්නට විය. ‘නයිකි’ සමාගමේ වෙළෙඳ ප්‍රචාරණ ගිවිසුමකට එළැඹි ඇය මාස 12ක් තුළ පමණක් උපයාගත් මුදල ඩොලර් මිලියන 16ක් ලෙස දැක්වේ. වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාවන් ලැයිස්තුවේ මුල් ස්ථාන පහළොවෙන් දොළහක් ම ටෙනිස් ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගෙන ඇති අතර ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩිකා ඇලෙක්ස් මෝර්ගන්, ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී.වී. සිධු හා තායිලන්ත ගොල්ෆ් ක්‍රීඩිකා එරියා යුටානුගන් ද ඒ අතර සිටිති.

මේ වසරේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයන් දස දෙනා

ලයනල් මෙසී - අමෙරිකානු ඩොලර් මිලියන 127 (ආර්ජෙන්ටිනා පාපන්දු ක්‍රීඩක)

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - අමෙරිකානු ඩොලර් මිලියන 109 (පෘතුගාල පාපන්දු ක්‍රීඩක)

නේමාර් - අමෙරිකානු ඩොලර් මිලියන 105 (බ්‍රසීල පාපන්දු ක්‍රීඩක)

කානෙලෝ අල්වේස් - අමෙරිකානු ඩොලර් මිලියන 94 (මෙක්සිකෝ බොක්සිං ක්‍රීඩක)

රොජර් ෆෙඩරර් - අමෙරිකානු ඩොලර් මිලියන 93.4 (ස්ව්ට්සර්ලන්ත ටෙනිස් ක්‍රීඩක)

රසල් විල්සන් - අමෙරිකානු ඩොලර් මිලියන 89. 5 (අමෙරිකානු පාපන්දු ක්‍රීඩක)

ආරොන් රොජර්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 89. 3 (අමෙරිකානු පාපන්දු ක්‍රීඩක)

ලීබොන් ජේම්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 89 (අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක)

ස්ටෙපන් කරී - අමෙරිකානු ඩොලර් මිලියන 79. 8(අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක)

කෙවීන් ඩුරන්ට් - අමෙරිකානු ඩොලර් මිලියන 65. 4 (අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක)

මේ වසරේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩිකාවන් දස දෙනා

සෙරීනා විලියම්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 29.2 (අමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා)

නයෝමී ඔසාකා - අමෙරිකානු ඩොලර් මිලියන 24.8 (ජපාන ටෙනිස් ක්‍රීඩිකා)

ඇන්ජෙලීක් කර්බර් - අමෙරිකානු ඩොලර් මිලියන 11.8 (ජර්මන් ටෙනිස් ක්‍රීඩිකා)

සිමෝනා හෙල්ප්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 10.2 (ඉතාලි ටෙනිස් ක්‍රීඩිකා)

සැලෝනා ස්ටෙපාන්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 9. 6 (අමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා)

කැරලීන් වොස්නියැකී - අමෙරිකානු ඩොලර් මිලියන 7. 5 (ඩෙන්මාර්ක් ටෙනිස් ක්‍රීඩිකා)

මාරියා ෂරපෝවා - අමෙරිකානු ඩොලර් මිලියන 7 (රුසියානු ටෙනිස් ක්‍රීඩිකා)

කැරොලිනා පිල්ස්කෝවා - අමෙරිකානු ඩොලර් මිලියන 6.3 (ඩෙන්මාර්ක් ටෙනිස් ක්‍රීඩිකා)

එලීනා ස්විටොලයිනා - අමෙරිකානු ඩොලර් මිලියන 6.1 (චෙක් ජනරජයේ ටෙනිස් ක්‍රීඩිකා)

වීනස් විලියම්ස් - අමෙරිකානු ඩොලර් මිලියන 5.9 (අමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා)

නව අදහස දක්වන්න