ගුණාත්මක වෙළෙඳ නාවික සේවාවක් සැළසීමට කටයුතු කරනවා | දිනමිණ

ගුණාත්මක වෙළෙඳ නාවික සේවාවක් සැළසීමට කටයුතු කරනවා

ඇමැති සාගල රත්නායක

ජාත්‍යන්තර සම්මුතින්වලට අනුව නාවික වෙළෙඳ ක්ෂේත්‍රය නීති රීති යාවත්කාලීන කරමින් ගුණාත්මක වෙළෙඳ නාවික සේවාවක් ඇතිකිරීමට කටයුතු කරන බව වරාය,නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

වෙළෙඳ නාවික ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් මෙරට ආර්ථිකය ශීඝ්‍ර සංවර්ධනයකට නතු කළ හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳ නැව් ( සංශෝධන) පනත යටතේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පස්වරු 1.00ට රැස්විය.

නිවේදන, ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව මහජන පෙත්සම, මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරිණි. වාචික පිළිතුරු අපේක්ෂාවන් මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

වෙළෙඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත, විවාදයට ගැනිනි.

වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා

සමුද්‍රීය නීතිසම්පාදනය කිරීමට වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය කටයුතු කරනවා. ඩොලර් මිලියන 100ක වාර්ෂික ආදායමක් මහාභාණ්ඩාගාරයට ලබාදෙනවා. සිනෙක් වැනි ආයතන නිගමනය කරන්නේත්, ගාස්තු අයකිරීම, නෞකා අධීක්ෂණය කිරීම, ජාත්‍යන්තර නැව් ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදු කරන පැමිණිලි විභාග කිරීම, ශ්‍රී ලංකා ධජය යටතේ යන වෙළෙඳ නෞකා අනතුරට පත්වීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම මේ ආයතනය මඟින් සිදුකෙරේ.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

රත්නායක මහතා -

මේ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයට විශාල වගකීමක් තිබෙනවා. ඩොලර් මිලියන 100ක වාර්ෂික ආදායමක් තිබෙනවා. අද ඉදිරිපත් කරන සංශෝධන මඟින් ජාත්‍යන්තර සම්මුතින්ට අනුව ශ්‍රී ලංකාවේ නාවික නීති යාවත්කාලීන කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. වෙළෙඳ නාවික තාක්ෂණික ප්‍රමිතීන් ඇති කිරීමටත් යෝජනා කරනවා. 1961 සිට මේ දක්වා දඩ මුදල් වැඩි කරලා නැහැ. එම දඩ මුදල් වැඩිකිරීමටත් යෝජනා කර තිබෙනවා.

වරාය හා නාවික ක්ෂේත්‍රය ගැනකතා කළොත්, නැව් බහලුම් ප්‍රතිනැව් ගත කිරීමෙන් ඉහළ තැනක ඉන්නවා. ලලිත් ඇතුළත්මුදලි මහතා ඇතිකළ පියබහලු පර්යන්තය මඟින් අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ගෙනත් දුන්නා. 1999 දී SAJT පර්යන්තය ආරම්භ කළ ධාරිතාව වැඩි කිරීමට එවකට කටයුතු කළා. ඉන්පසුව දකුණු වරාය දකුණු පර්යන්තය ඉදිකළා. කොළඹ වරාය බහලුම් ප්‍රතිනැව් ගත කිරීමට කටයුතු කරනවා. බහලුම් මිලියන 07ක් ප්‍රතිනැව්ගත කර තිබෙනවා. මෙය වාර්තාවක් වරාය අධිකාරියට නව පර්යන්තයක් ඉදිකිරීමට අප කටයුතු කරනවා. ජපන් රජයෙන් මේ ණය මුදල ලැබෙනවා. එම පර්යන්තයේ වැඩි අයිතිය වරාය අධිකාරියට තබා ගන්නවා. මේ පර්යන්තය දැන් ඉදි නොකළොත් විශාල පාඩුවක් සිදුවෙනවා. මෙහි මෙහෙයුම් කටයුතු වෙනත් සමාගමකට ලබාදෙන්න කටයුතු කරනවා. ලබන වසරේ දෙසැම්බර් මාසයේ නැගෙනහිර පර්යන්තයේ වැඩ අවසන් කරනවා.

