උතුරට ආවේණික ව්‍යවසායකත්ව උරුමය පණගැන්වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය | දිනමිණ

උතුරට ආවේණික ව්‍යවසායකත්ව උරුමය පණගැන්වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය

ජයසිරි මුණසිංහ

ඈත අතීතයේ පටන් උතුරු පළාතට ආවේණිකව පවතින ව්‍යවසායකත්ව උරුමය යළි වතාවක් පුබුදුවාලීමට මඟපෑදූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික මහා ප්‍රදර්ශනය පසුගිය 10දා සාර්ථකව යාපනයේ දී නිමාවට පත්විය.

හුදු ප්‍රදර්ශනයකට සීමා නොවී මෙරට ආර්ථිකයේ ක්‍රියාකාරකම් පිළිබඳ පොදු මහජනතාවගේ දැනුම අවබෝධයේ සීමා මායිම් නිම් වළලු පුළුල් කිරීමක් ද සිදු කළ මේ ප්‍රදර්ශනය යාපන අර්ධද්වීපයේ ජීවත්වන හයලක්ෂ දහතුන්දහසක පිරිස අතුරින් හාරලක්ෂයක් දෙනා නැරඹූ බවට වාර්තා පළ විය.

මෙතරම් විශාල ජනතා සහභාගීත්ව‍යක් සහිත ජනආකර්ෂණයක් හිමි වූ ප්‍රදර්ශනය නැරඹූ පිරිස අතුරින් 2,500ක් දෙනා ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමට ලියාපදිංචි වී සිටියහ.

එකම හිස්ගොඩක් බවට පත්වූ යාපනය කොටුව ප්‍රදර්ශන භූමියේ ව්‍යවසායකත්ව කලාපය පැමිණි සැමගේ නිබඳ අවධානය දිනාගත් කලාපයක්ම විය.

බුද්ධිය, අභිමානය, නව්‍යකරණය තේමා කොටගත් මෙවර ප්‍රදර්ශනය ඉකුත් 7 දා පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරේ දේශපාලන නායකයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහිතව විවෘත කෙරිණි.

වසර තිහකට අධික කාලයක් මහා විනාශකාරි යුද ශාපයකට මුහුණ දී සිටි උතුරේ ජනතාවට ඉන් මිදී නැවත සමාජයේ සියලු දෙනා අත්විඳින සාමය, සහජීවනයේ ජීවගුණය, සතුට, සොම්නස සංවර්ධනයේ අරුණලු දකින්නට ඒකරාශී වූ ඒකරාශීවීමට ඉඩ සැලසූ මහා මංගල්‍යයක් මෙන් මෙවර ප්‍රදර්ශනය මුදල් අමාත්‍යාංශය සංවිධාන කොට තිබුණි. ග්‍රාම නිලධාරී කාර්යාලය පටන් ජනාධිපති කාර්යාලය දක්වා පොදු මහජනතාවගේ සංවර්ධනය, සුබ සාධනය හා දියුණුව උදෙසා ඉටු කරන්නා වූ මහජන මෙහෙවර පිළිබඳ උතුරේ ජනතාවට මෙයින් ඉහළ අවබෝධයක් ලබාගත හැකි විය.

ප්‍රදර්ශනය අතීත උරුමය, වර්තමාන පැතිකඩ හා වසර 2025 පොහොසත් රටක් දැක්ම අනුව අප රට පෙරට ඇදෙන ආකාරය විදහා දක්වන අයුරින් පෙළගස්වා තිබුණි. උරුමය කලාපය නැරඹූ ජනතාව අනතුරුව සංහිඳියාව ගොඩනැංවෙන අයුරු දැක බලා ගැනීමට ඒ සඳහා වෙන්වූ කලාපයට ඒකරාශී වූහ. අනතුරුව ව්‍යවසායකත්ව කලාපය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ මාධ්‍ය කලාපය, නවෝත්පාදන හා නව නිපැයුම් කලාපය, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා පිළිබඳ දැනුම ලබාදෙන කලාපය, අධ්‍යාපන කලාපය, සෞඛ්‍ය සේවා ලබාදෙන කලාපය මෙන්ම කෘෂිකාර්මික කලාපය ජනතාව මහත් උනන්දුවෙන් හා උද්යෝගයෙන්නැරඹූ කලාප විය.

