විපක්ෂය අපට ප්‍රචාරය දෙනවා | දිනමිණ

විපක්ෂය අපට ප්‍රචාරය දෙනවා

දුමින්ද සම්පත්
කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම පමාවීමට හේතු මොනවා ද? අපේක්ෂකයා නම් කිරීම පමාවීමට හේතුව පක්ෂයේ අර්බුදයක් ද? පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකයාගෙන් එජාපයට ඇති බලපෑම කවරාකාර ද? වත්මන් ආණ්ඩුව යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතා ප්‍රශ්න විසඳීමට ගෙන ඇති පියවර මොනවාද? පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ඊට මෙසේ පිළිතුරු දෙයි.

* ගෝඨාභයගෙ සිතියමේ ලංකාව තිබුණෙ නැහැ
* කළුතර ලුණු වතුර 2020න් ඉවරයි 
* ප්‍රමාදය අපට ආශිර්වාදයක් 
* රනිල්ට බණින හැමෝගෙම දරුවො බටහිර රටවල 
* මම දේශපාලනයේදී හම්බ‍ කළේ නැහැ 
* සුදු වෑන් එනවට කැමැති කවුද? 
* පොදුජන පෙරමුණ පවුලේ පක්ෂයක්

• ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂගෙ ඉදිරිපත්වීමත් එක්ක ආණ්ඩු පක්ෂ ජයග්‍රහණය පහසු නොවන බව කියනවා නේද?

අපිට ජයග්‍රහණය කරන්න පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ. ඔහු මිලිටරි නායකයෙක්. අමෙරිකන් පුරවැසියෙක්. සුදු වෑන් සංස්කෘතියෙන් රටම බියට පත්කළ කෙනෙක්. අනෙක් පැත්තෙන් ගෝඨාභය සමඟ ඉන්නෙ කවුද? දුමින්ද සිල්වා එළියට ගන්නනම් ගෝඨාභය දිනවන්න. එහෙම වුණොත් ලංකාව කුඩුවලින් ස්වයංපෝෂිත වෙයි. දුමින්ද සිල්වාට මිනීමැරුම් චෝදනා තියෙනවා. ගෝඨාභය පරාජය කරන්න මේ කාරණා දෙකම ඇති. ඒ නිසා අපිට කිසිම තරඟයක් නැහැ.

• එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබන්න නම් පුළුල් පෙරමුණකට යා යුතු බවටත් මත පළ වෙනවා. එයින් කියන්නේ මැතිවරණ දිනන්න එජාපයට ශක්තියක් නැති බව ද?

ඕනෑම මැතිවරණයක් ජයගන්න පෙරමුණක් අවශ්‍යයි. අද ඡන්ද හැසිරෙන විදිය එදා වගේ නෙවෙයි. කා එක්කත් සහයෝගයෙන් යන ගමන ජය ගේනවා. රාජපක්ෂලට එරෙහි බලවේග එකතුකරන්න පුළුවන් අපිට විතරයි. රාජපක්ෂලව පරාජය කරන්න නම් අපි එක්කයි එකතුවෙන්න ඕන. අපේ පක්ෂයෙ, අපේ පෙරමුණේ ඒකට හැමෝටම ඉඩ තියෙනවා. ජනතාව ඉල්ලන හොඳම කෙනාව අපි ඉදිරිපත් කරනවා. සුළු ජාතිකයන්ට පීඩා කළේ රාජපක්ෂලා. අද බොදුබලසේනාව කෑගහන්නේ නැහැ. ඔවුන් පිටිපස්සෙ හිටියෙ කවුද? හැමෝම දන්නවා.

• ඔබ කියන පුළුල් සංවිධානය තවදුරටත් ප්‍රමාද වෙන්නෙ ඇයි?

මේ ප්‍රමාදය අපිට ආශිර්වාදයක්. ජනතාව තුළ කුතුහලයක් ඇතිවෙලා. අපේ අපේක්ෂකයට ඉල්ලුම වැඩි වෙලා. අද හැමෝම බලාගෙන ඉන්නෙ අපේ අපේක්ෂකයා කවුද කියලා. විපක්ෂයත් හැමදාම කතා කරන්නෙ අපේ අපේක්ෂකයා ගැන. දැන් අපිට හොඳ ප්‍රචාර‍යක් ලැබෙනවා. ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වුණා කල් වැඩියි. දැන් ඒ අයගෙ ප්‍රචාරණ වැඩ පිළිවෙළ පල්ලම් බැහැලා. එක්සත් ජාතික පක්ෂයෙ ග්‍රාමීය සංවිධාන ව්‍යූහය ශක්තිමත්. අපේක්ෂකයගෙ නම කියපු ගමන් වැඩ පටන්ගන්න තියෙන්නෙ.