බටහිර පර්යන්තය මීටර් 1350 දිගයි. බහලුම් මිලියන 2.4ක් වාර්ෂික මෙහෙයුම් කටයුතු සිදු කරන්න පුළුවන්. නැගෙනහිර පර්යන්තයෙන් ඩොලර් මිලියන 64ක් රජයට ආදායම් ලැබෙනු ඇති බව ගණන් බලා තිබෙනවා උතුරු වරාය පිළිබඳ තාක්ෂණික වාර්තා අරගෙන තිබෙනවා. මගී නැව් ලංකාවට ආකර්ෂනය කිරීමට වරාය සන්නිවේදන ක්‍රමවේදයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා. කුළුණුමත ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අප ආරම්භ කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (එජනිස)

නෙළුම් කුලුනට කෝටි 200ක් අවභාවිත කර තිබෙනවා කියා ජනාධිපතිවරයා කිව්වා. මේවා අසත්‍ය ප්‍රකාශයි. එතුමාට මේ පිළිබඳ ලිඛිත ලේඛන නැහැ. කුලුන ඇත්තටම ඉදිකළ සමාගමට තමයි සියලු ගෙවීම් සිදුකර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ දෙවැනි බොරුව තමයි ඇලික් කියන්නේ සම්පූර්ණ නමේ කෙටි යෙදුමයි. ජනාධිපතිතුමා හෙව්වේ ඇලික් කියලයි. මෙහිදි කිසිදු මුදලක් අතුරුදන් වෙලා නැහැ. රාජපක්ෂ පවුලේ අයට ලැම්බෝගිනි තිබෙනවා. රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා. ඒ සියල්ල බොරු වුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කරන කමිටු වාර්තාව ප්‍රමාද කරන්නේ ඇයි?

කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ)

වෙළෙඳ නැව් පනත විවාදයේදී ආණ්ඩුව ඒ සඳහා ලබාදී තිබෙන වටිනාකම ආණ්ඩු පක්ෂය දිහා බැලුවම පේනවා. ඇමැතිතුමා පමණයි සභාවේ ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. අද වරාය ගැන කතා කළාට සියලු වරායන් සරල සිල්ලර ක්‍රමයට වෙනත් රටවලට ලබාදීමක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. නාවික ක්ෂේත්‍රය ලෝකයේ බලගතු රටවල් පාලනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා.

අද ගම්මන්පිල මන්ත්‍රීතුමා නෙළුම් කුලුන ගැන කතා කළා. නමුත් මීට මාස 11කට‍ පෙර රෑ පානේ ගිහින් බුද්ධශාසන ඇමැතිකම ගනිද්දි ඔහොම කිව්වෙ නැහැ. ඇලික් සමාගම කළ දේවල් ගැන කෝප් කමිටුවේදී අනාවරණය වුණා. කෝප් සභාවේදී හෙළිකරගත්ත සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 4600ට මොකද වුණේ කියන එක අද වෙනකම් කතාවක් නැහැ. පෙට්‍රල් ලීටරයට බත්පතට මිල වැඩි වෙන්නේ මේ වංචා දූෂණ නිසයි. අපි දන්නේ ක්‍රීඩාපිටිවල ලකුණු වැඩියෙන් ගහන අය ගැනයි. නමුත් සූරියවැව ක්‍රීඩාංගණයේදී වැඩියෙන් මුදල් ගැහුවේ කවුද කියලා තවම සොයා ගෙන නැහැ.

අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී කිලෝමීටරයට වැයවන වියදම ඩොලර් මිලියන 05ක් වෙනවා. නමුත් සමහර අධිවේගී මාර්ගවලට හිතාගන්න බැරි විදිහට වැඩිවෙලා. කොට්ටාව කඩුවෙල කිලෝමීටරය ඩොලර් මිලියන 19යි. කඩවත කෙරවලපිටියට එනවිට ඩොලර් මිලියන 72ක් දක්වා කිලෝමීටරයකට වැඩිවෙලා. මෙයින් පෙනෙන්නේ එකට දහයකට වගේ ණය අරගෙන තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිකරන්න චීනයෙන් ණය දුන්නේ ඩොලර් මිලියන 1400යි. නමුත් ඔවුන් මිලදීගැනීමේදි ගත්තේ ඩොලර් මිලියන 675කටයි. වෙළඳ නාවික අංශය මෙරට ආර්ථිකයට විශාල ආදායමක් ගෙන එනවා.එය සංවර්ධනය කළයුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී)

සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව විනාශ කිරීමට යම් යම් බලපෑමක් තිබෙනවා. අද ප්‍රවාහන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩවර්ජනයක් පවතිනවා. සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් ඇතිවෙලා. මෙයින් පෙනෙන්නේ නිසි ආණ්ඩුවක් නොමැති බවයි. වෙළඳ නාවික කටයුතු ගත්විට දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. මේ නාවික ක්ෂේත්‍රය දියුණු කිරීම මඟින් ආර්ථිකයට විශාල සහනයක් ලබාගත හැකියි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළුකුමාර් මහතා මුලසුනට පැමිණියේය.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩුවෙල් සුරේෂ් මහතා