මේ අතර උතුරේ තල්ගසේ අතු, ඉති, ඵලවලින් නිර්මාණය කර සකසූ විවිධ භාණ්ඩ හා සේවා උතුරේ ජනතාවගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අවශ්‍ය මිල මුදල් උපයා සපයා ගන්නා අයුරින් නිෂ්පාදනය කරන අත්කම් භාණ්ඩ, ධීවර නිෂ්පාදන, කැවිලි පෙවිලි අලෙවි කුටි ගණනාවක් ප්‍රදර්ශනයට එක් කොට තිබුණි. ඒවායේ තම නිෂ්පාදන එළිදැක්වූ පිරිස් අතුරින් ඇතැමෙකු සැමියා අහිමි වැන්දඹු කාන්තාවෝ වූහ. ඇතැමෙකු කුරිරු යුද්ධය නිසා අත්පා අහිමි කරගත් පුනරුත්ථාපනය වූ පිරිස් වූහ. ඇතැමෙක් උපතින්ම විවිධ අවශ්‍යතා ඇවැසි දිරිමත් පිරිස් වූහ. මේ සිලෙුදෙනා තම දැනුම අවබෝධය ඇති පමණින් දැනට කරගෙන එන නිෂ්පාදන වෙළෙඳාම ජීවනෝපාය සරිකර ගැනීම සඳහා මේ ප්‍රදර්ශනයට එක්ව සිටියහ.

එලෙස ප්‍රදර්ශනයට එක්වූ ප්‍රදර්ශකයෝ නැවත වතාවක් එසේම පිටවී යෑමට ඉඩ නොදී ඔවුන්ගේ ජානවල පවතින ව්‍යවසායකත්ව ගුණාංගය යළි පුබුදුවාලීමට මේ ප්‍රදර්ශනයේ දී ඉඩකඩ ලබා දී තිබුණි. ඒ අනුව ඔවුන් දැනට පවත්වාගෙන එන වෙළෙඳාම, ව්‍යාපාරය, ව්‍යවසායකත්ව ක්‍රියාවලිය වැඩිදියුණු කර ගැනීමට මූලිකව අවශ්‍ය ප්‍රාග්ධනය අරමුදල් අඩු පොලී අනුපාත යටතේ බැංකු ක්‍රමය හරහා ලබාදීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම ගැන දැනුම්වත් කිරීම සිදු විය. ගමේ ඉතා කුඩාවට සිදු කරන නිෂ්පාදන වැඩිදියුණු කොට මනාව ඇසුරුම් කොට නගරයේ වෙළෙඳපොළ දිනා ගන්නා තැනට යොමු කිරීමට උපදෙස් ලබාදීමට සිටින රජයේ හා රාජ්‍ය නොවන අංශවල ආයතන සියල්ල එකවර සිය සේවාව මේ ප්‍රදර්ශනයෙන් ජනතාව අතරට රැගෙන ගියේය.

එපමණක් නොව නගරයේ වෙළෙඳාම වැඩිකර ගන්නා අතර පළාතෙන් පිටට තම නිෂ්පාදන බෙදාහැරීමට ජාතික මට්ටමට ඒවා යොමු කරලීමට අවශ්‍ය මඟපෙන්වීම් වැඩිදියුණු කිරීම් පිළිබඳ සේවා ලබාදීමට සුළු හා මැදි පරිමාණ කර්මාන්ත, කෘෂිකාර්මික හා සේවා අංශ වැඩි දියුණු කරදෙන ආයතන ඉදිරිපත් වී සිටියහ.

උතුරු පළාතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 8884කි. එය අප රටේ තුන්වැනි තැනට විශාලතම පළාත වේ. මේ පළාතේ සාරවත් බිමේ වැවෙන එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග, මල් වර්ග, ධීවර නිෂ්පාදන, ස්වයංරැකියා කරන පිරිසගේ තල් නිෂ්පාදන, බතික්, රෙදි පිළි, ඇඟලුම් නිෂ්පාදන, විසිතුරු අත්කම් අප රටින් පිටට ලෝක වෙළෙඳපොළට පවා යැවීමට හැකිවන ආකාරයෙන් පෙළගැස්සවීමට ජාතික අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රධාන රාජ්‍ය ආයතන මෙහිදී පෙරමුණ ගෙන ක්‍රියා කළහ. මේ අන්දමට උතුරු පළාතේ කෘෂිකර්මය සාම්ප්‍රදායක බවින් මිදී යාන්ත්‍රිකරණයට නව්‍යකරණයට බඳුන් කිරීම කර්මාන්ත ජාලය මුළු පළාත පුරා ව්‍යාප්ත කිරීම සහ සේවා අංශය පුළුල් කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ එකම අරමුණ විය.