• බිම් මට්ටම ශක්තිමත් කියල ඔබ කිව්වට ජනාධිපතිවරණ අපේක්ෂක අර්බුදයත් එක්ක පක්ෂයෙ අර්බුදය වැඩිවෙලා නේද?

අර්බුද නැත්තෙ, මොන පක්ෂයෙද? ගෝඨාභය එනවට වෙල්ගම කැමති නැහැ. ඒක අර්බුදයක් නෙවෙයි ද? පොදුජන පෙරමුණ පවුලක් මෙහෙයවන පක්ෂයක්. පවුලෙ අර්බුද තවම එළියට ආවෙ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක ඇතුළෙ විවිධ අය ඉන්නවා. ඒ අය විවිධ මත පළ කරනවා. ඒව එළියට එනවා. හැබැයි අවසානයෙ අපි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී තීරණය ගන්නවා.

• සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා බව කොටසක් කියනවා. කරු ජයසූරිය ඉදිරිපත් කරන්න කියල තව කොටසක් කියනවා. මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය කියල ඔබ කිව්වත්, පැහැදිලි බෙදීමක් පක්ෂය ඇතුළෙ තියෙනවා නේද?

කවුරු බෙදුණත් ගෝඨාභයගෙ සුදු වෑන් සංස්කෘතිය ගේන්න කවුරුවත් කැමති නැහැ. ඒ නිසා එකතුවෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා හැරෙන්න කාටවත් වෙන විකල්ප නැහැ. රටේ ජනතාව, අපේ පාක්ෂිකයො නායකයන්ට බෙදෙන්න ඉඩදෙන එකක් නැහැ. අපේක්ෂකය තෝරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය පාර්ලිමේන්තු කණ්ඩායම තියෙනවා. එතනදි නියම තීන්දුව අපි ගන්නවා.

• ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වෙන බව සජිත් ප්‍රේමදාස ලිපියක් මඟින් අගමැතිවරයාට දැන්වූ බවයි කියන්නෙ?

ඔව්. ඉතින් එතුමා තමයි ඉදිරිපත් වෙන්න හදන්නෙ.

• එහෙම නම් ඒ අතරේ කරු ජයසූරිය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඉදිරිපත් වෙන්න කැමැතියි කියල කියන්නෙ ඇයි?

එතුමගෙ අදහස එතුමා කියල තියෙනවා. පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි දේ වෙනවා. රටේ බලගතුම තනි පක්ෂය හැටියට අපේ තීරණය හරිවෙලාවට ගන්නවා. එතනදි මේ හැමෝම එකතු වෙයි.

• සජිත් ජනාධිපති වෙනවනම්, රනිල් අගමැති වෙන්න ඕන කියල දෙමළ ජාතික සන්ධානය කියනවා නේද?

ඔව්. අපිත් ඒක කියනවා. ආසියාවෙම ඉන්න පරිණත දූරදර්ශීම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තය. ඒක ආසියාවෙ හැම රටක්ම දන්නවා. එතුමා හැම ප්‍රශ්නයක්ම ඉතාම පරිස්සමින් කලබලයක් නැතුව විසඳනවා. ඒ ඉවසීම කාගෙවත් ළඟ නැහැ. එතුමව විනාශ කළේ මාධ්‍ය. ඒක මහා අපරාධයක්. රනිල් වික්‍රමසිංහ ගැන මාධ්‍ය බොරු වැපුරුවා. එතුමට අවශ්‍ය නම් මාධ්‍යයට සල්ලි යටකරල ඒ තත්ත්වය වළක්වන්න පුළුවන්කම තිබුණා. නමුත් එහෙම කළේ නැහැ.

• විදේශීයකරණයට මේ රට යටත් කිරීම, අමෙරිකන් ගැති රටක් බවට රට පත්කරන්න උත්සාහ ගැනීම නිසා නේද ඔහුට චෝදනා එල්ල වෙන්නෙ?