වතු ජනතාවගේ හා කම්කරු ජනතාවගේ ශ්‍රමයෙන් තමයි මේ රටේ ආර්ථිකය ගොඩනැගී තිබෙන්නේ. සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලේ වුණත් ඔවුන් කළේ අධික්ෂණය පමණයි. ශ්‍රමය ලබා දුන්නේ අපේ ජනතාවයි. ඒ නිසා වතු ජනතාව ජීවත්වු නිවාස ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. එම ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්න. ජන අනුපාතය අනුව අපේ ජනතාවට ලැබිය යුතු පහසුකම් ලබා දෙන්න. ඔවුන්ගේ ඡන්දයට ලැබිය යුතු අයිතිය ලැබෙනවාද කියා සිතා බැලිය යුතුයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස)

අද මේ විවාදය වෙළඳ නැව් ගැන පනත වුණත් විවිධ අය විවිධ අදහස් පළකළා. එක කලක් යනවිට කොළඹ වරාය හොඳම වරායක් බවට පත්වෙලා තිබුණා. ඉන්පසුව සිංගප්පූරුව වරායක් හැදුව නිසා අපේ ආදායම අඩු වුණා. ඉන්පසුව අපි හම්බන්තොට වරාය හැදුවා. එයින් ආදායම් මදි නිසා වත්මන් ආණ්ඩුව චීනයට ලබාදුන්නා. ඒ ගත්ත මුදල් කොහේ ගියාද දන්නේ නැහැ. හම්බන්තොට වරාය වේගවත්ව සංවර්ධනය වන බව පේන්නේ නැහැ. හම්බන්තොට වරාය නිසා එන්න තිබුණු කර්මාන්ත වුණත් අද වෙනකම් ඇවිල්ලා නැහැ. කර්මාන්ත ක්ෂේත්‍රය රැකියා බිහිවීමක් වුණේ නැහැ. එම ඉලක්ක සපුරා ගැනීමට රජය සමත් වුණේ නැහැ. අපේ නැව් සංස්ථාවට 1977 වනවිට නැව් තුනක් හෝ හතරක් තිබුණා. අද වන විට නැව් එකක්වත් නැහැ.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුෆ් මහතා

පසුගිය ආණ්ඩුව කොළඹ වරායෙන් ගන්නා ආදායමෙන් තමයි අනෙක් වරායන් නඩත්තු කළේ. නමුත් ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් විශාල ආදායමක් ලබාගත හැකියි. ඔලුවිල් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. කොළඹ වරාය බහලුම් මෙහෙයුම් ‍ලෝක බහලුම් මෙහෙයුම්වලින් 11 වන තැනට පත් වෙලා තිබෙනවා මේ සියල්ල කළ හැකි වුණේ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ නිසයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කංචන විජේසේකර මහතා (එජනිස)

නෙළුම් කුලුනට කෝටි 200ක් අවභාවිත වෙලා කියා ජනාධිපතිවරයා කිව්වා. මේ ප්‍රකාශය මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වෙලා. 2017 කෝප් කමිටු වාර්තාවේ නෙළුම් කුලුන ගැන මුදල් අවභාවිතාවක් වෙලා නැ කියල සඳහන් වෙනවා.

අද මෙතන ඔලුවිල් වරාය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන වරායන් හතරෙන් වරායන් තුනයි සක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා -

ලලිත් ඇතුළත්මුදලි මහතා එදා තිබ්බ අඩිතාලම අද විශාල ලෙස සංවර්ධනය වෙලා. නැව්ගත කිරීම සංවර්ධන කළ යුතුයි. මෙය එකතැන තිබියයුතු කර්මාන්තයක් නොවෙයි. මෙය අපේ රටේ ප්‍රගතිය සඳහා යොදා ගැනීම ඉතාම වැදගත් වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණාමහතා මුලසුනට පැමිණියේය.

කරුණානායක මහතා -

නාවික ක්ෂේත්‍රය තුළ අපට තිබෙන සක්‍යතාව භාවිත කළ යුතුයි. ඉන්දියාව නාවික ක්ෂේත්‍රය විශාල ඉදිරි පිම්මක් තාක්ෂණය හරහා තබා තිබෙනවා. අපත් නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියක් යටතේ නාවික ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුයි. අපේ අවස්ථාවත් ප්‍ර‍‍යෝජනයට ගත යුතුයි. උතුරු වරාය සංවර්ධනය ඉතාම වැදගත් වෙනවා. අපි හසුරවනු ලබන කන්ටේනර් සංඛ්‍යාව වැඩි කළයුතුයි. නවීකරණ කටයුතු හා වරායට හා නාවික ක්ෂේත්‍රයට නවීන තාක්ෂණය ලබාදිය යුතුයි. මිලියන 2.3ක් කන්ටේනර් හසුකරගැනීමට හැකි වුණොත් හොඳ මට්ටමක් ඇතිකරගත හැකියි.

