අර්බුදය!? | දිනමිණ

අර්බුදය!?

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැති බව ද, ජනාධිපති අපේක්ෂකයා තේරීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් පමණක් පවතින බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. අර්බුදය, ගැටුම, අවුල, ගැටලුව, කඹ ඇදීම වැනි වචනවලට දේශපාලකයන් පමණක් නොව; මහජනයා ද ඒ හැටි කැමැත්තක් නැත. එම වචනවලින් හඟවන අර්ථය හා හැඟීම අසුබදායක ය. මේ අතර එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ සිය පක්ෂය තුළ ආඥාදායකත්වය නැති බැවින් තීන්දු - තීරණ ගැනීම සඳහා සාමකාමී දීර්ඝ සාකච්ඡා පැවැත්වෙන බව ය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

අමෙරිකාව, එංගලන්තය පමණක් නොව; ඉන්දියාව පවා දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටවල් හැටියට හැඳින්විය හැකි ය. එම රටවල ප්‍රධාන පක්ෂවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තුළ ද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පවතී. ඉන්දියාවේ කොංග්‍රසය හා භාරතීය ජනතා පක්ෂය ස්වකීය නායකයන් තෝරා ගන්නා ආකාරය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එම පක්ෂ සිය නායකත්වය තෝරා ගැනීම සඳහා ද අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ද දීර්ඝ සංවාද පවත්වයි. එහි ප්‍රතිඵලය වන්නේ සුදුසුම චරිතය නායකත්වයට හෝ අපේක්ෂකත්වයට හෝ පත්වීම ය. දේශපාලන පක්ෂයක් පමණක් නොව; රටක් වුව ඉදිරියට ගෙන යා හැක්කේ ඒ ක්‍රමය ඔස්සේ පමණි.

පොහොට්ටු පක්ෂයේ තීන්දු - තීරණ ගැනීම, අපේක්ෂකයන් තේරීම, පක්ෂය හැසිරවීම හා ප්‍රතිපත්ති සම්පාදනය පවා රාජපක්ෂවරුන් විසින් ඉටුකරනු ලැබේ. ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ය. පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ ය. ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ය. ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කරන බව ද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ ක්‍රියා කරන බව ද මේ වන විටත් ප්‍රකාශ වී ඇත. පවුල් වාදය දේශපාලනයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් සමාජය තුළ පවතී. පොහොට්ටුවේ නායකයන් එය සැලැකිල්ලට නො ගන්නේ වුව සමාජ අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වන බව පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂය හැඳින්විය හැක්කේ විශාලම ජන පදනම සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලන ව්‍යාපාරය හැටියට ය. තනි පක්ෂයක් ලෙස ගතහොත්; එය රටේ සෙසු දේශපාලන ව්‍යාපාරවලට වඩා ජන පදනම අතින් ඉදිරියෙන් සිටී. මේ පක්ෂය හැමවිට ම පාහේ නායකත්වය තෝරා ගැනීම සඳහා යුක්තිසහගත ලෙස ක්‍රියා කර ඇති බව ‍ෙපනෙයි. රටේ බලවත් පවුලක් නියෝජනය කළේ නැති වුව රණසිංහ ප්‍රේමදාස මහතාට ජනාධිපති පදවිය ලබා දීමට පක්ෂය ක්‍රියා කළේ ය. ප්‍රේමදාස මහතාට බන්දේසියක තබා අපේක්ෂකත්වය පිළිගැන්වූ‍ෙය් නැත. ඒ සඳහා දීර්ඝ සොයාබැලීම් හා දීර්ඝ සංවාද පැවැත්විණි. අවසන් ලෙස සුදුස්සාට සුදුසු තැන ලැබිණි. එය එක්සත් ජාතික පක්ෂය තුළ පවත්නා සාධනීය ලක්ෂණයක් හැටියට පෙන්වා දිය හැකි ය.

