සාකච්ඡා නොමැති වෛද්‍ය වර්ජනය අසාධාරණයි | දිනමිණ

සාකච්ඡා නොමැති වෛද්‍ය වර්ජනය අසාධාරණයි

උදුලා පීරිස්

තමන් හෝ තම අමාත්‍යාංශය සමග කිසිඳු සාකච්ඡාවකින් තොරව වෛද්‍ය සංගමය දියත්කළ වැඩ වර්ජනය අතිශය අසාධාරණ බව රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පලකලේ වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (18දා) සංවිධානය කල විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් පලකල ඇමැතිවරයා “ ශ්‍රී ලංකා පරිපාලන සේවය සහ අනෙකුත් විධායක ශ්‍රේණි වල නිලධාරීන් තමන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කරන්න යැයි අපෙන් කල ඉල්ලීමට අනුවයි අපි කැබිනට් පත්‍රිකාවක් පසුගියදා ඉදිරිපත් කලේ.මෙය තනි තීරණයක් නොවෙයි.මේ සඳහා කැබිනට් අනු කමිටුවක් පවා පත්කලා. එහෙම වඩාත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන වෙලාවකයි අද දවසෙ වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කලේ.

මේ අය මෙවැනි වැඩ වර්ජනයකට යන්නට කලින් වගකිවයුතු අමාත්යංශයක් විදියට අපත් සමග සාකච්ඡා කල යුතුව තිබුන.නමුත් එවැනි කිසිඳු සාකච්ඡාවක් සඳහා කිසිඳු ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අපවෙත ලැබිල තිබුනේ නැහැ.

මේ හදිසි වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාව.අපේ වෛද්යමවරුන් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වෙන වෙනම සටන් කරනවා.කිසිම දවසක මේ අයගේ දීමනා , අතිකාල දීමනා සම්බන්ධ ඉල්ලීම් වලදි අනෙක් විධායක ශේණිවල අය ඒ සඳහා සම්බන්ධ කරගෙන නෑ.රට තුල මැතිවරණ උණුසම වේගයෙන් උත්සන්න වෙන වෙලාවක මේ උදවිය මෙවැනි වැඩ වර්ජන කිරීම තුල මේ සංගම් වල ඉන්න අයගේ දේශපාලන උවමනාව හොඳින් පේනව.කොයි අරමුණින් වැඩ වර්ජන කලත් පීඩාවට පත්වන්නෙ අහිංසක ජනතාවයි.

මේ අය අද වැඩ වර්ජනය කරනව වගේම පරිපාලන සේවය නියෝජනය කරන නිලධාරිත් පසුගිය දිනවල වැඩ වර්ජනය කලා.මේ දෙගොල්ලෝම දෙපැත්තකින් අරගල කරල කරන්න හදන්නේ මේ මොහොතේ රජය අපහසුවට පත් කරල දේශපාලනික උවමානවක් ජයග්‍රහණය කරවීමට කටයුතු කිරීමයි.කොහොම වුනත් මම වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන්ට ආරාධානා කරනව එකට එකතුවෙල සාකච්ඡා කරල ප්‍රශ්නයට විසඳුම් සොයා ගමු කියල” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න