වරාය ගැන කතා කරන විට පෞද්ගලීකරණයක් ගැන කතා කළා. රජයේ තිබෙන අයිතිය රැකගන මෙහෙයුම් වෙනත් සමාගමකින් සිදු කරනවා. අද පුද්ගලික කරණය ගැන කතා කරන අය එදා සී.ඒ.ටී පර්යන්තය සියයට සියයක්ම පුද්ගලීකරණය කළා. අද මේ ගන්නා තීන්දු වසර 3කට පෙර කරන්න තිබුණා. ඉන්දියාව මීට වසර 3කට පෙර මේ තීන්දු ගත්තා. ඔවුන් සේවා සැපයීම වැඩිකළා. කේරළය ඉන්දියාව වරායක් ඉදිකරනවා. එය ලංකාවට තර්ජනයක්. අපිට නිසි ක්‍රමවේද මඟින් වරාය සම්බන්ධ අපේක්ෂාවන් ඉටුකරගත හැකියි.

වඩා ඵලදායි විශාල යාත්‍රා ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. පලදායිතාව වැඩිකර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

උපායමාර්ගික සංවර්ධන ජාත්‍යන්තර වෙළඳ කටයුතු නි‍යෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර ජයමහ මහතා

හම්බන්තොට වරාය කොළඹ වරාය සාර්ථක තැනකට ගෙන ඒමට අපට හැකි වුණා. ලොකු ණය බරක් වෙලා තිබුණු හම්බන්තොට වරාය චිනය සමඟ එකතු වෙලා සාර්ථක තැනකට ගෙනවිත් තිබෙනවා.

නැව් දෙකක් මිලදී ගැනීමේදී නැව් සංස්ථාව විශාල අර්බුදයට ගොස් තිබෙනවා. එම නැව් ගනුදෙනුවේදී ඩොලර් මිලියන 15 ක මුදල් අවභාවිතාවක් හෝ පාඩුවක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා කිව්වා නෙළුම් කුලුන ඉදිකිරීමේදී කෝටි 200 ක මුදල් වංචාවක් වෙලා කියලා ජනාධිපතිතුමා වංචා හෙළි කරනවා. නැව් ගනුදෙනු වංචා අපට අද හෙළිවෙලා තිබෙනවා. විපක්ෂය සිදුකළ වංචා අද හෙළි වෙමින් තිබෙනවා. ඔවුන් අද කට ඇරගෙන බලාගෙන ඉන්නේ ආණ්ඩු හදලා නැවත හොරකම් කරන්නයි.

විපක්ෂයේ අය අර අදින්නේ 2015 ට පෙර තිබූ භීෂනයට ගිහින් හොරකම් කිරීමේ යුගයක් ඇති කිරීමටයි. 2019

ජනාධිපතිවරණ ජය එජාප ප්‍රමුඛ සන්ධානය දිනනවා සහතිකයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා (එජනිස)

හම්බන්තොට වරාය සින්නක්කරව විකුණා දැමූ වත්මන් ආණ්ඩුව එම මුදල්වලට කළ දෙයක් නැහැ. නැගෙනහිර පර්යන්තයට දොඹකර ගන්න බැරි වුණ ආණ්ඩුවක්. දොඹකර නැතුව නැව් ගෙන්වන්න කථා කරනවා. රටටවත් මේ ආණ්ඩුව සාධාරණයක් කළේ නැහැ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය (එජනිස)

මීට වසර 20 කට කලින් මහා ඛේදවාචකයකට ලක් වුණු දිනයක්. අම්පාර ගෝනගල ගම්මානයේ මිනිසුන් 54 ක් ඝාතනය කළා. ‍ෙම් කුරිරු ඝාතනයට අදට වසර 20 ක් සම්පූර්ණ වෙනවා.

උපාධිධාරීන් විශාල වශයෙන් විශ්ව විද්‍යාලවලින් බිහි කරමින් සිටිනවා. නමුත් රැකියා ලබාදීමේදි ඔවුන්ට ප්‍රමුඛස්ථානය නොලැබෙන බවයි මාගේ අදහස. රටේ හැම තැනටම සුඛෝපභෝගී දුමිරිය සේවාවන් තිබෙනවා. නමුත් මඩකළපුව දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් නැහැ. ඒ නිසා පොළොන්නරුවට යන සුඛෝපභෝගී දුම්රිය මඩකළපුව දක්වා දීර්ඝ කරන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පනත සම්මත විය.

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.30 යළි රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් සහ චමිර ඇල්ලදෙණිය

 
 
 

නව අදහස දක්වන්න