මේ අරමුණ පෙරදැරිව සංවිධානය කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය මොනරාගල ඉකුත් වසරේ පැවැති අතර එය 58,0000 දෙනා නැරඹූහ. ව්‍යවසායකයන් 5,700ක් දෙනා ලියාපදිංචි වූහ. ඉන් සියයට 75කට වඩා පිරිසක් දැනටමත් ණය මුදල් ලබාගෙන ව්‍යාපාර දියුණු කිරීම ආරම්භ කොට ඇත. අනතුරුව අනුරාධපුරය පැවැති දෙවැනි ප්‍රදර්ශන‍ය 420,000ක් දෙනා නැරඹූහ. එහිදී ව්‍යවසායකයන්වීමට කැමැත්තෙන් ලියාපදිංචි වූ පිරිස 4,900කි. ඉන් 1900 දැනටමත් බැංකු ණය ලබාගෙන ඇත. යාපනය ප්‍රදර්ශනය 400,000ක් දෙනා නැරඹූහ. ලියාපදිංචි වූ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමට කැමැති සංඛ්‍යාව 2500කි. මේ පිරිස තවදුරටත් දිනෙන් දින ඉහළ යනු ඇත. මේ අන්දමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම 17ක් ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම 3ක් හා ඇප සුරැකුම් යෝජනා ක්‍රම 2ක් සාර්ථකව ක්‍රියාත්මක කරන මුදල් ඇමැති මංගල සමරවීර මහතා‍ටත් මුදල් අමාත්‍යාංශයේ සියලු දෙනාටමත් රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකුවල සභාපතිවරු ඇතුළු සියලු දෙනාටමත් මා මාගේ ස්තූතියත් ගෞරවයත් පිරිනමන්න මෙය අවස්ථාවක් කර ගන්න බව ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම ඉතාම සාර්ථකව ක්‍රියාවට නැංවී තිබෙනවා. එය ඉතා වැදගත් පියවරක්. අපේ රටේ නව ව්‍යවසායකත්ව පරපුරක් බිහි කිරීමට එය ඉතා වැදගත් පියවරක් වී තිබෙනවා.

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය ව්‍යවසායකත්වය නැතිනම් එය සාර්ථක වන්නේ නැහැ. ශක්තිමත් වන්නේ නැහැ. වෙළෙඳපොළ ආර්ථිකය ව්‍යවසායකත්වය නැතිනම් අසාර්ථක වෙනවා. ඒ නිසා අප රටේ වෙළෙඳපොළ ආර්ථිකය ශක්තිමත් සාර්ථක එකක් බවට පත් කිරීමට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම ඉවහල් වී තිබෙනවා. මේ ණය යෝජනා ක්‍රම හරහා මේ වන විට රුපියල් මිලියන 90,000කට වැඩි විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදා හැර තිබෙනවා. මේ මුදල් යොදා ගෙන නව ව්‍යවසායකයන් 54000ක් බිහිවී තිබෙනවා යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කෙළේ ඈත අතීතයේ දී පවා යාපා පටුනේ ජීවත් වූ ජනතාව තම නිෂ්පාදන ලෝකය පුරා බෙදාහැරීමේ කටයුතුවල නිරත වී සිටි බවයි. එදා ඔවුන් භාවිතා කළ පැරණි විදේශීය කාසි කැණීම් වලින් සොයාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන විට උතුරේ වාණිජ අගනගරය ලෙස යාපනය ගොඩනඟන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.බී.එම්.ආර්. අතපත්තු, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, එම්.ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ස්වර්ණභවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් ‍වේදනායගම් යන මහත්ම මහත්මීහු ප්‍රධාන පිරිසක් මෙහිදී තම අදහස් දැක්වූහ. ඒ අදහස් සමුදායන්ගේ එකම ඉල්ලීම වූයේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනඟා ගන්නා ලෙසයි. ඊට උපරිමයෙන් දායක වීමට මේ ප්‍රදර්ශනය නැරඹීමට ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර සිටි ලක්ෂ්මීලා, වේලුපිල්ලේලා, අහමඩ්ලා, හුසේන්ලා, පීටර්ලා, ඩැනියෙල්ලා, පමණක් නොව කමල්, සුනිල්, නිමල්, සීතා, ගීතා, ස්වර්ණා යනාදී සියලු ජාතිකත්වයන් නියෝජනය කළ පිරිස් පෙළ ගැසෙනු නොඅනුමානය.

නව අදහස දක්වන්න