ලෝකයෙ දියුණු රටවල් එක්ක අපි ගනුදෙනු කරන්න අවශ්‍යයි. දියුණු නැති රටවල් පස්සෙ යන්න ද අපිට කියන්නෙ? මෙහෙම චෝදනා කරන මාධ්‍ය අමෙරිකන් පුරවැසියා ගැන මොනවත් කියන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ ඉපදුණේ ලංකාවෙ, පුරවැසිභාවය ලංකාවෙ. ඉගෙන ගත්තෙ ලංකාවෙ පාසලක, ආණ්ඩුවෙ විශ්වවිද්‍යාලයට ගියේ. නීති විද්‍යාලයට ගියේ ලංකාවෙ. ලෝකෙ වෙන කොහෙවත් රටක බිම් අඟලක් එතුමට නැහැ. එහෙම කෙනාට තමයි මේ බහුභූත චෝදනා කරන්නෙ. ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අතර මැදදි රට දාල අමෙරිකාවට පැනල ගිහින් පුරවැසිභාවය අරගෙන පවුලෙ හැමෝම එහෙට අරගෙන ඒ අයටත් පුරවැසිභාවය අරන් දුන්නා. එහෙ දේපළත් අරගත්තා. තාමත් ඇමරිකන් පුරවැසියෙක්. එයා දේශ‍ප්‍රේමියෙක් කියල මාධ්‍ය කියනවා. මට නම් මේක කොහොමවත් තේරුම් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහට ප්‍රශ්නයක් ආවොත් යන්න වෙන රටක් නැහැ. මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුණනම් ගෝඨාභය කෙනෙක් අද මේ රටේ නැහැ. එයාගෙ ලෝක සිතියමේ ලංකාව තිබුණෙ නැහැ. අයිය ජනාධිපති වෙච්ච නිසයි එයාට ලංකාව මතක් වුණේ. බැසිල්ලා තාම කියන්නෙ අමෙරිකාව හොඳයි කියල. රනිල් වික්‍රමසිංහට බණින හැමෝගෙම දරුවො ඉන්නෙ බටහිර රටවල්වල. ඇපල් ෆෝන් එක තියාගෙන අමෙරිකාවට බණිනවා. අමෙරිකාව අපිට හිනා වෙනවා.

• විධායක ජනාධිපති ධුරය අහෝසිකරන යෝජනා හැමදාම ආවා. මෙවරත් එම යෝජනා ගැන අහන්න ලැබෙනවා?

සිංගප්පූරුවෙ ලීක්වාන්යූ වගේ කෙනෙක් අපේ රටේ බිහිවෙච්ච දවසට විධායක ජනාධිපතිකම හොඳයි. දියුණු වෙච්ච රටවල් හැම එකකම විධායක ජනාධිපතිකම තිබුණෙ නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල් දියුණු වෙලා තියෙනවා. පාර්ලිමේන්තු බලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවා.

• එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න රහස් ඡන්දයක් අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් වෙන්න හේතු මොනවාද?

මුලින්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ප්‍රශ්නය විසඳන්න ඕන. ඒක ඡන්දයකට යන්නෙ නැතුව විසඳගන්නවනම් වටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දයක් තිබ්බත් ගැටලුවක් නැහැ. දිනන්න පුළුවන්. වඩාත්ම ආකර්ෂණීය නායකයා ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නෙ.

• සිරිකොත අර්බුදවලට විසඳුම් හොයන්න බාර්ලයිසන් දීපු ‍කතාව මොකක් ද?

පාර්ලිමේන්තුව ඇතුළෙ වරප්‍රසාදවලට මුවාවෙලා මන්ත්‍රීවරු කියන කතා බැලුවොත් පුදුමත් හිතෙනවා. ඔය කතා එළියට ඇවිත් කියන්න කියන්නකො. ඕව එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න කියන කතා. රුපියල් ලක්ෂ සියයක් අරගෙන මොනව කරන්නද? මේ කතා ගැන අපිටම ලැජ්ජයි.

• මේ චෝදනාව කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, මේ ආණ්ඩුවෙ හිටපු ප්‍රබල ඇමැතිවරයෙක්?

මේ පැත්තෙ ඉන්නකොට එක කතාවක් කියනවා. හෙට අනික් පැත්තට පැනල තව කතාවක් කියනවා. දැන් ඔය අපිත් එක්ක හිටපු ඇමැතිවරු එහා පැත්තට ගිහින් කොච්චර කතා කියනවද? ඒ අයත් මේ කැබිනට් එකේ හිටියනෙ. ආණ්ඩුවෙ වැඩවලට ඔය පැනපු ඔක්කොම වගකියන්න ඕන. ඒ අයත් අමාත්‍යංශ කළා නෙ. කැබිනට් තීරණ ගන්නකොට ඒවට අත ඉස්සුවනෙ. මේ වගේ අය හින්ද තමයි ජනතාවට දේශපාලනය එපා වෙන්නෙ.