එක්සත් ජාතික පක්ෂය තුළ දැනට පවත්නා දීර්ඝ හා ගැඹුරු සංවාදය ජනමාධ්‍ය විසින් දේශපාලන අර්බුදයක් හැටියට හඳුන්වනු ලැබේ. සාමාන්‍ය ලෙස ගත් කල අපේ ජනමාධ්‍ය සිද්ධි හා චරිත හඳුන්වා දීම සඳහා නිවැරැදිම වචන භාවිත කරන බවක් පෙනෙන්නට නැත. වචන හා සංකල්ප භාවිතයේ දී ජනමාධ්‍ය පරෙස්සම් වෙන බවක් ද පෙනෙන්නට නැත. වාර්ගික ගැටුම්, ආගමික ආරවුල් හා දේශපාලන සංවාදවල දී සුදුසුම වචන හා සංකල්ප භාවිත කිරීමට අපේ ජනමාධ්‍ය හුරු වී නැත. ඒ හැරෙන්නට එකිනෙක ජනමාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍ර හා ඉලක්ක හඹා ගෙන යත් දී සියලු දෙනාට සාධාරණ ලෙස වාර්තාකරණයක් සිදුවන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ පක්ෂග්‍රාහීත්වයක් තුළ ජනමාධ්‍ය ක්‍රියා කිරීම ය. දැන් එය ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතී.

පක්ෂයේ බිම් මට්ටම දෙස බලන විට මෙහි තවත් පැත්තක් දකින්නට ලැබේ. ගමේ පාක්ෂිකයන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සාකච්ඡා කරන්නේ නැත. අමෙරිකාවේ එංගලන්තයේ හෝ ඉන්දියාවේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද ගමේ මනුස්සයාට වැඩක් නැත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ තරගයෙන් දිනන අපේක්ෂකයකු හැකි විගස තෝරා ගැනීම ය. පක්ෂයේ සංවිධාන ශක්තිය තරවන්නේ ඔවුන් කැමැති අපේක්ෂකයකු තරගය සඳහා ඉදිරිපත් වු විට ය. රට පුරා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රාදේශීය එ. ජා. ප. නායකයන් තමන්ගේ ඡන්ද වැඩ තව ම පටන්ගෙන නැත. එය පටන් ගැනීමට නම්; ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුව තිබේ. කුමන මැතිවරණයක දී වුව වැදගත් වන්නේ ඡන්දදායකයාගේ උද්‍යෝගය යි. එක්සත් ජාතික පක්ෂය එම උද්‍යෝගය නැති කරගන්නා තැනකට නොයා යුතුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයට ප්‍රති විරුද්ධ පක්ෂ මේ කල්මැරීම දේශපාලන උපායමාර්ගයක් ලෙස හඳුන්වා ඇත. එහි ඇත්ත - නැත්ත පිළිබඳ විනිශ්චයක් අපට ලබාදිය නො හැකි ය. කෙසේ වුව අපගේ නිගමනය වන්නේ අපේක්ෂකයා නම් කිරීමට සුදුසුම කාලය පැමිණ ඇති බව ය. තවදුරටත් කාලය නාස්ති කළහොත් එයින් පක්ෂයට හා අපේක්ෂකයාට අගතියක් විය හැකි බව අපගේ පිළිගැනීම වෙයි. අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා යොදා ගත හැකි යුක්තිසහගත ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ එජාපයට සහාය දක්වන සුළු ජන පක්ෂවල කැමැත්ත විමසීම ය. තව එකක් වන්නේ මන්ත්‍රීවරුන් එකසිය හය දෙනාගේ කැමැත්ත විමසීම ය. තවත් එකක් වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡන්දයක් පැවැත්වීම ය. අවශ්‍ය නම්; මේ සියලු ක්‍රම වුව භාවිත කරන්නට පුළුවන. එවිට වඩාත් සුදුසු පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වනු ඇත.

 

නව අදහස දක්වන්න