• යහපාලන ආණ්ඩුව හැදුවෙ හොරු අල්ලන්න මිනීමරුවන්ට දඬුවම් කරන්න. ඒ එකක්වත් වුණේ නැහැ. මෙවර ජනාධිපතිවරණයෙදි එක්සත් ජාතික පෙරමුණට මේවට උත්තර බඳින්න වෙයි නේද?

අපි හැදුවෙ හවුල් ආණ්ඩුවක්. සමහරු හොරු. අල්ලන එකට, මිනී මරුවන්ට දඬුවම් කරන එකට අකුල්හෙළුවා. මේ ආණ්ඩුවෙ ප්‍රධානම කෙනා ජනාධිපති. දින 51 දී එයා කරපු හරිය අපි දැක්කනෙ. මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක් ජනාධිපති. මෛත්‍රී මහලේකම්; දිගටම පාර්ලිමේන්තුවෙ හිටියා; ජනාධිපතිත් වුණා. මේ දෙන්නම ව්‍යවස්ථාව දන්නෙ නැහැ. අගමැති මාරු කරල ඇනගත්ත. නීති සම්පාදනය කරන්නෙ පාර්ලිමේන්තුව. ඒකෙ ඉන්න අය ඒ නීති දන්නෙ නැහැ. නීති සම්මත කරන්න අතත් උස්සනව. අපිම හදපු නීතිය අපිට තේරුම් ගන්න බැරුව උසාවියෙන් අහනව, මොකද කරන්නෙ කියල. මේක මෙහෙම නායකයො ඉන්න රටක්.

• කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට කළුතර ජනතාවට සාධාරණයක් ඉටුකළාය කියල ඔබට කියන්න පුළුවන් ද?

මම දේශපාලනයෙන් හම්බකරල නැහැ. ඉදිරියට හම්බ කරන්නෙත් නැහැ. අපේ තිබුණු දේපළ සියල්ල දේශපාලනය නිසා නැති වුණා. ජනතාවගෙ බදු මුදල් ගසාකන එක මහා පාපයක්. කළුතර ඇමැතිවරු හිටිය. කළුතරට කරපු දෙයක් නැහැ. ඔය ඇමැතිවරු කරපු ලොකුම දේ විසිහතර පැයේ වැල්ල අයිනෙ බූරුපොළක් හැදීම. අපි ලක්ෂ හයදාස් හයසීයක් වියදම්කරල නව වෙළෙඳ සංකීර්ණයක් හැදුවා. තට්ටු හතරක අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදන්න පටන් ගත්තා. දිසාපති කාර්යාලයට තට්ටු පහක ගොඩනැඟිල්ලක් හදනවා. කළුතර වෙරළ සංරක්ෂණයට රුපියල් මිලියන 800ක ව්‍යාපෘතියක් ඇරඹුවා. කැලිඩෝ වෙරළ තීරය නැවත හදනවා. කළුතර වැහිවතුර රැ‍ඳෙන කලාපවල කානු පද්ධති හැදුවා. සියලුම අබලන් මාර්ග අලුතෙන්ම හැදුවා. කළුතර නාගොඩ රෝහල ඉහළම තත්ත්වයෙන් යුතු රෝහලක් කළා. නිවාස ව්‍යාපෘති රැසක වැඩ අවසන් කළා.

• වැසි අඩු කාලවලදී කළුතර ජනතාව ලුණු මිශ්‍ර ජලය නිසා දැඩි පීඩාවකට පත්වෙනවා. ඊට පිළියම් හොයන්න කළේ මොනවද?

වසර ගණනාවක ඉඳන් මේ ගැටලුව තියෙනවා. පහුගිය ආණ්ඩුව මේ වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. මේ ගැන මම අගමැතිතුමාට කිව්වා. එතුමා ඉන්දීය ආණ්ඩුවත් එක්ක කතා කළා. කළුතර අලුත් ජලයෝජනා ක්‍රමයට රුපියල් දසලක්ෂ තිස්දෙදහසක් ලබාගත්තා. දැන් ඒ ව්‍යාපෘතිය පටන් ගත්තා. බුලත්සිංහල කුඩා ග‍ඟෙන් වතුර අරගෙන ඒ වතුර කෙත්හේන ජල පොම්පාගාරයට ගේනවා. කෙත්හේන වැඩිදියුණු කරනවා. මේ හරහා අලුතින් ජල සම්බන්ධතා ගොඩක් දෙන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය 2020 සැප්තැම්බර් වෙනකොට අවසන් කරනවා. කළුතර ජනතාවට ආයෙත් ලුණුවතුර බොන්න දෙන්නෙ නැහැ.

ඡායා - ශාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න